මිනීමස් බුදින ගෝත්‍රික වතගොත

මිනිසුන් ශිෂ්ටාචාරගත වෙන්නට කලින් ගල් යුගය, එඬේර යුගය ආදී යුග ගණනාවක් පසු කළා. ඒත් ඒ යුග වලින් මග හැරුණු ගෝත්‍රික කණ්ඩායම් තවමත් ලොව දිවයින් වල සහ මහ වනාන්තර ඇතුළේ ජීවත් වෙනවා. මේ ගෝත්‍රිකයින් අතර එදා කාලයේ විදිහට, සත්ව ලෝකයේ විදිහට මිනීමස් බුදින ගෝත්‍රිකයින්ද සිටිනවා. දියුණු ඇමරිකාවේ, චීනයේ සහ යුරෝපයේත් ඉඳහිට කලාතුරකින් මෑත කාලේත් එවැනි සිද්ධි වාර්තා වෙනවා. ඉතින් මිනීමස් බුදින ගෝත්‍රිකයින් ගැන අපි කරුණු ටිකක් බලමු.

 

1. ඇමරිකාවේ මිනී මස් කෑම

ඇමෙරිකාවේද කලකට පෙර මිනීමස් කැම් වාර්තා වෙලා තියෙනවා. මිනීමස් කෑම කියන්නේ සත්ව වර්ග 1500කට වඩා ගණනක් අතර තියෙන ආහාර පුරුද්දක්. පුරාණ ඇමරිකානුවන්, ඒ කියන්නේ ස්වදේශිකයින් ඔවුන්ගේ ඇදහීම් වලදී සහ සාගත අවස්ථාවලදී මිනිස්සුන්ගේ මස් කාල තියෙනවා. ඒ වගේම විරුද්ධ ගෝත්‍රිකයින්ගේ දේහයන් ආහාරයට ගැනීමකුත් පුරාණ ගෝත්‍ර අතර පැවතිලා තියෙනවා. කැනිබල් අයිලන්ඩ් එහෙම නැතිනම් මිනීමස් කන්නන්ගේ දිවයින කියලා දිවයිනක් ඇමරිකාවේ තියෙනවා. මෑත කාලේ නම් ඒ දිවයින් වල මිනීමස් කෑම සුලභ නැහැ.

 

2. පැපුවා දිවයිනේ ගෝත්‍රිකයින්

අද වනවිට ලෝකයේ ශිෂ්ටාචාරගත සෑම තැනකම පාහේ මිනීමස් කෑම ඉතාම අශිෂ්ට ක්‍රියාවක් වෙනවා. ඒත් බටහිර පැපුවා දිවයින් වල ගෝත්‍රිකයින් අතර ඉතාම මෑතක් වනතුරුත් මේ මිනීමස් බුදින චාරිත්‍රය තිබුණා. එහිදී ගෝත්‍රයේ නායකයින් පිරිසක් විසින් යක්ෂයා ආරූඩ වුණා යැයි කෙනෙක් හෝ කිහිප දෙනෙක් හඳුනාගන්නවා. ඉන් පසු ඔවුන්ගේ යක්ෂයා ඉවත් කිරීමට ඔවුන්ව මරා ආහාරයට ගන්නවා. මෙය අසන දකින, කියවන අයට අපුල සිදුවීමක් වුවත් මෙය ඒ ගෝත්‍රයේ අයට එතරම් අමුතු දෙයක් නෙමෙයි. මේ ගෝත්‍රය නමින් කොරොවායි යනුවෙන් හඳුන්වනවා.

 

3. කොරොවායි (Korowai) ගෝත්‍රය ගැන

මේ කොරොවායි කියන ගෝත්‍රිකයින් විසින් මරන්නට මිනිසුන් තෝරාගැනීමේ සංස්කෘතිය අමුතු එකක්. ඔවුන්ට අනුව පිටතින් පැමිණෙන සුදු ජාතිකයින් යක්ෂයින් ආරූඪ වූ තැනැත්තන් වෙනවා. ඔවුන් මරා ආහාරයට ගැනීමට සුදුසුයි. ඒ වගේම පිටින් පැමිණෙන අයත් යක්දෙස්සන් ලෙස හඳුන්වා ඔවුන් ආහාරයට ගන්නවා. මේ කොරවායි ගෝත්‍රිකයින් වල් ඌරන් කර තබාගෙන තැනින් තැන ගෙනියනවා. ඒ වගේම මොවුන් මිනිසුන් සේම ඌරන්ගේද සියළුම කොටස් ආහාරයට ගන්නවා. කොටින්ම ඇස් දෙකවත් ඉතුරු කරන්නේ නැහැ. මේ කොරවායි ගෝත්‍රිකයින් දැන් නම් යකඩ භාවිතයටත් හුරු වෙලා තියෙනවා. ඒත් 1970 තරම් මෑත කාලයේ පවා ඔවුන් ගල් ආයුධ පාවිච්චි කරමින් ගස් උඩ ගෙවල් තනමින් ඉතා ප්‍රාථමික මිනිසුන් විදිහට තමයි ජීවත් වුණේ.

 

4. කොරොවායි ගෝත්‍රික හැසිරීම්

කොරොවායි ගෝත්‍රිකයින් ජීවත් වෙන පැපුවා දිවයිනේ ඒ කොටස දැන් අයිති ඉන්දුනීසියාවට. ඒත් නිදහසට පෙර එය ලන්දේසි කොලනියක් වුණා. මේ ලන්දේසි කාලේදි ඒ ජනාවාස වල මිනිසුන්ගේ අතුරුදන් වීමුත් එක්ක මේ කොරොවායි ගෝත්‍රිකයින් සැක පිට ඝාතනය වුණා. ඉන් පසු කොරොවායිවරුන් තවත් කැලය ඇතුළට ගියා. මේ පැපුවා පළාත දැඩි වැසි වනාන්තරයකින් යුක්තයි. මේ වන කලාපයේ ඔවුන්ට සැඟවෙන්නට එදා තැන් ගොඩක් තිබුණා. ගෝත්‍රික මිනිසුන් ශිෂ්ට කිරීමේ අමුතු රුදාවක් ලන්දේසිකාරයින්ට තිබුණේ නැහැ. ඔවුන් ඒ ගෝත්‍රිකයින්ට ඔවුන්ගේ පාඩුවේ ඉන්නට ඉඩ දුන්නා. ලෝකේ වෙනත් ගෝත්‍රිකයින් වගේ මැලේරියාව, කොලරාව වගේ රෝග වලට දැඩිව ලක් නොවී එම ගෝත්‍රිකයන් ඉතුරු වෙන්නත් මේ ලන්දේසි පාලකයින්ගේ වෙන් කොට තැබීමේ ක්‍රියාවලිය හේතු වුණා.

 

5. ඉන්දියාවේ අගෝරි සාධුවරුන්

මේ සාධුවරුන් සාමාන්‍ය හින්දු සාධුවරුන්ට පෙනුමෙන් සමානයි. ඔවුන් කාලි අම්මා සහ විවිධ යක්ෂයින්ද දෙවිවරුන්වද විශ්වාස කරනවා. ඔවුන්ට පුද පූජා පවත්වනවා. ඔවුන්ගේ මේ මතවාද අනුව සත්ව මාංශ අනුභව කිරීම, මිනීමස් බුදීම ඔවුන්ට දෙවියන් හා එක්වන්නට පහසු කරවනවා. මෙය අපේ බුද්ධ දේශනාවල සඳහන් වන පරිදි එකල පැවති බිලිපූජා වලට සමාන වෙනවා. මෙවැනි විශ්වාස තිබෙන සාධුවරුන් ඔවුන්ගෙන් වඩිපුර කරන ප්‍රශ්න කිරීම් වලට අකමැතියි. එවැනි කෝපයට පත් අයෙක් CNN මාධ්‍යවේදියෙකුට පහර දෙන්නට යන දසුනක්ද පසුගිය කාලේ යූ ටියුබ් ඔස්සේ ප්‍රචලිත වුණා.

 

6. කොංගෝවේ මයි මායි ගෝත්‍රිකයින්

කොංගෝවේ සමාජය කියන්නේ හමුදා කාණ්ඩ ගණනාවක් ඉන්න නවීන ගෝත්‍රික සමාජයක්. එහිදි පැරණි කොංගෝ ගෝත්‍ර සේම මෑත කාලීන කණ්ඩායමුත් සතුරන්ගේ මිනීමස් කෑමෙන් තමුන්ගේ ශක්තිය, බලය වැඩිවෙන බව විශ්වාස කළා. මේ මයි මයි සන්නද්ධ කණ්ඩායම් වෙනත් ගෝත්‍ර යටත් කරගැනීමේදි පරණ විදිහට ඔවුන්ගේ ගම්බිම්, හරකබාන ගිනි තියලා කෲරත්වය පතුරුවනවා. ඒ වගේම ඔවුන්ගේ පුරාණ ගෝත්‍ර සම්ප්‍රදායන් අනුව ඒ හිංසාවට ලක් වෙන මිනිසුන්ගේ මසුත් කනවා. මේ සන්නද්ධ කණ්ඩායම් විරුද්ධ ගෝත්‍රික නායකයින් විතරක් නෙමෙයි, හමුදා පොලිස් ආදී කොංගෝ ජනරජයේ ආරක්ෂක අංශවලටත් ප්‍රහාර එල්ල කරමින් භීෂණය පතුරුවනවා. 2003 වර්ෂයේදී ගෝත්‍රික නායකයින් 40ක් පමණ මරා දමා මයි මයි ගෝත්‍රිකයින් විසින් ආහාරයට ගෙන තිබුණේ ඔවුන්ගේ බලය සහ ශක්තිය වැඩිකරගන්න අදහසින්.

 

7. බ්‍රසීලයේ වාරි (Wari) ජනතාවගේ මළවුන් ආහාරයට ගැනීමේ සංස්කෘතිය

බ්‍රසීලයේ වාරි ජනතාවගේ අවමංගල චාරිත්‍ර වලට අයිති දෙයක්. බ්‍රසීලයේ ගංගා මෝය කට ආසන්නයේ වාසය කල වාරි ගෝත්‍රිකයින් යුරෝපීයන් පැමිණ එම භූමියේ රබර් වගාකරන්නට වූ කල ඔවුන් තව තවත් වනය තුළට ගියා. මැරුණු පසු මැස්සක දමා බාබකිව් කරන ආකාරයෙන් පුළුස්සා තමයි මේ අය මිනීමස් ආහාරයට ගන්නේ. සංස්කෘතික ගතිලක්ෂණ අනුව වාරි ජනයාට ඔවුන්ගේම මස් ආහාරයට ගැනීම තුළින් මළ ගිය අයගේ ජීව ලක්ෂණ අනෙක් මිනිසුන්ට එන බවක් ඔවුන් විශ්වාස කළා. ගංගා පිටාර ගලන සීමාවේ වෙසෙන මෙම ගෝත්‍රිකයින්ට කලකදී මළමිනී ආදාහනය කිරීමත්, වල දැමීමත් දෙකම අපහසුයි. එම නිසාම එම සංස්කෘතිය මගින් සිය මළගිය ප්‍රාණකාරයින් ආහාරයට ගැනීම සාමාන්‍යකරණය වී ඇති බව විද්‍යාඥයින් පවසනවා.

 

අද වනවිට දූපත් වල තනිවූ, ඝන කැලෑවෙන් ඈත් වූ ගෝත්‍ර සහ අප්‍රිකාවේ නොදියුණු කණ්ඩායම් අතර තමයි මේ මිනීමස් කෑමේ අපුල සහගත පුරුද්ද තියෙන්නේ. බොහෝ සමාජවල මිනීමස් ආහාරයට ගැනීම ඔවුන්ගේ සංස්කෘතික සහ සමාජ වටපිටාව අනුව සිදුවන දෙයක් මිස ආහාර නැතිකම නිසා ඇතිකරන පුරුද්දක් නෙමෙයි. ඉතින් අප්‍රියජනක වුණත් මේ කරුණු කාරණා හරහා ඔබේ දැනුමට යමක් එකතු වුණා කියල අපි හිතනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *