පූසන්ට ආදරේ කරන කෙනෙක් දැන ගත යුතු​ම පූස් වර්ග 7ක් – 2 කොටස

ගිය සතියෙ වගේම මේ සතියෙත් අපි ආවේ තවත් අලුත් කැට් බ්‍රීඩ්ස් ටිකක් අරගෙන. ලංකාවෙ අපි පූසන්ට ගොඩක් ආසයි. පූසන්ට කැමති අයට ගොඩක් වැදගත් ලෝකෙ වටේම ඉන්න ප්‍රභේද ගැන දැනගන්න එක. එහෙනම් මේකත් කියවලා බලන්නකෝ.

 

 

1. මන්ච්කින් කැට්ස් (Munchkin Cats)

දැක්කම හරිම හුරතල් පෙනුමක් තියන පූසන් ජාතියක්. කකුල් කුරුයි. ඒ වගේම මිනිස්සු එක්ක නිතරම ඉන්න කැමතියි. මෙයාලව හුරතල් කරනවට තමා මෙයාල ගොඩක්ම ආසා. ලෙඩ රෝග මොනවත් නැතිනම් මෙයාලගෙ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 12-15 අතර වගේ වෙන්නෙ. මෙයාලගේ ජාන විකෘතියක් නිසා තමා මේ කුරු ස්වභාවය ඇවිල්ලා තියෙන්නෙ. හරිම සමජාශීලී පූසො ජාතියක්. බල්ලො එක්ක වගේම පොඩි ළමයි එක්කත් හරිම එකතුයි. දිග ලෝම තියෙන හරිම ලස්සන පූස් වර්ගයක්. ලස්සන වගේම මෙයාල බුද්ධිමත් පූස් වර්ගයක්. පොඩි පොඩි ට්‍රික්ස් සහ සෙල්ලම් එහෙම පහසුවෙන් ඉගෙනගන්නවා.

 

2. සයිබීරියන් කැට්ස් (Siberian Cats)

 

රුසියාවේ සයිබීරියා ප්‍රාන්තය තමා මෙයාලගෙ නිජබිම. මෙයා සෑහෙන අතීතයක් තියන බ්‍රීඩ් එකක්. ප්‍රමාණයෙන් අඟල් 17-25ක් වගේ දිගින් යුක්තයි. ඒ වගේම ගැහැණු සතුන්ට වඩා බරින් වැඩියි පිරිමි සතුන්. මෙයාලා ගොඩක් සෙල්ලක්කාරයි. ස්වාමියට හරිම ලැදියි. ආදරේ ප්‍රකාශ කරන්න සිහින් ශබ්දයක් නැඟුවත් වැඩිහරියක්ම ඉන්නෙ නිශ්ශබ්දවයි. උඩවල් වල නඟින්න දක්ෂ සයිබීරියන් වර්ගය ටිකක් සෙල්ලක්කාරයි. ඒ තරම්ම අවධානය ඉල්ලන්නෙ නැතිව පාඩුවේ ඉන්නවා. අමුත්තො දිහා සැකෙන් බලන මෙයාලා බල්ලො, වෙනත් පූසො සහ පොඩි ළමයි එක්ක නම් එකතුයි. මෙයාලාගෙ වැඩීම හරිම හෙමින් වෙනවා කියලයි කියන්නෙ. සම්පූර්ණයෙන් වැඩීම අවසන් වෙන්න අවුරුදු 5ක් විතර ගතවෙන වෙලාවල් තියෙනව. දුඹුරු, සුදු, නිල් අළු හා කළු පාටින් ඉන්නවා. මෙයාලා වතුරට අකමැත්තක් පෙන්වන්නෙ නෑ. දැක්කොත් පනින්න තමයි බලන්නෙ. කොළ කහ පැහැයෙන් යුක්ත විශාල ඇස් තියෙනවා. දිග ලෝම සතියකට දෙපාරක්වත් පීරන්න ඕන. කාලෙකට ලෝම වැඩිපුර හැලෙන්න ගන්නවා. එතකොට වැඩිපුර වාර ගණනක් පීරන්න ඕන. මෙයාලත් සාමාන්‍යයෙන් වසර 12-15ක් වගේ ජීවත් වෙනවා.

 

 

3. බර්මන් කැට්ස් (Birman Cats)

 

කළු මුහුණ හා සුදු ශරීරයකින් හෙබි වටකුරු මූණක් සහිත මේ පූස් විශේෂය ප්‍රංශ හා බුරුමයට ආවේණිකයි. මෙයාලා ටිකක් ගණන් බ්‍රීඩ් එකක්. ගොඩක් ආදරණීය බළලුන් විශේෂයක් විදියට තමා හඳුන්වන්නෙ. ඒ වගේම බුද්ධිමත්, මිත්‍රශීලී ලක්ෂණත් දකින්න පුළුවන්. මෙයාලා සීල් බ්ලූ, ක්‍රීම් රෙඩ්, වගේ පාටිනුත් ඉන්නවා. අවුරුදු 14ක වගේ ආයුකාලයක් තියෙන බර්මන්ලා සාමාන්‍යයෙන් කිලෝ 5ක් -7ක් වගේ බරයි. මිනිස්සු එක්ක ඉන්න ආස නිසාම මෙයාලව ගෙවල් වල තියාගන්න පුළුවන්. හුරතල් කරනවට, ඔළුව අතගානවට හරිම කැමතියි. අනික් පූස් වර්ග වලට සාපේක්ෂව ඒ තරම්ම ක්‍රියාශීලී නැති වුණත් සෙල්ලමට බර පැත්තකුත් මෙයාලගෙ තියෙනව. සිනිඳු සිල්කි ලෝම වැඩිය හැලෙන්නෙ නැති නිසා විශේෂයෙන්ම නඩත්තුවක් අවශ්‍ය වෙන්නෙ නෑ.

 

 

4. හිමාලයන් කැට්ස් (Himalayan Cats)

 

නිල් පාට ඇස් වල ලස්සන නිසාම විශේෂ මේ බ්‍රීඩ් එක ඉන්දියාව, ඇමරිකාව හා එංගලන්තයේ ප්‍රසිද්ධයි. Himmy කියලත් මෙයාලව හඳුන්වනවා. සියැමීස් සහ පර්සියන් ක්‍රොස් එකකින් තමා මේ වර්ගය බ්‍රීඩ් කරල තියෙන්නෙ. හොඳටම මේන්ටේන් කරන්න ඕනෙ වර්ගයක් මේ. ආයුකාලෙ නම් වසර 9-15ක් වගේ වෙන්නෙ. ගොඩක්ම සුදු හෝ ක්‍රීම් පාටවලින් තමා ඉන්නෙ. හැබැයි කලාතුරකින් නිල් අළු, දුඹුරු, සීල් කලර් වලින් ඉන්නත් පුළුවන්. මෙයාලගෙ දිග අඟල් 17-19 ක් වගේ ප්‍රමාණයක් වගේ වෙන්නෙ. පෙනුමෙන් නම් ජවසම්පන්න බළල් විශේෂයක්. මෙයාලගෙ ලොම් වැඩි නිසා ප්‍රමාණෙන් විශාල විදියටයි පේන්නෙ. මෙයාලා එච්චර උඩවල් වල නඟින හෝ පනින පූස් වර්ගයක් නෙවෙයි. කොහෙ හරි වාඩි වෙලා ඉන්න තමා වැඩි කැමැත්ත. පොඩ්ඩක් විතර කම්මැලියි. වැඩි අවධානයක් ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.

 

5. එක්සොටික් ෂෝර්ට්හෙයා (Exotic Shorthair)

 

ස්වභාවයෙන්ම කොටි පැටියෙක් වගේ වයිරන් තියන මේ වර්ගයේ උපරිම ආයුකාලය අවුරුදු 20ක් දක්වා දික්වෙනවා. සුදු, දුඹුරු කළු, තැඹිලි හා මිශ්‍ර පාට වලින් සමන්විතයි. ගොඩක් ජනප්‍රිය බ්‍රීඩ් එකක් තමයි මේ. ගෘහස්ථව තමා මෙයාලා හැදෙන්නෙ. වැඩිය විශාල නැති පොඩි ශරීරයක් තමා තියෙන්නෙ. ගොඩක් සමාජශීලී නැති මෙයාලා පුද්ගලයින් කිහිප දෙනෙක් එක්ක ඉන්න තමා ඇල්මක් දක්වන්නෙ. මෙයාලා ගොඩක් අවධානය බලාපොරොත්තු වෙනවා. සාමකාමී, නිහඬ පූස් වර්ගයක්. පිරිමි පූසන් වඩාත් ආදරණීයයි වගේම හිතවත්. ගැහැණු පූසන් ටිකක් පිරිමි පූසන්ට වඩා ස්වාධීන බවක් පෙන්වනව. අමුත්තොන්ට හිතවත් වෙන්න නම් කාලයක් ගන්නවා. වකුගඩු රෝග වලට ලක් වෙන අවදානමක් නම් මෙයාලගෙ තියෙනව.

 

6. සිංගපුරා කැට්ස් (Singapura Cats)

 

සිංගප්පූරුවට ආවේණිකමේ බළල් විශේෂය ක්‍රියාශීලියි වගේම. මෙයාලා තමා දැනට ලෝකයේ ඉන්න කුඩාම ගෘහස්ථ පූස් වර්ගය. උස අඟල් 8ක් වෙන මෙයාලා දිගින් උපරිම අඟල් 12ක් වගේ වෙන්නෙ. කුඩා මූණක් එක්ක උස් වුණු විශාල කන් එයාලටම ආවේණික ලස්සනක් එකතු කරනවා. සෞඛ්‍ය සම්පන්න බවින් ඉහළ මෙයාල ක්‍රියාශීලියි වගේම ශක්තියෙන් සම්පූර්ණයි. ජානමය ගැටළු නම් ගොඩක් අඩුයි. මිනිස්සු එක්ක එකට ඉන්න ගොඩක් කැමතියි. පොඩි ළමයි, බල්ලො සහ අනික් පූස් වර්ග එක්ක ඉතාම හොඳින් හැසිරෙනවා. හැබැයි මේගොල්ලො සද්ද බද්ද වල එච්චර කැමති නැහැ. හයියෙන් කෑගහන ළමයින්ගෙන් වගේම විශාල ශබ්ද නැගෙන තැන් වලින් ඉක්මණින් ඉවත් වෙනවා.

 

7. බොම්බේ කැට්ස් (Bombay Cat)

ඇමරිකාවේ හා තායිලන්තයේ ව්‍යප්ත වෙලා ඉන්න මේ විශේෂය ස්වභාවයෙන්ම කළු පැහැතියි. බර්මීස් සහ බ්ලැක් ඇමරිකන් ෂෝර්ට් හෙයා වරග දෙක ක්‍රොස් කරලයි බ්‍රීඩ් කරල තියෙන්නෙ. බැල්ම නම් ටිකක් නපුරු පාටයි. ආසියානුවන් කළු පූසන්ට තමා මේ බොම්බේ කියන නම භාවිතා කරන්නෙ. මෙයාලා ක්‍රියශීලී බළල් විශේෂයක්. ඒ වගේම ස්වාමියගෙ ඇඟේ දැවටිලා ඉන්න තමයි ගොඩක්ම කැමති. අවධානය අඩු උනාම ටිකක් කේන්ති යනවා. උපරිම ආයු කාලය අවුරුදු 18ක් වගේ වෙන්නෙ. මෙයාලගෙ දත් හොඳට තියාගන්න සතියකට දෙවතාවක්වත් මදින්න ඕනේ. ඒ වගේම කන් එහෙමත් හොඳට චෙක් කරන්න ඕනේ. මෙයාලා අනික් අයට වඩා සද්ද කරනවා නම් වැඩී කියලයි කියන්නෙ. එයාලගෙ හැඟීම් ප්‍රකාශ කරන්න, බඩගිනි බව දැනුම් දෙන්නත් එයාලා සද්ද කරනවා. වෙන පූස් වර්ග වලට වඩා අමුත්තන් එක්ක හරිම එකතුයි. උකුලෙ වාඩි වෙලා ඉන්නත් හරිම ආසයි. අපි කරන කියන හැමදේකම කොටස්කාරයො වෙලා ළඟින්ම ඉන්න තමා මෙයාල කැමති. ඔන්න පැත්තක් අල්ලන් ඉන්න පූසන්ට අකමැති කෙනෙක්ට හදාගන්න කියාපු පූස් වර්ගයක් මේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *