ලංකාවේ ආන්දෝලනාත්මකම සිනමාකරුවෝ

ලංකාවෙ සිනමාව කියන්නේ එක්තරා වකවානුවක අපේ රටේ ජනතාවගේ ප්‍රධාන විනෝදාස්වාද මාර්ගයක් බවට පත් වෙලා තිබ්බ දෙයක්. නමුත් රූපවාහිනියේ පැමිණීමත් එක්ක කෙමෙන් කෙමෙන් සිනමා ශාලාවලට ගිහිල්ලා සිනමා නිර්මාණ රස විඳීමේ පුරුද්ද මිනිස්සුන්ගෙන් බැහැර වුණා. අද වෙනකොට අන්තර්ජාලය සහ කොරෝනා වසංගතයේ එක්ක සිනමා කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. නමුත් නෙට්ෆ්ලික්ස් වැනි ක්‍රමෝපායන් භාවිතා කරමින් අන්තර්ජාතික සිනමාව නිර්මාණශීලී විසඳුම් හොයන්න උත්සාහ කරද්දී ලංකාවේ සිනමාව කොතනද කියන ප්‍රශ්නය අපිට අහන්න වෙන්නේ නිතැතින්මයි. කතාව වෙන පැත්තකට ගියාද මන්දා? විනෝද ආශ්වාද කර්මාන්තයක් වුණාට ඇතැම් අවස්ථාවල සිනමාකරුවන්ට මල් ම විතරක් ලැබුණේ නැහැ, ගල් පවා ලැබුණා. අපි අද කතා කරන්න යන්නේ වැඩිපුර ගල් පහරවල් කන්න ලැබුණ ආන්දෝලනාත්මක සිනමාකරුවෝ කීපදෙනෙක් පිළිබඳවයි.

 

1. විමුක්ති ජයසුන්දර 

සුළඟ එනු පිණිස චිත්‍රපටය ප්‍රංශයේ කෑන්ස් සම්මාන උළෙලේදී සම්භාවනාවට ලක් වුණත් ලංකාවේ ඇතුළේදී විමුක්ති ජයසුන්දරට ඒ සඳහා එතරම් හොඳ ප්‍රතිචාරයක් හිමි වුණේ නැහැ. ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා සංස්කෘතිය විවේචනයට ලක් කරමින් මේ සිනමා නිර්මාණය සිදු කළා කියන එක තමයි ඔහුට දැඩිව එල්ල වුණු චෝදනාව.

 

2. අශෝක හඳගම 

ප්‍රේක්ෂකයන්ගෙන්, විචාරකයන්ගෙන් පමණක් නොව සිය හිටපු බිරිඳගෙන් පවා අශෝක හඳගමට දැඩි ලෙස චෝදනා එල්ල වුණා. තමන්ව බලහත්කාරයෙන් නිරුවත් කොට සිනමා නිර්මාණයකට දායක කරගෙන ඊට අදාළව කිසිදු මුදලක් නොගෙවීම පිළිබඳව අනෝමා ජනාදරී දැඩි ප්‍රහාරයක් හඳගමට එල්ල කළ අතර  ඔහුගේ සෑම නිර්මාණයකින්ම පාහේ රාජ්‍ය නොවන සංවිධාන වල න්‍යාය පත්‍ර නිරූපණය වන බව කියමින් ජාතිකවාදීන් චෝදනා කළා.

 

3. ඉනෝකා සත්‍යාංගනී 

සුළං කිරිල්ලී චිත්‍රපටිය හරහා ජාත්‍යන්තර සම්මාන උළෙල ගණනාවකින්ම  ඇගයීමට ලක් වූ ඉනෝකා සත්‍යාංගනීද විවේචනයට ලක් වූයේ ඇගේ සිනමා නිර්මාණය තුළ යුධ හමුදා සොල්දාදුවෙක් සහ ඇඟළුම් කම්හලක සේවය කරන යුවතියක් පාදක කරගෙන එම කතාව  ගලා යෑමට සැලැස්වීම නිසායි. නමුත් එම සියලු විවේචන සඳහා ඇය නිර්භීතව මුහුණ දෙනු ලැබුවා.

 

4. ප්‍රසන්න විතානගේ

ප්‍රසන්න විතානගේ විසින් නිර්මාණය කරනු ලැබූ  පුරහඳ කළුවර චිත්‍රපටිය  අර්ධ වාරණයකට ලක් වූ අතර එම ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා ඔහුට අධිකරණයේ පිහිට පැතීමට පවා සිදු වුණා. පසු කාලයක  ප්‍රසන්න විසින් හෙළි කර තිබූ පරිදි චිත්‍රපටය සඳහා පාදක කරගෙන තිබූ තිර පිටපතටත් වඩා ඒ කාලයේ දේශපාලනයට සම්බන්ධව සිටි කලාකරුවෙකුගේ බලපෑම එම වාරණය  සඳහා බලපා තිබෙනවා.

 

5. ලින්ටන් සේමගේ 

දක්ෂ නළුවෙකු ලෙස ජනාදරය දිනා ගෙන සිටි ලින්ටන් සේමගේ වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදය සිය නිත්‍ය  වාසස්ථානය බවට පත් කොට ගෙන සිටිනවා. ඔහු එහි රැඳී සිටිමින් අධ්‍යක්ෂණය කළ “නිල්” චිත්‍රපටයට පාදක වූයේ මිනීමරුවෙක් පසුපස පැමිණීම නිසා ඇමරිකා එක්සත් ජනපදයට පැනගොස් ජීවත්වන මාධ්‍යවේදියකු පිළිබඳ කතා පුවතකුයි. කෙසේ නමුත් එය චිත්‍රපටයක් වශයෙන් අසාර්ථක එකක් බව ඇතැම් සිනමා විචාරකයන් පවසා තිබෙනවා.

 

6. සත්‍යජිත් මාඉටිපේ

බොරදිය පොකුණ චිත්‍රපටය ලංකාව තුළ වාරණයට ලක් වී, අවසානයේ වසර 12 කට පසුව 2015 වසරේදී ප්‍රදර්ශනය කෙරුණා. හමුදා සොල්දාදුවකු සහ ඇඟලුම් කම්හල් සේවිකාවක් අතර ඇතිවන ආදර සම්බන්ධතාවයකුත් ඊට ඔවුන් වටා සිටින පිරිස දක්වන ප්‍රතිචාරයත් මෙම චිත්‍රපටය සඳහා පාදක කොටගෙන කොට ගෙන තිබුණා. විශිෂ්ට චිත්‍රපටයක් ලෙස බොහෝදෙනෙකුගේ අගය කිරීමට ලක් වූ මෙම චිත්‍රපටය වසර ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂකයන්ට දකින්නට නොලැබී යාම බොහෝ සිනමා විචාරකයන්ගේ දැඩි කනස්සල්ලටද හේතුව තිබුණා.

 

7. සංජීව පුෂ්පකුමාර

 

ඔහු විසින් මෑතදී නිර්මාණය කරන ලද දැවෙන විහඟුන් සහ ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටි දෙකම සමාජය ආන්දෝලනයට තුඩු දුන්නා පමණක් නොව එම චිත්‍රපටිවල රඟපෑ ප්‍රධාන නිළියන්ගේද චෝදනාවට ලක් වුණා. චිත්‍රපටියේ නිර්මාණකරු තමන්ව මූල්‍යමය සූරාකෑමට ලක් කළා පමණක් නොව   තමන් නිරූපණය කළ චරිතයටද සුවිශාල අසාධාරණයක් සිදු කළ බවට ඔවුන් චෝදනා කරනු ලැබුවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.