කොරෝනා නිසා හැමෝගෙම ජීවිත ඉතාම අපහසු වෙලා. කඩාවැටුණු ව්‍යාපාර, අහිමිවුණු රැකියාවන් එක්ක ආර්ථික අතින් වගේම අනිත් හුඟාක් කාරණා නිසා සමාජීය අතිනුත් මිනිස්සු විශාල ගැටළු ගොඩක පැටලිලා. හැබැයි කොරෝනා ගැටළුව තිබුණා කියල අනිත් ප්‍රශ්න වලිනුත් අපිට ගැලවීමක් නැහැනේ. දැනට අවුරුදු එකහමාරකට වඩා වැඩි කාලයක් තිස්සෙ කඩාවැටීමකට ලක්වෙලා තියෙන දරුවන්ගේ විධිමත් පාසල් අධ්‍යාපනය යාන්තමට හරි මාර්ගයට වැටීගෙන එනකොටම ඔන්න ගුරු වර්ජනයක් නිසා ආයෙමත් දරුවෝ නිකන්ම ගෙදරට වෙලා. මේ වර්ජන, ඉල්ලීම ගැනනම් අපි මේ වෙලාවේ කතාකරන්න සූදානම් නැහැ. හැබැයි මේක දරුවන්ගේ අධ්‍යාපනයට සහ අනාගතයටනම් ලොකු බලපෑමක් ඇතිකරන බව ඕනම කෙනෙකුට පැහැදිළියි. ඉතින් මේ කොරෝනා නිසා ගෙදරටම කොටුවුණ දරුවන්ගේ අධ්‍යාපනයේ සම්පූර්ණ වගකීමම දැන් පැටවිලා තියෙන්නෙ දෙමව්පියන්ගේ කරපිට. ඒත් අමාරුයි කියලා නොකර බැහැනේ. ඒ නිසා අපි හිතුවා මේ වසංගත කාලයේ දරුවන්ගේ අධ්‍යාපනය නිසි විදිහට පවත්වාගෙන යන්න දෙමව්පියන්ට කරන්න පුළුවන්, ඔවුන් කළයුතු දේවල් කිහිපයක් ගැන මතක් කරන්න.
1. පාසල් අත්දැකීමම ලබාදෙන්න අවශ්‍ය නැහැ
වසංගතය නිසා ගෙදර ඉන්න වුණු බව පාසල් ගිය 3,4 සිට ඉහළ ශ්‍රේණිවල අධ්‍යාපනය ලබපු දරුවෝ හොඳටම දන්නවනේ. ඒ ඇරුණහම අලුතෙන්ම පාසලේ ඒක වසරට ඇතුලත්වෙන පුංචි දරුවන්ට මේ ගැන ලොකු අත්දැකීමක් නැහැ. ඉතින් හරියට බැලුවොත් පුරුදු පාසල් අධ්‍යාපනයේ අත්දැකීම මඟහැරෙන්නේ ටිකක් ලොකු දරුවන්ට. මේ කොයි දරුවන්ට වුණත් 100%ක්ම පාසල් අත්දැකීම ලබාදෙන්න අපිට ගෙදරදී හැකියාවක් නැහැ. ඒ කියන්නෙ ඉස්කෝලෙදි වගේම උදේ වරුව සම්පූර්ණයෙන් ඉගෙනීමටම වෙන්කරන්න. ඔන්ලයින් පන්ති අතරමැද කාලයේ නිවසේ සිදුවන දේ කෙරෙහි අවධානය යොමු නොකරන්න වගේ නීති ගෙදරදී අපිට දරුවාට පනවන්න බැහැ. එහෙම පැනවීම සුදුසුත් නැහැ. එහෙම උත්සාහ කිරීමෙන් වෙන්නෙ දරුවා සහ දෙමව්පියන් කියන දෙපාර්ශවයම වෙහෙසට පත්වීම. මුලින්ම දෙගොල්ලොම තේරුම් ගන්න අවශ්‍යයි මේක ගෙදර ඉන්න ගමන් ඉගෙන ගන්න සිදුවෙන කාලයක් බව.
2. දරුවාගේ දවස සැලසුම් කරන්න
මේ ගෙදර ඉඳන් ඉගෙන ගන්න වැඩේදී මුලින්ම කරන්න ඕන දරුවාගේ දවස සැලසුම් කරන එකයි. මොකද පාසලේදී ඒ ඒ විෂයට වෙන්වුණු කාලයන් කාලසටහනේ වෙන්කරල තිබුණට ගෙදරදී එහෙම නැහැනේ. ඉතින් පාසලෙන් පවත්වන පන්ති තිබුණත් නැතත් ඒ ඒ වැඩසටහන් වගේම පසුවට කරන්න අවශ්‍ය පැවරුම්, ගෙදර ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්න වගේ සියළු දේ දරුවාගේ දවසේ අංගයන් විදිහට සැලසුම් කරන්න. මේවා කොළේක ලියල බිත්තියේ අලවන කාලසටහනක් වෙන්නම අවශ්‍ය නැහැ. ඒත් කලින් සරලව සැලසුමක් හදාගෙන මතකයේ තියාගන්න.
3. දෙමව්පියන්ටත් ඉගෙන ගන්න වෙනවා
මේක ලේසි පහසු නැහැ. විශේෂයෙන්ම දෙමව්පියනුත් රැකියාවක් හෝ ව්‍යාපාරයක් එක්ක කාර්යබහුලයිනම්. ඒත් අපහසුවෙන් වුණත් නොකරම බැහැ. දරුවන්ට උගන්වන්න නම් ඒ විෂයන් ගැන සරල, පැහැදිළි අවබෝධයක් දෙමව්පියන්ටත් තියෙන්නම ඕන. අපිට පාසල් කාලයේ ඉගෙන ගත්ත හුඟක් දේ මේ වෙද්දී හොඳටම මතකයේ නැහැ. අනික අපි හැමෝම හැම විෂයටම දක්ෂ වුනෙත් නැහැ. ඒ නිසා මේක ඇත්තෙන්ම ලොකු අභියෝගයක්. ඒත් අමාරුවෙන් හරි මේ පාඩම් ඔළුවට අරගෙන දරුවන්ට මඟ පෙන්වන්න අපිට සිදුවෙනවා. මොකද පාසලේ ගුරුවරුන්ගේ වගේ මඟපෙන්වීමක් දැන් දරුවන්ට නොලැබෙන නිසා.
4. පුනරීක්ෂණ කෙරෙහි අවධානය යොමුකරන්න
ඔන්ලයින් පන්ති මඟින් උගන්වන දේ ගෙදරදී පුහුණු කිරීම අනිවාර්ය දෙයක්. මොකද ඉස්කෝලේ යනවා, පන්ති යනවා, පාඩම් කරනවා කියන ට්‍රැක් එකෙන් දරුවෝ ටිකක් මිදිලා ඉන්න නිසා, ඒ වගේම ඉස්සර ඉස්කෝලෙදියි, අමතර පන්තියෙදියි දෙකේදීම කෙරුණ පැවරුම් වැඩ දැන් එහෙම දෙවරක් නොකෙරෙන නිසා මේ පාඩම් වැඩ හරියට කෙරෙනවද කියලත් ටිකක් දෙමව්පියන් අවධානය යොමුකළ යුතුයි.
5. තාක්ෂණය එක්ක පරිස්සමෙන්
ඔන්ලයින් ඉගෙන ගන්නව කියන්නෙ තාක්ෂණික මෙවලම් වගේම විවිධ මෘදුකාංග වලට දරුවෝ නිරාවරණය වෙනව වැඩියි. අන්තර්ජාලය භාවිතා වෙනව වැඩියි. මේක හොඳ සහ නරක දෙකම තියෙන ප්රවණතවයක්. ඒ නිසා ෆෝන්, ටැබ්ස් දුන්නට දරුවෝ හරියට ඒ දේවල් භාවිතා කරනවද වට්සැප්, යූටියුබ් අවභාවිතා නොකරනවද කියලා නිතර අවධානයෙන් ඉන්න ඕන.
6. දරුවාගේ මානසික සෞඛ්‍යය ගැන අවධානය
පාසල් යන්න නැතිවීම, සම වයස් යහළුවන් ආශ්‍රය සීමාවීම වගේම තාක්ෂණයට වැඩි වශයෙන් නිරාවරණය වීම නිසාම අපේ වගේම දරුවන්ගේත් මනස නිරෝගී නැහැ මේ දවස්වල. ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නංවන්න විවිධ උපක්‍රම භාවිතා කරන්නත් දෙමව්පියන් දක්ෂ වෙන්න ඕන. ලේසි නැහැ. ඒත් කලින් කිව්ව වගේම නොකර බැහැ. ගෙදරදී කරන විවිධ ක්‍රියාකාරකම් වලින් මේ දේ කරන්න පුළුවන්. කොහොමටත් එළියේ ඇවිදින්න යන්න බැහැනෙ දැන්. අවශ්‍යයි කියල හිතුනොත් වෛද්‍ය උපදෙස් ගන්න වුණත් දෙපාරක් හිතන්න එපා මේ කාලය ඒ තරම්ම මනසට හොඳ නැති නිසා.
7. නොකඩවා ක්‍රියාත්මක කරන්න
කලින් කියපු සැලසුම් වගේම ක්‍රියාකාරකම් හැම එකක්ම නොකඩවා ක්‍රියාත්මක කිරීමත් හරිම වැදගත්. එහෙම නැතුව කරන්නන්වාලේ ඉඳල හිටලා කරන්න ගියොත් දරුවා නිවැරදි ට්‍රැක් එකක තියාගෙන යන එක පහසු වැඩක් නෙමෙයි. එයාලත් ඔහේ ඕනාවට එපාවට ඒ දේවල් කරන්න පුරුදු වෙනවා. අම්මලාගේ උනන්දුව ඉහළින්ම තියෙන බව දැනුනොත් තමයි ළමයි ඒ තරම්ම උනන්දු වෙන්නෙ.
8. අධ්‍යාපනය කියන්නෙ පොත පත ඉගෙනීම පමණක්ම නෙමෙයි
ඔක්කොටම පස්සේ අධ්‍යාපනය කියල කියන්නෙ පොත්ගුල්ලෝ වගේ පොතම ඉගෙන ගන්න එකම නෙමෙයි. ගෙදර ඉන්න මේ කාලය දරුවන්ට ගේ දොර වැඩ වගේම වත්ත පිටියේ වැඩත් උගන්වන්න පුළුවන්. ඒකෙන් එයාලට දෙයක් ඉගෙනගන්න පුළුවන් විතරක්ම නෙමෙයි. මානසික සෞඛ්‍යයත් ඉහළ යනවා. ඒ වගේම පවුලේ සියළු දෙනා අතරේ යහපත් සම්බන්ධයක් ගොඩනැගෙනවා.
Leave a Reply