ක්ෂණික ආහාර සහ කඩචෝරු කෑමේ අතුරු විපා​ක

ආහාර කියන්නෙ මූලික මිනිස් අවශ්‍යතාවයක්. නිකන්ම ආහාර නෙමෙයි. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට තියෙන අයිතිය කියන කාරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මූලික මිනිස් අයිතිවාසිකමක් විදිහට ප්‍රකාශයට පත්කරල තියෙනවා. නමුත් අවාසනාවට ජීවිතේ අධික කාර්යබහුලවීමත් එක්ක මිනිස්සු හුඟක් දෙනෙක් කෑම කියන දේට දෙන තැන වෙනස් වෙලා. ඒ කියන්නෙ කෑම නොකා ඉන්නව කියන එක නෙමෙයි. සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ගෙදර සකස්කරගෙන කෑමට පුරුදුවෙලා හිටපු මිනිස්සු වෙලාව මදිකම නිසාම ක්ෂණික ආහාර වගේම කඩවල් වලින් ලේසියට මිලදී ගන්න පුළුවන්, පිට ඔපය වැඩි කඩචෝරු කන්න වැඩි වශයෙන් යොමුවෙලා තියෙනවා. ඒ නිසාම වර්තමාන පරපුර සෞඛ්‍ය සම්පන්නද, ඔවුන්ගේ අනාගත සෞඛ්‍යය කෙබඳුද කියන ගැටළුව නිරන්තරයෙන්ම අපිට ඇතිවෙනවා. අපි කියවලා බලමු ක්ෂණික ආහාර සහ කඩ කෑම වල තියෙන අතුරු විපාක මොනවද කියලා. කියවල, ඔළුවට අරගෙන ඒවගෙන් වැළකිලා ඉන්න පුළුවන් තරම් උත්සාහ කරමු.

 

1. අධික ස්ථුලභාවය

මේකනම් ඇත්තටම හරිම සරල කාරණාවක්. කඩකෑම වල අඩංගු වෙන අධික පිෂ්ටය සහ මේදය නිසා ඒවා අහාරයට ගන්න අය ඉතාම පහසුවෙන් ස්ථුල භාවය පත්වෙනවා. ස්ථුල කියන්නෙ ඇඟේ බර කිලෝ එකකින් දෙකකින් වැඩිවෙන එකට නෙමෙයි. උසට සරිලන බර මට්ටම හරිහැටි නොමැතිව අධික ලෙස මහත්වීම. මේ විදිහට මහත්වෙන එක බාහිර පෙනුමට හරිම කැතයි තමයි. හැබැයි ඊට එහා ගිය දරුණු සෞඛ්‍ය අවදානම් මේ හරහා ඇතිවෙන්න පුළුවන්. ශරීරයේ ස්ථුලභාවය නිසා ඇතිවෙන ගැටළු වගේම නිවැරදි BMI එක ගැනත් අපි මිට කලින් මේ ලිපි වලින් කතාකළා. ඒව කියවල මේ ගැන වැඩි දැනුමක් ලබාගන්න පුළුවන්.

අධික තරබාරුව නිසා ඇතිවන රෝග ගැන දැනුවත් වෙමු

BMI – Body Mass Index හෙවත් ශරීර ස්කන්ධ දර්ශකය ගැන හරියටම දැනගමු

 

2. මතක ශක්තියේ ගැටළු

අධික ලෙස සීනි සහ මේදය අඩංගු ආහාර මඟින් මොළයේ මතක ශක්තියට සම්බන්ධ ක්‍රියාවලියට බාධා ඇතිකරනව. මෙම ආහාර නිසා ඇතිවෙන රසායනික ප්‍රතික්‍රියාවන් මොළයේ මතකයට සම්බන්ධ හයිපොකැම්පස් කළාපයේ ගැටළු ඇතිකරන්න හේතුවෙනව. ඒ වගේම මේ ආහාර වල අඩංගු අධික කැලරි ප්‍රමාණය මඟින් මොළයේ ඉගෙනීම සහ මතකයට සම්බන්ධ උපාගමයන්ගේ (synapses) ක්‍රියාවලියට බාධා ඇතිකරනව.

 

3. ආහාර දිරවීමේ ගැටළු

ක්ෂණික ආහාර සහ කඩ කෑම ආහාරයට ගැනීමේදී ඒවායේ අඩංගු අධික මේදය මඟින් මොළයේ ආහාරයට ගත් ප්‍රමාණය සහ ඔබේ කුසගින්නේ ප්‍රමාණය හඳුනාගැනීමේ ක්‍රියාවලියට බාධා ඇතිකරනවා. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට වඩා අධික ආහාර ප්‍රමාණයක් අපි පරිභෝජනය කරන්න පෙළඹෙනවා. මේ ආහාර සාමාන්‍ය ජීර්ණ ක්‍රියාවලියේදී ජීර්ණය කිරීමට අපහසුයි. එය අක්මාවටත් කිසිසේත්ම හිතකර නැහැ. ඒ නිසා ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු ඇතිවෙනවා. ඒ වගේම මේ අධික පරිභෝජනය ස්ථූලභාවයට පත්වීමටත් හේතුවක්. ඒ වගේම කොයිතරම් ආහාර ගත්තත් අධික ලෙස බඩ පිරෙනවා මිස ඒවායේ මොළයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙන්නෙ නැති නිසා අපි කලින් කියපු මතක ශක්තිය පවත්වාගැනීමේ ගැටළු වගේ ගැටළු ඇතිවෙනවා.

 

4. ශ්වසන පද්ධතිය ආශ්‍රිත ගැටළු

අධික ලෙස මහත්වීම නිසා හදවතට සහ පෙනහළු වලට ඇතිවෙන පීඩනය වැඩිවෙනවා. ස්ථූල පුද්ගලයින්ට ඉතාම කෙටි ක්‍රියාකාරකම්, ඒ කියන්නෙ අඩි කිහිපයක් ඇවිදීම, පඩි කිහිපයක් නැගීම වගේ දේවල් වලින් පවා අධික ලෙස වෙහෙස දැනෙන්නේ, හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනෙන්නේ ඒ නිසයි. මේ හේතුවෙන් දිගුකාලීන ඇදුම රෝගී තත්ත්වයන් පවා ඇතිවෙන්න පුළුවන්.

 

5. වර්ධනය සම්බන්ධ ගැටළු

මේ අධික සීනි, මේදය සහ කැලරි අඩංගු ආහාර කොයිතරම් ගත්තත් ඔමේගා 3, විටමින් වැනි වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් ශරීරයට නොලැබෙන නිසා මොළය සහ ශරීරයේ අනෙකුත් අංගයන්ගේ අත්‍යවශ්‍ය වර්ධන කටයුතු නිසියාකාරව සිදුවෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ තත්ත්වය කුඩා දරුවන්ට අවදානම් තත්ත්වයක්. ශරීරයෙන් ලොකුවට පෙනුනට අවශ්‍ය වර්ධනය නිසියාකාරව සිදුවෙන්නේ නැහැ. නමුත් පිටත පෙනුම නිසා ඉක්මනින් ලොකුවෙන බව හිතෙනවා. පසුකාලීනව අවයව සම්බන්ධ ගැටළු පැන නගින්නේ මේ නිසයි.

 

6. ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ගැටළු

ක්ෂණික ආහාර සහ කඩවල් වල සකස් කරන අධික සීනි, මේදය අඩංගු ආහාර වල phthalates කියන රසායනය අඩංගු වෙනවා. Phthalates කියන්නෙ ශරීරයේ හෝර්මෝන ක්‍රියාකරන ආකාරය වෙනස් කරන්න පුළුවන් අහිතකර රසායනිකයක්. මේ phthalates මඟින් ඇතිකරන ප්‍රතික්‍රියාවන් නිසා හෝර්මෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ගැටළු ඇතිවෙන්න පුළුවන්. ඒ කියන්නෙ හෝර්මෝනමය බලපෑමත් එක්ක ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන PCOS වගේ රෝග තත්ත්වයන්. ඒ විතරක් නෙමෙයි, මේ හේතුවෙන් උපදින දරුවන් විවිධ උපත් ආබාධ සහිත දරුවන් බවට පත්වෙන්න පවා හැකියාවක් තියෙනවා.

 

7. මානසික ගැටළු

ශරීරයට විතරක් නෙමෙයි. මේ කඩකෑම මනසටත් අහිතකරයි. ශරීරයට ඇතිවෙන අහිතකර බලපෑම නිසාම මනසත් රෝගී වෙනවා. කලිනුත් කිව්ව වගේ අධික ලෙස මේ කඩවල් වල නිෂ්පාදනය කරන ආහාර පරිභෝජනය කිරීමෙන් මොළයේ රසායනික සංයුතිය වෙනස් වෙනවා. මේ වෙනස නිසා තව තවත් මේ ක්ෂණික කඩචෝරු වලට අපව ඇබ්බැහි වීමක් සිදුවෙනවා. කඩකෑමට හුරුවුණ අයව ඒකෙන් මුදවන්න අපහසුත් මේ නිසයි. මේ හේතුවෙනුත්, ශරීරයේ හෝර්මෝන මට්ටමේ සිදුවෙන වෙනස්වීම් නිසාත් දිගුකාලීනව විශාදය වැනි මානසික තත්වයන්ට පත්වීමේ දැඩි අවදානමක් දකින්න තියෙනවා.

මේ අහිතකර බලපෑම් සියල්ල වළක්වාගන්න නම් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරුවෙන්න ඕන. ආහාර අපේ ශරීරයට, මනසට කරන බලපෑම සුළුපටු නැහැ. ඉතින් ඒ නිසාම අපි තවත් දවසක සෞඛ්‍යසම්පන්න ආහාරවේලකට හුරුවෙන විදිහ ගැන කතා කරමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *