ක්‍රිකට් ක්‍රීඩාවට තණතීරුවලින් සිදුවෙන බලපෑම

ඉන්දියාව ක්‍රිකට් ගහන රටක් සහ ඉන්දියාවට පුළුවන් හොඳම සෙල්ලම ක්‍රිකට් නිසා ලෝකයේ ප්‍රේක්ෂකයින් වැඩිම ක්‍රීඩාවක් විදිහට ක්‍රිකට් මුල් තැනට එනවා. මේ ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත වුවත්, තණතීරු සහ ක්‍රීඩාංගන වලට තරඟ ප්‍රතිඵලයට යම් බලපෑමක් කරන්නට ඉඩක් තිබෙනවා. උදාහරණ ලෙස අපේ රටේ කණ්ඩායමක් බටහිර ඉන්දීය කොදෙව් හෝ එංගලන්තයේ ගියොත් ඔවුන්ට ලංකාවේදි ලැබෙන තණතීරු වලට වඩා ඒ රටවලදී ලැබෙන තණතීරු වෙනස් වෙනවා. ඉතින් මේ තණතීරු  ගැන අපි ටිකක් බලමු.

 

1. ක්‍රිකට් ඉතිහාසය

ක්‍රිකට් බිහිවුණේ 16 වන සියවසේදි. 18 වන සියවස වෙද්දි එංගලන්තේ ජාතික ක්‍රීඩාව වුණේ ක්‍රිකට්. ඉන් පසුව 19 වන සියවස වෙද්දි ක්‍රිකට් ලොව පුරා ජනප්‍රිය වුණා. විසි වන සියවසේදි තමයි සීමිත ඕවර් ක්‍රිකට් තරඟ ලෝකයට එන්නේ. යුරෝපීය රටවල් වලින් ක්‍රිකට් ලෝකයේ ජනප්‍රිය රට එංගලන්තය පමණයි. ඒත් ලෝකයේ පාපන්දු හැරුණුකොට වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව ලෙස ක්‍රිකට් සැළකෙනවා. මුලින්ම ක්‍රිකට් හැදුණේ ගොපළු කොල්ලන් හම් බෝලයකින් කරපු සෙල්ලමකින්. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යවන සහ පහරදෙන තීරුව පිච් එක කියලා හඳුන්වනවා.

 

2. මිමි

ක්‍රිකට් තණතීරුවක පළල අඩි දහයයි. සම්පූර්ණ දිග විකට් දෙක අතර යාර විසි දෙකයි. මේ ක්‍රිකට් තණතීරුවල දිග පළල මිමි තියෙන්නේ අඩි, අඟල් සහ යාර වලින්. මොකද ඉතිහාසගත මිනුම් වන නිසා. පාපන්දු වලදි ගෝල් කණු පිටිය දෙපස පිහිටුවනවා. එත් ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාංගනයේ හරි මැද කරන ක්‍රීඩාවක්. තණතීරුවේ පන්දුවට පහරදෙන ඉර සහ පන්දු යවන ඉර අතර පරතරය අඩි 58ක් වෙනවා. විකට් එකේ ඉඳලා ක්‍රීස් එකට තිබෙන දුර අඟල් 48යි.

 

 

3. ඒ ඒ තරඟවලට පිච්

මෑතකදි ටී ටුවෙන්ටි එහෙම නැතිනම් පන්දුවාර විස්සේ තරඟ ජනප්‍රිය වුණා. ඒ එක්ක පන්දුවාර 40කට පැය කීපයකට හරියන්න තණතීරුවක් තිබුණාම ඇති වුණා. ඒ වගේම පන්දුවට පහර දෙන අයට වඩාත් හිතකර වූ තණතීරු  නිර්මාණය වුණු නිසා පන්දුවාර විස්සට ලකුණු එකසිය පනහක් දෙසීයක් ලකුණු රැස් කිරීම සාමාන්‍ය තත්ත්වයට ආවා. සිමිත ඕවර තරඟයක් දවසක් පැවැත්වෙන නිසා ඒ සඳහා ගැළපෙන ලෙස තණතීරු සකස් කෙරෙනවා. ඒ වගේම ටෙස්ට් තරඟයකදි දින පහක් ක්‍රීඩා කරනවිටත් අසාමාන්‍ය තත්ත්වයට නොඑන්න පරෙස්සමින් පිච් එක සකසන්නට සිද්ද වෙනවා.

 

 

4. ඩෙඩ් පිච්

මේ පිච් වල තණකොළ නැහැ. ඒ වගේම ජල වාෂ්පත් නැහැ. මේ පිච් පෙනුමෙන් දුඹුරු පාටයි. ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය පාකිස්තානය වගේ ඉන්දියානු උපමහද්වීපයේ තියෙන බැටින් පිච් මේ විදිහයි. මේවායේ ලකුණු තියෙනවා. බෝල් කරන අයට තියෙන්නේ අඩු සහයෝගයක්. මේ පිච් බැට්කරන අයට සහයෝගය දෙන නිසා විශාල ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට හැකියාව තියෙනවා. අපේ රටේ ආර් ප්‍රේමදාස තණතීරුවත් මේ විදිහේ ලකුණු තියෙන තණතීරුවක් විදිහට ප්‍රසිද්ධයි.

 

 

5. කොළපාට පිච්

කොළ පාට පිච් වේගපන්දු යවන අයට පන්දුව දෝලනය කරන්න උපකාර වෙනවා. වේගපන්දු යවන අයට වඩාත් ගැළපෙන මේ පිච් කියන විදිහටම කොළපාටයි. තණකොළ තියෙනවා. මේ තණකොළ වල වදින බෝලය ස්වින්ග් වීමෙන් පිතිකරුට බෝලය තෝරාගන්නට අපහසු වෙනවා. මේ පිච් වල දඟ පන්දු යවන අයට එච්චර උපකාරයක් නැහැ. මේ වගේ පිච් ගොඩක් වෙලාවට බටහිර රටවල හැදෙනවා. ඊට අමතරව අපේ රටවල පවා ටෙස්ට් ක්‍රිකට් සඳහා පිච් සැකසීමේදී මේ ආකාරයේ පිච් සකසන්න උත්සාහ කරනවා.

 

 

6. දූවිලි පිච් (Dusty Pitch)

මේ පිච් වල දූවිලි ගතිය වැඩියි. එතකොට දඟ පන්දු යවද්දී පන්දු යවන්නාට වැඩි වාසි අත් වනවා. මේ තිබෙන දූවිලි ගතිය නිසා පන්දුවල වේගය නම් අඩාල වෙනවා. ඒ වගේම බවුන්ස් එක පිතිකරුට වටහාගන්නට පහසුයි. මේ වගේ ස්පින් පිච් ඉන්දියානු උප මහද්වීපයේ ඉදිවෙනවා. විශේෂයෙන් කණ්ඩායමේ දඟ පන්දු ඇණිය වඩාත් සවිමත් නම් මේ වගේ පිච් හදා එහි වාසිය ගැනීමට කණ්ඩායම් උත්සාහ ගන්නවා. කෙසේ වෙතත් මේ කවර පිච් එකක් වුවත් අනවශ්‍ය තරම් වාසිදායක ලෙසට තිබෙන්නට බැහැ.

 

 

7. පිච් එක සවුත්තු වුණොත්? 

ක්‍රීඩාංගණ සහ තණතීරු සකස් කිරීම විවිධ පාර්ශව විසින් සිදු කළත් ඒවා නිසි තත්ත්වයෙන් තිබේද කියලා රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ අයි සී සී එකේ අධීක්ෂණයට ලක් වෙනවා. වරක් ඉන්දියාවේ කොට්ලා ක්‍රිඩාංගනයේ ලංකාව සහ ඉන්දියාව අතර තරඟයක් තිබුණා. එහිදී පන්දුව අනවශ්‍ය ලෙස ඉපිලෙමින් පන්දුවට පහර දෙන පාර්ශවයට අනතුරුදායක මට්ටමකට ආවා. එවිට අයි සී සී නිර්දේශ අනුව සැකසූ අනෙක් තණතීරුවේ තරඟය ක්‍රීඩා කළා. අයි සී සී එකෙන් පත්කරන තරඟ තීරකවරයාට මේ පිච් එක ගැන රේට් කරන්නට බලය තිබෙනවා.

 

ක්‍රිකටින් නේශන් එහෙම නැතිනම් ක්‍රිකට් රටක් විදිහට ලෝකය දන්න ලංකාවෙන් ක්‍රිකට් විශේෂඥයින් රැසක් ලොවට දායාද කරලා තියෙනවා. ඉතින් මේ ක්‍රිකට් පිච් සැකසීම, ඒවා ආවරණය කිරීම ආදී දේවල් වලත් අපේ දක්ෂයෝ ඉන්නවා. කොහොම වුණත් මේ පිච් සැකසීම තුළින් යම් යම් කණ්ඩායම් වලට වාසි, අවාසි වෙන්න පුළුවන් නිසා මේ තණතීරු  සැකසීම මීට වඩා තදට බැලෙන්න ඕනි කියන අදහස ක්‍රිකට් විචාරකයින් අතර තියෙනවා.