මෑත කාලයේදී අපේ රටේ ජනප්‍රිය සහ ප්‍රවීණ නිළියන් කිහිප දෙනෙක්ම මියගියා. ඔවුන් සියළු දෙනාම ජීවිතයෙන් සමු ගත්තත් රසිකයන්ගේ හදවතේ හැමදාම ජීවමාන බව නොකියාම බැහැ. අපි අද මේ උත්සාහ කරන්නේ ඔවුන් පිළිබඳව ඔබේ මතකය යළිත් අවදි කරන්න.
1. හයසින්ත් විජේරත්න
රූගත කිරීමක් නිමවී යළිත් සිය නිවසට එමින් සිටියදී ලිඳුල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් හයසින්ත් විජේරත්න මිය ගියේ මුළු ලංකාවම කම්පනයට පත් කරමින්. ක්ෂේත්රය තුළ සියළු දෙනාගේම පාහේ ආදරය සහ ගෞරවය දිනා ගැනීමට ඇය සමත් වී තිබුණේ ඇගේ තිබූ ගුණ යහපත්කම් නිසාමයි. ඇය සතුව තිබූ සුවිශේෂී පෙනුම නිසාම ඇයට බොහෝ විට ලැබුණේ උඩරට කුල කාන්තාවන්ගේ චරිත හෝ මවකගේ චරිතයි.
2. ප්‍රමිලා කුරුප්පු
ප්‍රමිලා කුරුප්පුව අපේ පරම්පරාවේ බොහෝ දෙනෙක්ට මතක “කන්දෙ ගෙදර” ටෙලි නාට්‍යයේ ඇය පෙනී සිටි කෙටි දර්ශනයක් නිසා. නමුත් ඇය දිවි පිදුම, ආදර රත්නේ වගේ චිත්‍රපටි ගණනාවකට තමන්ගේ රංගන දායකත්වය ලබා දීලා තිබුණා. නර්තනයට උපන් හපන්කම් දැක්වූ ඇය මුල් කාලයේදී චිත්‍රපටිවල නැටුම් දර්ශන සඳහා බෙහෙවින් ඉදිරිපත් වුණා. ඊට අමතරව බොහෝ විට ඇයට ලැබුණු දුෂ්ට චරිත නිසා ප්රේක්ෂකයන්ගෙන් බැණුම් පවා ඇසූ බව ඇය පවසා තිබෙනවා.
3. සුරේනි සෙනරත්
ඇය උපත ලබන්නේ කලා පවුලක. ඇගේ පියාද චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වූ අතර “අමරණීය ආදරය” නම් වූ ඔහුගේම සිනමා නිර්මාණයකින් ඇය කලා ලොවට පිවිසුණා. ඉන් අනතුරුව චිත්‍රපටි ගණනාවක් සඳහා දායක වූ ඇය චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙසත් කටයුතු කරනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ආධාරකාරියක ලෙස දේශපාලන කටයුතුවලටත් දායක වූ ඇය කලා ලෝකයේ ප්රකටව සිටියේ නිරහංකාර සහ අන් අයට උදව් කරන තැනැත්තියක් ලෙසයි.
4. නාලිනී අබේපාල
මේ වසරේ මිය ගිය අපේ රටේ සිටි ජේෂ්ඨතම නිළියක වූ ඇය “කුරුළුබැද්ද”, “නළඟන”, “සිතක මහිම” වැනි චිත්‍රපටි දහයක පමණ රංගනයෙන් දායකත්වය ලබාදුන්නා. මීට අමතරව “සිවම්මා ධනපාල” වැනි ටවර් හෝල් වේදිකා නිර්මාණයක සහ ප්‍රේමසිරි කේමදාසගේ කැලෑ මලේ ගීත නාටකයට දායක වූ ඇය සිය විවාහයෙන් පසුව රංගන ජීවිතයට සමු දෙනු ලැබුවා.
5. මියුරී සමරසිංහ
ඇතැම් විචාරකයන් පවසන පරිදි මියුරී සමරසිංහ වැඩිම ටෙලිනාට්‍ය ගණනාවක රඟපෑ නිළිය වනවා. ඇය රඟපෑ ටෙලි නාට්‍ය ප්‍රමාණය ඇයටද මතක තිබුණේ නැහැ. “අලුත් දවසක්” නව වේදිකා නාට්‍යයෙන් කලා ලොවේ ගමනක් ආරම්භ කළ ඇය අනතුරුව චිත්‍රපට සහ ටෙලි නාට්‍යවලට නැතිවම බැරි නිළියක් බවට පත් වුණා. පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි ඇය ජීවිතයෙන් සමු ගත්තේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ මොහොතකයි. ඊට සති කීපයකට පෙර යූටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වූ ඇය තම වර්තමාන තත්ත්වය පිළිබඳව රසිකයන් දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා.
6. වින්ධ්‍යා දොඩංගොඩ
මේ නම ඇතැම් විට ඔබට හුරුපුරුදු නමක් නොවෙන්න පුළුවන්. මොකද ඇය නිළියක විදිහට අපිට දැකගන්න ලැබුණේ එකම එක ටෙලි නාට්‍යයක එකම චරිතයකින් විතරයි. ඒ ටෙලි නාට්‍යය තමයි “පළිඟු මැණිකේ”. ඇය එහි රඟපෑවේ නන්දනීගේ චරිතය කියලා කිව්වොත් ඔබට ඇයව මතක් වෙනවා කියන එක අපිට විශ්වාසයි. එම ටෙලිනාට්‍යයෙන් පසුව කලින් අපි සඳහන් කලා වගේම වෙනත් නිර්මාණවලට දායක නොවීම නිසා ඇයගේ රංගන දක්ෂතාවය ප්‍රේක්ෂකයන්ට තවදුරටත් දැකගැනීමේ අවස්ථාව අහිමි වුණා.
7. අනුලා බුලත්සිංහල
ඇය පසුගිය වසරේ අග භාගයේ දී මිය ගියත් ඇයවත් මේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීරණය කළේ ඇයගේ සමුගැනීමෙන් ඇති වූ රික්තකය එතරම් ප්‍රබල වූ එකක් නිසයි. වේදිකා නාට්‍ය නිළියක ලෙස සිය ප්‍රතිභාව පෙන්නුම් කළ ඇය රංගනයට මෙන්ම ගායනයට ද එකසේ දක්ෂතා දැක් වූ නිළියක්. කෙසේ නමුත් ඇගේ මේ දක්ෂතාවයෙන් චිත්‍රපටි සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍ර නිසි පරිදි ප්‍රයෝජන ලබා ගත්තාද යන්න ප්‍රශ්නයක්.
මේ ලිපියට අපිට ඇතැම්විට තව කීප දෙනෙක්ගේ නම් මඟ ඇරෙන්න ඇති. ඒ අය ගැන ඔබේ අතීතාවර්ජනය කමෙන්ට් එකකින් කියන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න කියන ඉල්ලීමත් ඔබට කරන්න කැමතියි.
Leave a Reply