පුරාණ ඔලිම්පික් උළෙලේ විත්ති

ගිය වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් අයුරින් ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වුණා. වර්තමාන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉතිහාසය ශතවර්ෂයක පමණ කාලයකට සීමා වුණත් ඔලිම්පික් ඉතිහාසය අවුරුදු දෙදහස් අට සියයක් දක්වා දිව යනවා. ඉතිහාසඥයන් අතර පවතින පිළිගැනීම වන්නේ ක්‍රිස්තු  පූර්ව 776 දී පමණ ඔලිම්පියා නගරයේ දී පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වුණු බවයි. හැබැයි අද පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයට තමයි මේ පැරණි ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙලා තියෙන්නේ. ඒ ගැන තමයි අද අපි ඔබට කියන්න යන්නේ.

 

1. පිරිමින්ට පමණක් වෙන් වුණු ඔලිම්පික් ක්‍රීඩා 

පැරණි ඔලිම්පික් ක්‍රීඩා උළෙල හුදු ක්‍රීඩා උත්සවයක් පමණක්ම වුණේ නැහැ. එය ග්‍රීක ඇදහීම්වල එක් අංගයක් බවටත් පත්ව තිබුණා. මේ නිසා ඔලිම්පික් ක්‍රීඩා උළෙල විවෘතව පැවතියේ පිරිමින් සඳහා පමණයි. කෙලින්ම කිව්වොත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල කාන්තාවන් සඳහා තහනම් කලාපයක් බවට පත් වුණා. කාන්තාවන් වෙනුවෙන් හේරානු ක්‍රීඩා (Heraean Games) නැමැති වෙනම ක්‍රීඩා උළෙලක් පැවැත්වුණු බවට සාධක තිබුණත් ඒ පිළිබඳව මූලාශ්‍ර පවතින්නේ අවම වශයෙන්.

 

2. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා ජයග්‍රහණය 

පැරණි ඔලිම්පික් ක්‍රීඩාවකදි කාන්තාවක් ජයග්‍රහණය කළ බවට ද වාර්තාවක් පවතිනවා. දැන් ඔබ හිතනවා ඇති අපි පළමුවෙන් කියපු කතාව එක්ක දැන් කියන කතාව පරස්පරයි කියලා. ඒ දේ සිද්ධ වෙලා තියෙන්නෙ මෙහෙමයි. පැරණි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අශ්ව රථ ධාවන තරඟ සඳහා ජයග්‍රාහකයා ලෙස නම් කරනු ලබන්නේ එම අශ්වයන් පුහුණු කරන ලද සහ අයිතිය හිමි තැනැත්තාටයි. ස්පාර්ටාවේ කුමරියක් වන සීනිස්කා (Cynisca) විසින් මෙහෙයවන ලද අශ්වයන් එම තරග ඉසව්වෙන් ජයග්‍රහණය කිරීම නිසා පැරණි ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉසව්වකින් ජයග්‍රහණය ලැබූ පළමු කාන්තාව බවට ඇය පත්වුණා.

 

3. සනීපාරක්ෂක පහසුකම් නොමැති ඔලිම්පික්

අද වෙනකොට  ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් පැවැත්වීමේදී එහි සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු ලබනවා. නමුත් පුරාණ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී නම් ඊට කෙසේවත් අවධානයක් යොමු වුණේ නැහැ. සෑම වසර 4කටම වරක් පනස්දහසකට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් ඔලිම්පියාව වෙත රැස්වුණු අතර ඔවුන්ට වැසිකිළි පහසුකම් සඳහා භාවිතා කිරීමට සිදු වුණේ අසල ඇති ගඟක්. ඊට අමතරව ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර පූජකවරුන් විසින් පුෂ්ටිමත් හරකුන් සිය දෙනකු පමණ සියුස් දෙවියන්ගේ අල්තාරය මත පුළුස්සා පූජාවක් සිදු කරනු ලැබුවා. මේ සියළු දේ නිසා සමස්ත ඔලිම්පියාවම දුර්ගන්ධයෙන් පිරී ගියා 

 

4. ප්‍රචණ්ඩ ක්‍රීඩා විලාසය 

වර්තමානයේ පැවැත්වෙන බොක්සින් සහ මල්ලවපොර වැනි ක්‍රීඩාවලට සමාන ක්‍රීඩා පුරාණ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් වුණා. කෙසේ නමුත් අද ක්‍රීඩා තරඟයක දකින්නට ලැබෙනවාට වඩා අමානුෂික ප්‍රචණ්ඩත්වයක් එම ක්‍රීඩාවල පැවතුණා. උදාහරණයක් ලෙස එක්තරා සටන් තරඟ ඉසව්වක පැවතියේ නීති දෙකක් පමණයි. එම නීති දෙක වූයේ අනෙක් තරඟකරුව හැපීම හෝ ඔහුගේ ඇස් ඉගිල්ලීම කළ නොහැකි වීමයි. නමුත් ක්‍රීඩාවේදි ඕනෑම අයුරකින් ප්‍රතිවාදියාට පහර දීමට පුළුවන් වුණා. මෙවැනි තරඟ කෙබඳු  ආකාරයකින් අවසන් වීද යන්න ගැන අමුතුවෙන් ඔබට කිව යුතු නැතැයි අපි සිතනවා.

 

5. නීති කඩ කරන්නන්ට ලබා දෙන දඬුවම්

 

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අදාළ  නීති කඩකරනු ලබන තරඟකරුවන්ට දඬුවම් ලබා දීම දෙවියන්ට පමණක් භාර කිරීමට ග්‍රීකයන් සූදානම්ව සිටියේ නැහැ. ඔවුන් විසින් එවැනි නීති කඩ කළ තරඟකරුවන්ට ප්‍රසිද්ධියේ කස පහරවල් ලබාදෙනු ලැබුවා. එසේම ඔවුන් වෙත දඩ පැනවුණා. එසේම යම්කිසි තරඟකාරයෙකු බියගුලු ස්වභාවය නිසා යම් තරඟයකට සහභාගීවීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔහුටද එවැනි දඩ පැනවීමට ග්‍රීකයන් ක්‍රියා කරනු ලැබුවා.

 

6. ජයග්‍රාහකයන්ට ලබා දෙන ත්‍යාග

වර්තමාන ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙදී රන්, රිදී සහ ලෝකඩ වශයෙන් පදක්කම් වර්ග තුනක් ලබාදුන්නත් පුරාණ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඇගැයීමක් ලැබුණේ ජයග්‍රාහකයන්ට පමණයි. ඔලිම්පියාවේ පූජනීය ඔලිව් ශාක වල පත්‍ර වලින් සාදන ලද හිස් සැරසුමක් සෑම ජයග්‍රාහකයෙකු වෙත ලබා දෙනු ලැබුවා. එසේම ඔවුන්ට ඔලිම්පියාවේ පූජා භූමිය අවට තමන්ගේම ප්‍රතිමාවක් ස්ථාපනය කිරීමේ අවස්ථාවද හිමිවුණා. නමුත් මෙවැන්නක් සිදු කිරීමට හැකි වුණේ ධනවත් ක්‍රීඩකයන්ට පමණයි.

 

7. පුරාණ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසානය 

ග්‍රීක ආධිපත්‍යය බිඳ වැටී ග්‍රීසියේ සම්පූර්ණ බලය රෝමයට හිමි වීමෙන් පසුව වුවත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම නතර වුණේ නැහැ. කෙසේ නමුත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වටිනාකම් රෝමයේ බලපෑම නිසා යම් තර්ජනයකට ලක් වුණා. රෝම තරඟකරුවන්ට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවට බලපෑම් එල්ල වූ බව ද සඳහන් වෙනවා. ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වූ භූමිභාගය ආක්‍රමණවලින්, භූමි කම්පා වලින් සහ ගංවතුර වලින් තර්ජනයට ලක් වුණු නමුත් එය යම් තාක් දුරකට ආරක්ෂා කර ගැනීමට ග්‍රීකයන් සමත්වුණා. ක්‍රිස්තු වර්ෂ 394 දී රෝම අධිරාජ්‍ය තියඩෝසියස් විසින් ක්‍රිස්තියානි නොවන සියළුම උත්සව  පැවැත්වීම තහනම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පැරණි ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවසන් සුසුම් හෙළුවා.

යළිත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පුනර්ජීවනය ලබන්නේ ඉන් වසර 1500 කට පමණ පසුව, එනම් 1896 දීයි. 

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න  අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *