සල්ලි දීලා සතුට ගන්න පුළුවන් විදි මේවා තමයි!

ඇත්තටම සල්ලි වලට සතුට ලබාගන්න බැරිද? මේක සෑහෙන්න වාදවිවාද වලටත් විෂය වුණු සංකීර්ණ කාරණාවක්. හැබැයි එහෙම වුණාට අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙනවා, “සතුට කියන දේ සල්ලි වලට ගන්න බෑ” කියලා සෑහෙන්න දෙනෙක් වැළලෙන්න හදනවා. හැබැයි ඉතින් ගොඩක් දෙනෙක් මේක අර කීමට කියන කතන්දරයක් මිසක්, එහෙමට හිතලා බලලා කියන දෙයක් නෙවෙයි. සමහර වෙලාවට අපිට සතුටු වෙන්න පුළුවන් දේවල් ඇත්තටම සල්ලි දීලා ගන්න හැකි වෙන්නත් පුළුවන්. නැහැයි කියලද හිතන්නේ? එහෙමනම් බලන්න, සල්ලි දීලා ලබාගන්න පුළුවන් මේ දේවල් වලින් අපිට සතුටු වෙන්න බැරිද කියලා!

 

1. ආරක්ෂිත පරිසරයක හොඳ නිවසක් 

ආරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ලැබෙන එක සහ ඒ පරිසරයේ සුවපහසුවෙන් ඉන්න පුළුවන් නිවසක් තියෙන එක කොයි තරම් සැනසිල්ලක්ද? ආන්න ඒ සැනසිල්ල තමයි සතුට. හැබැයි ඉතින් ඒ සැනසිල්ල සතුට ලබන්න සල්ලි ඕන. හැබැයි එකක්. අපිට සුවපහසු, ආරක්ෂිත නිවසක් ලැබුණට පස්සේ ලැබෙන සතුට එහෙම ක්‍රමක්‍රමයෙන් ක්ෂය වෙලා යන එකක් නෙවෙයි. ඊට වඩා ඒක සදාකල් පවතින සතුටක්. ෂුවර් නැද්ද? හිතන්න කොහේ හරි ඉඳලා ගෙදර ඇවිත් තමන්ගේ හුරුපුරුදු ඇඳට වැටෙන එකේ තියෙන සතුට. ඇත්තටම ඒක වෙන්න ඇති ගොඩක් මිනිස්සුන්ගේ ජීවිතේ ලොකු ටාගට් එකක් විදියට තමන්ටම කියලා ඉන්න නිවසක් හදාගන්න එක තියෙන්නේ.

 

2. අපි කැමති ගැජට් බැජට්

ඔන්න හිතන්න අපිට කවුරුහරි රුපියල් කෝටියක් විතර දෙනවා කියලා. අපිට ඉන්න ගෙයක්, අපේ අවශ්‍යතා ඉටුකරගන්න පුළුවන් ආර්ථිකයකුත් තියෙනවා කියලා හිතමු. දැන් එතකොට අපි ඔය රුපියල් කෝටිය අරගෙන මොකද කරන්නෙ? ඒකෙන් ලක්ෂ කීපයක් අරගෙන ෂොපින් යනවා කියමු. එහෙම ගිහින් ගන්නවා කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ ෆෝන් එකක්. හැබැයි ඉතින් ඒක හරි සතුටක් වෙන්න නම්, දැන් තියෙන ෆෝන් එකේ කාලේ ඉවර වෙලා, කෑලි හැලි හැලී පාවිච්චි කරන්න ඕන. ආන්න එතකොට ඒක අයින් කරල අලුත්ම වර්ගේ ෆෝන් එකක් ගන්න එක නාස්තියක් කියලා අපිට දැනෙන්නෙ නෑ. ආන්න සතුට. ඊට පස්සේ තව අපි ආස ගැජට් බැජට් කීපයක් සමහර වෙලාවට ගන්න පුළුවන්. ඇත්තටම ඒකත් සතුටක් තමයි.  

 

3. කෘස් එකක සංචාරයක් යමුද? නැතිනම් කඳුකරයේ කෑම්පින් ට්‍රිප් එකක්?

මේක සතුටක් වෙන්නේ සංචාරයට ආස මනුස්සයෙක්ට තමයි. ඇත්තටම ගොඩක් දෙනෙක් ආසයිනේ රට රටවල සංචාරය කරලා, අලුත් රටවල් දැකබලාගෙන, ෂොපින් පාරක් එහෙම දාලා විනෝද වෙන්න. ඒක සතුටක්. ඉතින් එහෙම කෙනෙක්ට තමන්ගේ ආදරවන්තයා හරි ආදරවන්තිය හරි එක්ක කෘස් ෂිප් එකක නැගලා රටවල් කීපයක් අතරේ විනෝද සංචාරයක් ගිහිල්ලා, ඒ අතරේ නවත්තපු රටක හොඳ ෂොපින් පාරක් එහෙමත් දාලා එන එක කොයි තරම් සතුටක්ද? එතකොට ඒ සතුට අපිට ලැබෙන්නේ සල්ලි වියදම් කරලා තමයි.

 

හැබයි එහෙම ලක්ෂ ගණන් වියදම් වෙන්නෙ නැති සංචාරයක් ගැන හිතමු. අපි ඔන්න කීප දෙනෙක් සෙට් වෙලා කඳුකරයේ කෑම්පින් ට්‍රිප් එකක් යනවා. හීනයක් වගේ සුන්දර කඳුකර පළාතක නිස්කලංක තැනිතලාවක ටෙන්ට් එකක් ගහගෙන කෑම්පින් කරන එකේ ආතල් එක දන්නේ ඉතින් ඒවාට ආස අයම තමයි. ඉතින් එහෙම කෑම්පින් වලට ආස කෙනෙක්ට ඒක සතුටක් නෙවෙයිද? කෙනෙක් කියන්න පුළුවන් අර උඩින් කියපු කෘස් ෂිප් එකේ සංචාරෙට වියදම් වෙන ගාණෙන් සීයෙන් එකක් කෑම්පින්ග් ට්‍රිප් එකකට ඕන නම් වියදම් වෙයි කියලා. හැබැයි ඒත් මුදල් නේද? ඉතින් මේ සතුට ලබාගන්නත් මුදල් ඕන තමයි.

 

4. රසවත් ආහාර පාන

සමහරු කියනවා බඩගින්නේ හිටපු කෙනෙක්ට පිදුරු වගේ හැපෙන පාන් කෑල්ලක් දුන්නත් ඒක රසමසවුලක් කියලා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම රසවත් ආහාර පාන ලබාගන්නා එකේ සතුටක් නැද්ද? හැබැයි ඉතින් ඒක පුරුද්දක් වුණොත් නම් ඒ සතුට නැතිවෙනවා තමයි. අපි උදාහරණයක් ගමු. අපි සාමාන්‍යයෙන් ඉන්නේ ඩයට් ප්ලෑන් එකක නම්, ඒ කියන්නේ දකින දකින රස ආහාර ඔක්කොම කන්නෙ නැතුව පෝෂ්‍යදායී ආහාර විතරක් ගන්නවා නම්, ඉඳලා හිටලා රස කෑමක් කන්න ගියහම ඒක හරිම සතුටක් වෙන්නෙ නැද්ද? හැබැයි ඉතින් ඒකටත් සල්ලි ඕන තමයි.

 

5. අපේ සුවපහසුව

අපි කියමු අපි හැමදාමත් බස් එකේ කෝච්චියේ හිටගෙන, එල්ලිලා වවුල්ලු වගේ වැඩට යන්නේ කියලා. සතුට කෙසේ වෙතත් මේක මහා කරුමයක් කියන අදහස හිතට එන්නෙ නැද්ද? දැන් අපි හිතමු අපිට සුවපහසු ඉඩ තියෙන ආසනයක සුවපහසුවෙන් ඉඳගෙන, ඒසී එකේ ඔෆිස් ගිහින් එන්න තියෙනවා කියලා. ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකක වෙන්න පුළුවන්. එතකොට ඒක සතුටක් නෙවෙයිද? ඇත්ත, මේ වගේ දේක සතුට සදාකාලිකව තියෙන්නෙ නෑ. උදාහරණයක් විදියට ගත්තොත් අපිට ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකේ මාස ගාණක් ගිහින් පුරුදු වෙනකොට අර බස් වල එල්ලිලා ගියපු හැටි අමතක වෙනවා. එතකොට ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකේ සුවපහසුව සාමාන්‍යකරණය වෙනවා. එතකොට අර සතුටත් සාමාන්‍ය වෙනවා. හැබැයි අපිට ඒ වෙනසින් සතුටක් ලැබුණා කියන එක පිළිගන්නත් වෙනවා. ආන්න මුදල් වියදම් කරලා සතුට ලබාගන්න පුළුවන් තැන.

 

මේක එක උදාහරණයක් විතරයි. අපිට සුවපහසුවෙන් ඉන්න ඉඩකඩ මුදල් වියදම් කරලා ලබාගන්න පුළුවන් නම් ඒක සතුටක් තමයි. 

 

6. සුභසාධන කටයුතු

මේකත් ඇත්තටම මුදල් හදල් නිසා අපිට සතුට ලැබෙන ආකාරයක්. අපිට තවත් කෙනෙක්ගේ අවශ්‍යතාවයක් සපුරලා දෙන්න අපිට මුදල් වියදම් කරන්න පුළුවන් නම්, ඒක සතුටක් නෙවෙයිද? ඇත්තටම මේ කියන්නේ “පිනට දෙනවා” වගේ කතන්දරයක් නෙවෙයි. පින් පැත්තකින් තියමුකෝ. රස්සාවක් නැති කීප දෙනෙක්ට අපි ස්ථිර ජීවනෝපාය මාර්ගයක් හදලා දුන්නොත්, ඒක අපිට සතුටක් නෙවෙයිද? හිසට වහළක් නැති කෙනෙක්ට ගෙයක් හදලා දුන්නොත් ඒක සතුටක් නෙවෙයිද? රෝහලක රෝගීන් වෙනුවෙන් තියෙන මොනවාහරි අඩුපාඩු ටිකක් පිරිමහලා දුන්නොත් ඒක සතුටක් නෙවෙයිද? ආන්න ඒවා සතුට ලැබෙන අවස්ථාවන් තමයි. ඒක අපි ලෝකයට, සමාජයට පරාර්ථකාමීව යමක් කරලා ලැබෙන සතුටක්.

 

7. අවශ්‍යතා පිරිමැහෙන ආර්ථිකයක්: මූල්‍ය නිර්වාණය

මේ ගැන අපි මීට පෙරත් කතා කරලා තියෙනවා. මෙතනදී කියන්නේ තමන්ගේ වියදම් සහ අවශ්‍යතාවයන් සපුරා ගන්න ලැබෙන ස්ථිර ආදායමක් ලැබෙන එක. ආදායම ගැන මාසෙන් මාසෙට හෝ දිනපතා වදවෙන්න සිද්ධ නොවෙන එක. කොටින්ම කියනවා නම්, සල්ලි ගැන වද නොවී තමන්ගේ රස්සාවක් කරගෙන, ආස දෙයක් කරගෙන නිස්කලංකව ජීවත් වෙන්න ලැබෙන විදියට සල්ලි තියෙන එක. ඉතින් ඒක සතුට නෙවෙයිද? (හැබැයි ඉතින් කොච්චර ලැබුණත් තව ඕන කියන මානසිකත්වයේ ඉන්න කෙනෙක්ට නම් මේ සතුට කොයි තරම් සල්ලි තිබ්බත් ලබාගන්න බැරි වෙයි)

 

දැන් සමහර කෙනෙක් ඇවිත් කියයි, ඇත්තටම සතුට කියන එක තියෙන්නේ මෙහෙම සල්ලි දීලා ගන්න දේවල් වල නෙවෙයි, සතුට ඊට වඩා බොහොම ගැඹුරු, ආධ්‍යාත්මික සංකල්පයක් කියලා. වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ අපි ආස දෙයක් අපි සල්ලි දීලා අරගෙන රසවිඳලා ලබාගන්න සතුට සතුටක් නෙවෙයි කියලා. මේ ගැන තව දාර්ශනික අදහස් එහෙම තියේ නං පහළින් කමෙන්ට් කරගෙන යන්ඩලා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *