පූසන්ට ආදරේ කරන කෙනෙක් දැන ගත යුතු​ම පූස් වර්ග 7ක්

අද අපි වෙනස් මාතෘකාවක් කතා කරන්න යන්නෙ. අපි ගෙවල් වල සුරතලේට ඇති කරන පූසන්ගෙ විවිධ ප්‍ර​භේද ගැනයි අද කතා කරන්නෙ. මෙතන ඉන්න කිහිපයක් නම් ලංකාවෙත් නෑ. බලන්නකො කියවලා ඔයාලා ආසම සුරතල්ලු ගැන. 

 

1. පර්සියන් කැට්ස් (Persian Cats)

දැක්කම තුරුල් කරගන්න හිතෙන තරම් හුරතල් මේ පර්සියන් කැට් විශේෂය දිග රෝම වලින් සමන්විතයි. සාමාන්‍ය පූසෙක්ගේ උස අඟල් 10-14 වගේ වෙනවා. මේ වර්ගය රවුම් හිසක් හා වටකුරු ඇස් වලින් තමයි දැකගන්න පුළුවන්. මෙයාලා හරිම සාමකාමී පාඩුවේ ඉන්න පූස් කොට්ඨා​සයක්. එහෙමයි කියලා තරහ නොයනවාම නෙමෙයි. ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩ නෑ කියලයි කියන්නෙ. සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට ඉතා ලැදි, දරුවන් කරන ඕනම දෙයක් ඉවසගෙන ඉන්න සත්තු ජාතියක්. ලෝකෙ පුරාම ඉතාම ප්‍රචලිත පූස් වර්ගයක් කිව්වොත් වැරදි නැහැ. පර්සි​යන් පූස් වර්ග දෙකක් ඉන්නව. ට්‍රැඩිශනල් සහ ෂෝ පර්සියන් කියල. හුරතල් මූණක් තියෙන පර්සියන් පූස් වර්ගය තමා ඩෝල් ෆේස් කියල හඳුන්වන ට්‍රැඩිශනල් වර්ගය. ටිකක් රවාගත්ත පෙනුමක් තියෙන, නහය මුක්කන්, චූටි කන් දෙකක් සහ කෙටි ඇඟක් තියෙන වර්ගය තමා ෂෝ පර්සියන් වර්ගය. ඔන්න ඔයාල පර්සියන් කැට් කෙනෙක් ගන්න යනකොට මේ දේවල් වැදගත් වෙයි. 

 

2. බෙන්ගෝල් කැට්ස් (Bengal Cats)

පෙනුමෙන් දිවි පැටියෙක් හා සමාන මේ බෙංගාල වර්ගය ගෘහාශ්‍රිතව ඇතිකරන බළළුන් විශේෂයක්. උසින් අඟල් 12-16 අතර වගේ වෙන මෙයාලගෙ පෝෂණයට ඔමේගා 3 අඩංගු ආහාර දෙනවනම් තමයි ගොඩක් හොඳ.  මෙයාලා ගොඩක් ආදරණීයයි. ඒ වගේම හරිම සෙල්ලක්කාර, ජවසම්පන්න, වගේම ක්‍රියාශීලී පූස් වර්ගයක්. කම්මැලිකමේ ඔහේ ඉන්න පූස් වර්ගෙකට කැමති කෙනෙක්ට නම් මේ ගොල්ලො ගැලපෙන්නෙ නැහැ. කෙටි ලොම් තියෙන නිසා නඩත්තුව පහසුයි. සතියකට වතාවක් වගේ බ්‍රශ් කරන එක ප්‍රමාණවත්. ගෙදරම ඉන්න කෙනෙක්ට තමා මේ පූස් වර්ගය වඩාත් සුදුසු. මොකද මෙයාල ටිකක් වැඩියෙන් අවධානය ඉල්ලන, නිතරම සෙල්ලමෙන් ඉන්න කැමති වර්ගයක් නිසා. වර්ණ කීපෙකින් ඉන්න මේ බ්‍රීඩ් එක මිලෙන් ටිකක් වැඩියි. දුර්ලභ විශේෂයක් නිසයි මෙයාලා ගණන්. 

 

3. මේයින් කූන් කැට්ස් (Maine Coon)

ප්‍රමාණයෙන් තරමක් විශාල ගෘහාශ්‍රිත සතුන් ජාතියක් තමයි මේ. උතුරු ඇමරිකාවේ මේන් ප්‍රාන්තය නිජබිම වන මොවුන් දඩයමට ගොඩක් දක්ෂයි. සාමාන්‍යයෙන් පිරිමි සතෙක් කිලෝ 6-8 ප්‍රමාණයෙනුත් ගැහැණු සතෙක් කිලෝ 3-5 ප්‍රමාණයෙනුත් ඉන්නවා. උසින් නම් අඟල් 10-15 අතර හා දිගින් අඟල් 19-25 අතර වෙන මේ විශේෂය තරමක් විශාලයි. මෙයලා කළු, සුදු, දුඹුරු, අළු, ක්‍රීම් පැහැ වලින් වගේම මිශ්‍ර පාටවලිනුත් ඉන්නවා. බූල් පිරිච්ච ලස්සන වල්ගයක් තියෙනව. බෙල්ල වටෙත් දිගු ලෝම තියෙනවා. සාමාන්‍යයෙන් මිනිසුන්ට මිත්‍රශීලි මේ පූසන් හරි කීකරුයි කියලයි කියන්නෙ. මේ පූස් විශේෂය මිනිස්සු එක්ක වගේම බල්ලන් එක්ක වුණත් ඉක්මණින් මිතුරු වෙනවා.

 

4. බ්‍රිටිශ් ශෝර්ට්හෙයා (British Shorthair)

එංගලන්තයට ආවේණික වූ මේ බළල් විශේෂය සම කෙටි ලොම් සහිත කබායක් වගේ. අළු පාටේ ප්‍රභේ​ද තමා මෙයාලගෙ වැඩිපුරම තියෙන පාට. බ්‍රිටිශ් බ්ලූ වර්ණය තමා වැඩිපුරම ජනප්‍රිය. තැඹිලි පාට ඇස් වලින් යුක්තයි. හරිම මිත්‍රශීලී මෙයාලා ටිකක් වැඩිපුර පැත්තක් අල්ලන් ඉන්න කැමති පූස් වර්ගයක්. හැබැයි කෙනෙක් එක්ක යාළු වුණොත් සෑහෙන හුරතල් වෙන්නත් දන්නවා. ඒ වගේම මෙයාලගෙ සාමාන්‍ය උස අඟල් 12-14ක් වගේ වෙන්නෙ. ටිකක් කම්මැලි ස්වභාවයක් ගන්න මෙයාලගෙ කෝට් එක සතියට දෙපාරක් තුන්පාරක් බ්‍රශ් කරන්න ඕන. බ්‍රිටිශ් ලෝන්ග් හෙයා කියන්නෙත් මෙයාලගෙම චුට්ටක් ලෝම දිග පූස් වර්ගෙට. ලෝම වල දිග ඇරුණම මේ දෙගොල්ලොන්ගෙ වෙන වෙනසක් නැහැ.

 

5. සවැනා කැට්ස් (Savannah Cat)

ලෝකයේ මිල අධිකම බළළුන් විශේෂය කිව්වොත් නිවැරදී. මේ විශේෂය කාණ්ඩ 5කට වෙන් කෙරෙනවා F1 ඉඳලා F5 වෙනකම්. මෙයාලගෙ F1 පරම්පරාවෙ අය ඩොලර් 12000-20000ත් අතර මුදලකට තමා අලෙවි වෙන්නෙ. මෙයාලා මෙච්චරම ගණනකට අලෙවි වෙන්නෙ මෙයාලව බෝකරගන්න ගොඩක් අමාරු නිසාලු. මෙයාලගෙ තවත් විශේෂ ලක්ෂණයක් තමයි වතුරත් එක්ක සෙල්ලම් කරන්න ගොඩක් කැමති වී​ම. ඒ වගේම සෙල්ලක්කාර සත්තු කොට්ඨා​සයක්. ඒ වගේම මෙයාලව හොඳින් පුහුණු කරන්නත් පුළුවන්. ඇත්තම කිව්වොත් බල්ලෙක්ගෙ ගති ලක්ෂණ ටිකක් දකින්න පුළුවන්. උසින් අඟල් 17ක් වගේ වෙන මෙයාල ලෝකේ උසම බළල් විශේෂය කියලත් හඳුන්වනවා. දිගු බෙල්ලක්, විශාල කන් සහ කෙටි ලෝම සහිත දිග වල්ගයක් මෙයාලට තියෙනව. පූස් විශේෂ කීපයක් ක්‍රොස් කරල තමා මේ වර්ගය බ්‍රීඩ් කරල තියෙන්නෙ. ළමයින් එක්ක වගේම බල්ලන් එක්කත් හරිම මිත්‍රශීලි නිතර කෙළිදෙලෙන් ඉන්න කැමති පූස් වර්ගයක්.

 

6. නෝවීජියන් ෆොරස්ට් කැට්ස් (Norwegian Forest Cat)

උතුරු යුරෝපයේ ව්‍යාප්ත වුණු ගෘහස්ථ බළල් විශේෂයක් තමයි මේ. මෙයාලා ශීත දේශගුණයට තමයි ගොඩක්ම හුරුවෙලා ඉන්නෙ. හොඳින් වැඩුණු දිගු ලෝම සහිත පිරිපුන් පූස් විශේෂයක්. ලෝම නම් එක කාලෙකට ටිකක් වැඩිපුර හැලෙන්න ගන්නව. ඒක සාමාන්‍ය දෙයක්. සතියකට දෙවතාවක්වත් බ්‍රශ් කරන්න ඕන. ශරීරයේ දිග අඟල් 14-18 වගේ වෙනවා. ඒ වගේම බුද්ධිමත් පූස් විශේෂයක්. මිනිස්සු එක්කම ගැවසෙන්න ආස මෙයාලා පරිණත වෙන්නෙ හිමින්. හුඟක්ම හුරතල්. උඩවල් වල නගින්න සෑහෙන්න කැමතියි. ස්වභාවයෙන්ම සන්සුන් ඒ වගේම මිත්‍රශීලි මේ අයව බල්ලන්ටත් ඇතැම් අය සමාන කරනවා. කුඩා දරුවන් හා අනෙක් සතුන් එක්කත් හොඳට හැසිරෙන මෙයාලට හෘද ආශ්‍රිත ගැටළු හා උකුල් ආබාධ එන්න පුළුවන්. 

 

7. ස්ෆින්ක්ස් කැට්ස් (Sphynx Cat)

කැනඩාව නිජබිම කරගත් එතරම් ලස්සන නැති මේ බළල් විශේෂයට විශාළ කන් දෙකක් තියනවා. ඒ වගේම මෙයාලට ලොම් රහිත සිහින් සිරුරක් ලැබිලා තියෙන්නෙ ස්වභාවිකවම සිදුවෙන ජාන විකෘතියක් නිසා කියලයි කියන්නෙ. විශාල කන් සහ රැළි වැටුණ මූණක් තියෙන මේ පූස් විශේෂය මිත්‍රශීලියි. ඒ වගේම කුතුහලයෙන් පිරිච්ච පූස් වර්ගයක්. ලෝම නැති නිසා සීතලෙන් වැළකෙන්න අව්ව තපින්න වගේම තමන්ගෙ ස්වාමියගෙ උකුලට වෙලා ඉන්නත් මේගොල්ලො හරිම කැමතියි. මෙයාලා උපරිම අවුරුදු 13-14ක් වගේ ජීවත් වෙනවා. මෙයාලව මේන්ටේන් කරන එකනම් ලේසි නෑ. සතියකට එක් වතාවක්වත් නාවන්න ඕනේ. මෙයාලා සුදු, කළු, රතු දුඹුරු, ලැවැන්ඩර් පාටින් ඉන්නවා. මෙයාලා කඩිසර වගේම අනික් සත්තු එක්ක සහයෝගයෙන් ඉන්න කට්ටියක්. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *