ඵලදායක විනෝදාංශයක් ඔස්සේ ජීවිතේටත් වැඩක් සිද්ධ කරගනිමුද?

දැන් ඔය විනෝදාංශ කියන්නෙ මොනවද? සරලවම කිවුවොත් නිදහසේ නිස්කලංකව ඉන්න වෙලාවට නිරන්තරයෙන්ම කරන්න පුළුවන්, අපිට තෘප්තියක් ලැබෙන දේවල්. එතනදී ඒ කරන දේවල් වලින් අපිට ජීවිතේට මොකක් හරි දැනුමක්, කුසලතාවයක් එකතුවෙනවා නම් ඒකත් සයිඩ් බෝනස් එකක්.

 

දැන් අපි මීට කලින් විනෝදාංශ ගැන කතා කරලා තියෙනවා. අමුතු අමුතු දේවල් එකතු කරන විනෝදාංශ, එතකොට ස්වයං රැකියාවක් විදියට කරන්න පුළුවන් විනෝදාංශ, එතකොට එක්ස්ට්‍රීම් ලෙවල් එකේ විනෝදාංශ, එතකොට අත්වැඩ වර්ගයේ විනෝදාංශ, එතකොට අමුතුම විදියේ විකාර විනෝදාංශ, එතකොට අලුතෙන් පටන් ගන්න හොඳ විනෝදාංශ, එතකොට සීවී එකට දාන්න වටින විනෝදාංශ වගේ විනෝදාංශ ගැන අපි සෑහෙන්න කතා කරලා තියෙනවා. මේ කතා කරලා තියෙන සමහර විනෝදාංශ වලිනුත් ඇත්තටම ජීවිතේට යමක් එකතුවෙනවා.

 

ඉතින් අපි හිතුවා, උඩ ලියලා තියෙන විනෝදාංශ ආටිකල් වල නැති, හැබැයි ජීවිතේට දැනුමක්, කුසලතාවයක් එකතු කරගන්න පුළුවන් තවත් විනෝදාංශ සෙට් එකක් ගැන ලියන්න. කියවලා බලන්න අපිටත් මෙතනින් පටන් ගන්න පුළුවන් විනෝදාංශයක් තියෙයිද කියලා!

 

1. ඩීප් රීඩින්

ගොඩක් අය කියනවා ස්මාට්ෆෝන් අනං මනං අතට ආවට පස්සේ පොත් කියවන එක අඩුම වෙලා කියලා. ඒකේ ඇත්තක් නැත්තෙත් නෑ. හැබැයි පොත් කියවන එක කියන්නේ නම් අත්හැර නොගතම යුතු විනෝදාංශයක්. නිකම්ම පොතක් කියවන එකටත් වඩා ගැඹුරු කියැවීමකට යෑම කියන්නේ දැනුම එකතු කරගන්න සහ දැනුම විශ්ලේෂණය පුරුදු වෙන්න කියාපු විනෝදාංශයක්. මෙතනදී ඔය රීඩින් චැලෙන්ජ්ස් එහෙම සෑහෙන්න ප්‍රයෝජනවත් වේවි. ඒ කියන්නේ ‘මැරෙන්න කලින් කියවලා තියෙන්න ඕන පොත් සීයක්’ වගේ අභියෝගයක් ගත්තට පස්සේ නිකම්ම, දන්නෙම නැතුව පොත් සීයක් කියවෙනවා. ඊට පස්සේ ඔය ෆේස්බුක් එකේ, ක්ලබ්හවුස් එකේ එහෙම රීඩින් ක්ලබ් එකකට සම්බන්ධ වෙලා ඒ කියවපු පොත් ගැන විශ්ලේෂණාත්මකව කතා කරන්න එහෙමත් පුළුවන්!

 

2. චීන බස කතා කරමු

දැකලා තියෙනවද ඔය සමහරු ආසාවට හින්දි ෆිල්ම්ස් බලල බලලා අන්තිමට හින්දි එකෙක්ට වඩා හොඳට හින්දි කතා කරනවා? හැබැයි ඒක වෙනම පංති ගිහිල්ලා කරන්න ඕන එකක් නොවෙන නිසා, විනෝදයක් මිසක් වැඩක් වෙන්නෙ නෑ. ආන්න ඒ විදියට භාෂාවක් ඉගෙන ගන්න එක විනෝදාංශයක් කරගන්න පුළුවන් ක්‍රම සහ විධි තියෙනවා. විශේෂයෙන්ම දැන් කාලේ විවිධ විදේශ භාෂා ඉගෙන ගන්න පුළුවන් ඇප්ස්, වෙබ්සයිට්ස්, යූටියුබ් විඩියෝ එහෙම තියෙනවනේ. දැන් අපි ඕක ආතල් එකට කරන්න පටන් ගන්නවා. අපි කියමු චීන මැන්ඩරින් ඉගෙනගැනීම කියලා. අපි දවසකට දළ වශයෙන් පැය බාගයක් විතර වෙන් කරනවා ඕකට. ඊට පස්සේ ක්‍රමානුකූලව අක්ෂර මාලාවේ ඉඳලා ඉගෙන ගන්න පටන් ගන්නවා. ඒ අතරේ චීන ෆිල්ම්ස්, චීන සිංදු එහෙමත් අහනවා බලනවා. ඕක ඔහොම ටික කාලයක් කරගෙන ගිහින් බලන්න චීනෙක් එක්ක කතා කරන්න පුළුවන් ලෙවල් එකට මැන්ඩරීන් හැදෙන්නෙ නැද්ද කියලා!

 

3. බොඩි බිල්ඩින්ග්

මේකත් විනෝදාංශයක්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඇත්තටම කිවුවොත් ඔව්. බොඩි බිල්ඩින්ග් කියන්නේ විනෝදාංශයක් බවට හරවා ගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් ජිම් එකට යන්නේ බඩ අඩු කරගන්න, බර අඩු කරගන්න වගේ දේවලටනේ. ඒකට කමක් නෑ. හැබැයි අපි ජිම් එකේ කෝච් එක්ක එකතු වෙලා, අපිට අපේ ඇඟ හදාගන්න ඕන මෙන්න මේ විදියට කියලා පොඩි සැලැස්මක් ගහගන්නවා. සැලැස්ම ගැහුවට පස්සේ ඒක අපිට ඕන නම් හිතින් හිතාගන්නත් පුළුවන්. ආන්න ඊට පස්සේ අපි ඒ හිතේ තියෙන අපිට අවශ්‍ය පෙනුම ලබාගන්න, අපේ ඇඟ හැඩගස්වාගන්න පටන් ගන්නවා. ටික දවසක් යනකල් මේකේ අමුතු එකක් නෑ. හැබැයි ක්‍රම ක්‍රමයෙන් අපේ ඇඟ අපිට ඕන විදියට හැඩගැහෙන කොට තමයි මේ විනෝදාංශයේ තියෙන ෆන් එක තියෙන්නේ. 

 

4. දවල් සිහින

දවල් හීන බලන්න එපා කියලා අපිට කොයි තරම් අම්මලා තාත්තලා, ගුරුවරු බැණලා ඇතිද? හැබැයි ඇත්තටම හරි විදියට දවල් හීන බලනවා නම්, ඒක සාර්ථක විනෝදාංශයක් කරගන්නත් පුළුවන්. එතකොට තව ප්‍රශ්නයක්. දවල් හීන බලන එකෙන් ජීවිතේට ලැබෙන්නේ මොනවද? සරලයි, අපේ නිර්මාණශීලීත්වය එළියට ගන්න, තීව්‍ර කරගන්න දවල් හීන වලින් හොඳ ගැම්මක් ලැබෙනවා. හැබැයි කරන්න ඕන මෙහෙමයි. අපි නිකම් ඉන්න වෙලාවට එක එක සිනාරියෝ ඔස්සේ දවල් හීන බලනවා. ඒක එක්කෝ සොම්බි ඇපොකැලිප්ස් එකක් වෙන්න පුළුවන්, සීක්‍රට් ස්පයි මිෂන් එකක් වෙන්න පුළුවන්, දරුණු අපරාධකාරයෙක්ව අල්ලන්න යන මිෂන් එකක් වෙන්න පුළුවන්, බිංදුවෙන් පටන් අරගෙන ආර්ථික අධිරාජ්‍යයක් ගොඩනැංවීමක් වෙන්න පුළුවන්. ඒ වගේ එක සීන් එකක් අරගෙන ඔහේ ඒ දිගේ හිතන්න. පුංචි ඩීටේල් දක්වා හිතන්න. ආන්න ඊට පස්සේ, එව්වා තමන්ගේ දවල් හීන සටහන් පොතක ලියන්න!

 

5. ඔන්ලයින් ඩාන්සින්

මේ දවසින් දවස අලුත් වෙන තාක්ෂණයේ තියෙන හොඳ ගණනාවන්ගෙන් එකක් තමයි, අපිට ඕනම දෙයක් ඉගෙන ගන්න පුළුවන් මාර්ග ඔන්ලයින් තියෙන එක. දැන් අපි හිතමු අපි ඩාන්සින් වලට ආසයි කියලා. එතකොට ඔන්ලයින් ඩාන්සින් ඉගෙන ගන්න එක අපිට විනෝදාංශයක් විදියට කරන්න බැරිද? කරන්න තියෙන දේ සරලයි. යූටියුබ් එකේ ඩාන්සින් උගන්වන චැනල් කීපයක් හොයාගන්නවා. දැන් ඊට පස්සේ ඉඩකඩ තියෙන තැනක ඉඳන්, ඒ චැනල් වල උගන්වන විදියට ඩාන්සින් ස්ටෙප්ස් පුරුදු වෙනවා. ඊට පස්සේ එව්වා ප්‍රැක්ටිස් කරනවා. සතියකදී එක ස්ටෙප් එකක් හොඳටම පුරුදු වෙනවා වගේ ගෝල් එකකුත් ඕන නම් තියාගන්නවා. ආන්න එතකොට ඩාන්සින් ඔන්ලයින් ඉගෙන ගන්න එක ආතල්ම ආතල් වැඩක් බවට පත්වෙනවා.

 

6. කෝඩින්

ඇත්තටම කම්පියුටර් ගැන පිස්සුවෙන් ඉන්න මනුස්සයෙක්ට වුණත්, ක්‍රමලේඛ භාෂාවක්, ඒ කියන්නේ අපේ ව්‍යවහාරයෙන් කිවුවොත් කෝඩින් කියන එක ඉගෙන ගැනීම පටන් ගැන්මෙදි ආතල් එකක් වෙන්නෙ නෑ. හැබැයි ඔය ඕන තරම් ඔන්ලයින් ටියුටෝරියල් තියෙනවා කෝඩින් වල මූලික කරුණු පියවරෙන් පියවර ප්‍රායෝගිකව ඉගෙන ගන්න. ආන්න ඊට පස්සේ අපිට පුළුවන් කෝඩින් වල ජොලි දෙයක් ඉගෙන ගන්න. උදාහරණයක් විදියට HTML හරි ඒ වගේ ක්‍රමලේඛ භාෂාවකින් වෙබ් පිටු ඩිවලොප් කරන විදිය ගමු. මෙතන ආතල් එක තියෙන්නේ, තමන් කෝඩින් කරන දේ අවුට්පුට් එක බලන එකේ තමයි. දැන් ඕක හිමිහිට කරගෙන කරගෙන ප්‍රවීණයෙක් වෙනකොට, දන්නෙම නැතුව තමන්ට තමන්ගේම ව්‍යාපාර අවස්ථාවක් පවා පෑදිලා!

 

7. කෝර්ස් කිරීම

ඉගෙන ගන්න එක කවද්ද විනෝදාංශයක් වුණේ කියලා හිතුවද? ඇත්තටම සාම්ප්‍රදායික ඉගෙනීමෙන් බැහැර වෙලා, වර්තමානයේ තියෙන ඔන්ලයින් ඉගෙනගැනීම් වගේ සීන් බොහොම ලේසියෙන් විනෝදාංශයක් බවට පත් කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔන්න අපි Udemy, Coursera, Khan Academy, Edx වගේ ඔන්ලයින් පාඨමාලා පිරිනමන වෙබ් අඩවි කීපයක ලියාපදිංචි වෙනවා. මේ වල ඇප්ස් එහෙමත් ස්මාට්ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ බලනවා අපේ ජොබ් එකට, අපේ ෆීල්ඩ් එකට අදාළව තියෙන පාඨමාලා මොනවද කියලා. ඕන නම් ෆ්‍රී කෝර්සස් මොනවද කියලා බලන්නත් පුළුවන්. මේ විනෝදාංශයට සල්ලි වියදම් කළාට කමක් නැහැ කියලා හිතෙනවා නම් එහෙමත් ගැටළුවක් නෑ. දැන් එහෙම සර්ච් කරනකොට පාඨමාලා සෑහෙන්න මුණගැහෙන්න ඕන. දැන් පටන් ගැන්මට ඉතාම අඩු කාලෙකින්, ඒ කියන්නේ පැය කීපෙකින් කරන්න පුළුවන් කෝර්ස් එකක් තෝරගන්නවා. ඊට පස්සේ දවසකට පැයක් හෝ ඒ වගේ කාලයක් වෙන් කරලා, ඒ පාඨමාලාව සම්පූර්ණ කරනවා. දැන් ඔහොම ඔහොම කරගෙන යනකොට, දන්නෙම නැතුව ඒක හොඳ විනෝදාංශයක් බවට පත් වෙනවා. ඒ වගේම තමන්ට සීවී එකට පවා දාන්න පුළුවන් හොඳ කුසලතාවයන් කට්ටලයකුත් හිමි වෙනවා.

 

මේ විනෝදාංශ ඇරෙන්න ජීවිතේට යමක් එකතු කරන ඔයාලා කරන වෙනත් විනෝදාංශ එහෙමත් තියෙනවද? එහෙමනම් කමෙන්ට් එකක් දාලා අපිට ඒ ගැන කියාගෙනම යන්න!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *