මිල අධික පරිගණක මෘදුකාංග වලට විකල්ප

අද වෙද්දී පරිගණකය කියන උපාංගය අපේ ජීවිත වලට කොච්චර නම් අත්‍යවශ්‍ය උපාංගයක් වෙලාද කියන එක අමුතුවෙන් පැහැදිළි කරන්න ඕන කාරණයක් නෙමෙයි. ඒ තරම්ම අපේ බොහොමයක් වැඩ කටයුතු වලට පරිගණකයෙන් ලැබෙන ප්‍රයෝජන අති විශාලයි. අද වෙද්දී පරිගණකයක් නැති ඔෆිස් එකක්, ගෙදරක් ඉතා කලාතුරකින් තමයි තියෙන්නෙ. ඉතින් පරිගණකයකින් වැඩ ගන්න නම් අනිවාර්යය දෙයක් තමයි මෘදුකාංග කියන්නෙ. ඕනෑම පරිගණකයක් අපිට ප්‍රයෝජනවත් වෙන්නෙ මෙන්න මේ කියන මෘදුකාංග හරහා ලැබෙන පහසුකම් නිසයි. හැබැයි අපි හැමෝම දන්නා කාරණාවක් තමයි අපිට වැඩ කටයුතු කරගන්න අවශ්‍ය මෘදුකාංග බොහොමයක් නොමිලේ ලැබෙන මෘදුකාංග නෙමෙයි. ඒවා මුදල් ගෙවා ලබා ගත  යුතු මෘදුකාංග. හැබැයි අපි වගේ සංවර්ධනය නොවුණු රටවල් වල අයට ගොඩක් වෙලාවට මේ විදිහට මුදල් ගෙවල මෘදුකාංග මිලදී ගන්න හැකියාව අඩුයි. ඒ නිසා තමයි බොහොමයක් අපි වගේ රටවල අය මෘදුකාංග වල Pirate Copies පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නෙ. හැබැයි ඒ වගේ මෘදුකාංග පාවිච්චි කරන ඒක ගොඩක් භයානකයි. හැබැයි එහෙම මිලදී ගන්නෙත් නැතුව, හොර පාරෙන් ක්‍රැක් කරපු මෘදුකාංග පාවිච්චි කරන්නෙත් නැතුව ඒ පහසුකම් ලබාගන්න හැකියාවක් තියෙනවද? උත්තරය ඔව්. අපි අද කතා කරන්නෙ අන්න ඒ ගැන. ඒ කියන්නෙ මුදල් අය කරන මෘදුකාංග වෙනුවට භාවිතා කරන්න පුළුවන් නොමිලේ ලබාගත හැකි මෘදුකාංග ගැනයි අපි අද කතා කරන්නෙ. එහෙනම් අපි යමු කතාවට. 

 

1. Microsoft Windows vs Ubuntu

පරිගණකයක් ක්‍රියාත්මක වෙන්න අනිවාර්යය මෘදුකාංගය තමයි එහි මෙහෙයුම් පද්ධතිය. ඇපල් වර්ගයේ නොවන අනෙක් පරිගණක වලට භාවිත කරන්න පුළුවන් ලෝක ප්‍රසිද්ධ මෙහෙයුම් පද්ධතියක් තමයි මයික්‍රොසොෆ්ට් සමාගමෙන් නිර්මාණය කරන වින්ඩෝස් මෙහෙයුම්  පද්ධතිය.  හැබැයි මේ මෘදුකාංගය නොමිලේ ලැබෙන එකක් නෙමෙයි. වින්ඩෝස් ලයිසන්ස් කී එකක් ලබාගන්න පුළුවන් වෙන්නෙ මුදල් ගෙවීමෙන්. හැබැයි ඒ වෙනුවට භාවිතා කරන්න පුළුවන් නොමිලේ ලබාගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි UBUNTU කියන මෙහෙයුම් පද්ධතිය. 2004 පමණ නිදහස් මෘදුකාංගයක් විදිහට නිර්මාණය වෙච්ච උබුන්ටු මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් වලට හොඳ විකල්පයක්.  

 

2. Microsoft Office vs WPS Office/ LibreOffice

එදිනෙදා කාර්යාලීය වැඩ කටයුතු වලට වගේම පුද්ගලික ලියුම් කියුම් වැඩ වලට අවශ්‍ය ඉතාම ජනප්‍රිය  මෘදුකාංගයක් විදිහට මයික්‍රොසොෆ්ට් සමාගමේ ඔෆිස් පැකේජ් එක අවිවාදයෙන් නම් කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නෙ ඒකත් නොමිලේ ලැබෙන මෘදුකාංගයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට කට්ටිය කරන්නෙ කොහෙන් හරි හොර කොපියක් පරිගණකයේ ස්ථාපිත කරගන්න එකයි. හැබැයි ඒ වගේ අවදානමක් ගන්නෙ නැතුව ඉතාම පහසුවෙන් WPS Office හෝ LibreOffice කියන මෘදුකාංග තමන්ගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න පුළුවන්. නොමිලේ දුන්නා කියල දෙකේ ලොකු වෙනසක් නෑ. ඔෆිස් වල තියෙන ඔක්කොම වගේ ඔප්ෂන් මේ දෙකේත් තියෙනවා.

 

3. Adobe Photoshop vs Gimp

ඡයාරූප සංස්කරණය කිව්වම හැමෝටම මතක් වෙන මෘදුකාංගය තමයි ඇඩෝබි සමාගමෙන් නිකුත් කරපු ෆොටෝෂොප් කියන මෘදුකාංගය. මේකත් ඉතින් නොමිලේ ලැබෙන මෘදුකාංගයක් නම් නෙමෙයි. හැබැයි මේ මෘදුකාංගය වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ඉතාම හොඳ විකල්පයක් තමයි Gimp කියන්නෙ. හැබැයි වෘත්තීය මට්ටමේ ඉන්න කෙනෙක්ට නම් මේකේ තියෙන යම් යම් ඔප්ෂන් වල අඩුවක් දැනෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මට්ටමේ සන්සන්දනයකදී ගැටළුවක් වෙන්නෙ නෑ. විශේෂයෙන් මේ මෘදුකාංගය පරිගණකයේ ගොඩක් අඩු මතක ධාරිතාවක් තමයි පාවිච්චි කරන්නෙ. ඒක වැදගත් දෙයක්. 

 

4. WinRar vs 7-Zip

පොඩි පොඩි ෆයිල් ගොඩක් එක්ක වැඩ කරන අයට ගොඩක් උපකාරී වෙන මෘදුකාංගයක් විදිහට මේ WinRar කියන ඉතාම කුඩා මෘදුකාංගය කා අතරෙත් ජනප්‍රියයි. නමුත් මුදල් ගෙවල ඇක්ටිව් නොකළොත් පුදුම වදයක් තියෙන්නෙ මේ මෘදුකාංගයෙන්. හැබැයි ඊට බෙහෙවින්ම සමාන, නොමිලේ ලබාගන්න පුළුවන් මෘදුකාංග තව තියෙනවා. හොඳම විකල්ප උදාහරණය තමයි 7-Zip කියන්නෙ. 

 

5. Maya/3ds Max vs Blender

පරිගණක ආශ්‍රයෙන් ත්‍රිමාණ ආකෘති සහ දෘශ්‍ය ප්‍රයෝග වගේම ඇනිමේෂන් වගේ කටයුතු වලට කා අතරෙත් ජනප්‍රිය මෘදුකාංග දෙකක් තමයි Maya සහ 3ds Max කියන්නෙ. මේ දෙකේ තියෙන සංකීර්ණ ඔප්ෂන් වලින් ඉතාම සිත් ඇදගන්නා සුළු නිර්මාණ ගොඩක් කරලා තියෙනවා. විශේෂයෙන් චිත්‍රපට කර්මාන්තයේ ප්‍රයෝග සඳහාත්, ඇනිමේෂන් වලටත් මේ මෘදුකාංග වලින් ලැබෙන සහය අතිමහත්. හැබැයි මේ මෘදුකාංග දෙකම මිලෙන් ඉහළ මෘදුකාංග දෙකක්. ඒ නිසා  ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් නොමිලේ ලබාගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි Blender. 

 

6. Kaspersky/ Norton vs Avast/AVG

ඇන්ටි වයිරස් මෘදුකාංග සම්බන්ධයෙන් තියෙන මතයක් තමයි මුදල් ගෙවල ලබාගන්න ඒවා වලින් තමයි වැඩේ හරියටම වෙන්නෙ කියන මතය. හැබැයි අද වෙද්දී ඒ මතය බොරු වෙලා තියෙනවා. ඉස්සර ගොඩක්ම ඉහළ මිලක් සහිතව මෘදුකාංග වෙළෙඳපොලේ තිබුණ ප්‍රති වයිරස මෘදුකාංග වලට කරට කර තරග කරන්න පුළුවන් නොමිලේ ලැබෙන ප්‍රති වයිරස මෘදුකාංග දැන් ඕන තරම් තියෙනවා. ඒ අතරින් Avast සහ AVG කියන මෘදුකාංග දෙක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම ගෙවා ලබාගත යුතු මෘදුකාංග තරම්ම ඔප්ෂන් එහෙමත් තියෙනවා.

 

7. Adobe Illustrator vs Inkspace

ඇඩෝබි සමාගමේ තවත් ග්‍රැෆික් නිර්මාණ සඳහා භාවිතා කරන ජනප්‍රිය මෘදුකාංගයක් තමයි Adobe Illustrator. ජනප්‍රිය උනාට මේක නිත්‍යානුකූලව පාවිච්චි කරන්න නම් ඩොලර් 20ක් විතර මාසෙකට වියදම් වෙනවා. හැබැයි ඒ වෙනුවට තියෙන විකල්පයක් තමයි Inkspace කියන්නෙ. ඒ වගේම නොමිලේම පාවිච්චි කරන්නත් පුළුවන්. බොහෝදුරට ඉලස්ට්‍රේටර් තරම්ම පහසුකම් එහෙම ලබාදීලත් තියෙනවා. ඒ වගේම තව කෙනෙක් එක්ක කරන වැඩේ ශෙයා කරගන්නත් පුළුවන් Inkspace ප්ලැට්ෆෝම් එකේදී.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *