ඉස්සරහට එන්න පුළුවන් දරුණු උද්ධමනයකින් කලින්ම ආරක්ෂා වෙන්න උපදෙස් කීපයක්!

 

මේක අපිට නුහුරු වචනයක් නෙවෙයි. උද්ධමනය ගැන ඔය ආර්ථිකය සම්බන්ධ විශ්ලේෂකයෝ එහෙම විතරක් නෙවෙයි, දේශපාලඥයෝ එහෙම වුණත් සෑහෙන්න උද්ධමනය ගැන කතාබතා කරනවා. (දේශපාලකයෝ උද්ධමනය ගැන අපි තරම් වත් ගණන් ගන්නවද කියන එක නම් වෙනම කතාවක්).

 

හරි, ඇත්තටම උද්ධමනය කියන්නේ මොකද්ද? සමහරු කියන කතාවක් තමයි “ඉස්සර අල්ලකට සල්ලි අරගෙන ගිහින් මල්ලක් පිරෙන්න බඩු අරගෙන එනවා, ඒත් දැන් කාලේ මල්ලක් පිරෙන්න සල්ලි අරගෙන ගියත් ඒකෙන් ගන්න පුළුවන් අල්ලක් පිරෙන්න බඩු ටිකක් විතරයි” කියලා. මේක ඇත්තටම බොරුවක් නෙවෙයි කියන එක ඉතින් ඕනම මනුස්සයෙක්ට තේරෙනවනේ. ඒ කියන්නේ ඉස්සර අපි පාන් ගෙඩියක් රුපියල් දහයකට ගත්තු කාලෙකුත් තිබුණා. හැබැයි දැන් වෙනකොට පාන් ගෙඩියක් රුපියල් පණහ පන්නලා. මේන්න මේ භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ යෑම තමයි උද්ධමනයේ ලක්ෂණය. දැන් ඒක අපිට ඇත්තටම ප්‍රශ්නයක්නේ. හා නැද්ද? අපි උපයන ගාණ එකම වෙලා, හැබැයි බඩු මිල එහෙම ඉහළ යනවා කියන්නේ අපිට ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඇතිවෙනවා. එතකොට දැන් අපි දැනගෙන ඉන්න ඕන කාරණයක් තමයි ලංකාවේ තියෙන ඇත්තම තත්ත්වය. අපි මේ වෙනකොට සෑහෙන්න ආර්ථික අර්බුදයකට හිර වෙලා ඉන්නේ. ඒ තත්ත්වය ගොඩදාගන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම කතාවක්. හැබැයි ඉතින් උද්ධමනය වැඩි වෙනවා කියන එක නම් ෂුවර් පිට කියන්න පුළුවන් කතාවක්.

 

ආන්න ඒක නිසා, පොඩ්ඩක් උද්ධමනය ගැන සැලකිලිමත් වෙලා, උද්ධමනයට මුහුණ දෙන්න පුළුවන් විදියේ ආර්ථිකයක් ඇති කරගන්න එක අපි කාට කාටත් වැදගත්. අන්න ඒක කරන්නේ කොහොමද කියන එක ගැන සරල ටිප්ස් කීපයක් තමයි මේ. 

 

1. හැම දේම ගණන් තියාගමු

උද්ධමනයට මුහුණ දෙන්න කලින් උද්ධමනය කියලා ප්‍රශ්නයක් ඇත්තටම ලෝකේ තියෙනවාය කියන එක ගැන සවිඥාණික වෙන්න එපැයි. ආන්න ඒ නිසා අපි මුලින්ම පටන් ගමු අපේ ආදායම් වියදම් ගණන් තියන්න. මේක ඇත්තටම හැම මනුස්සයෙක්ම කරනවා නම් තමන්ගේ පෞද්ගලික ආර්ථිකය විධිමත් කරගන්න පුළුවන්. මුලින්ම මාසෙකට තමන්ට ගෙදරට ඕන කරන බඩුමුට්ටු ලැයිස්තුවක් හදන්න ඕන. හාල් පොල් සීනි වල ඉඳලා සබන් කැටේ දක්වා අවශ්‍ය කරන හැම දෙයක්ම මේ ලැයිස්තුවේ තියෙන්න ඕන. දැන් ඔය ලැයිස්තුවට අනුව මාසෙකට ගෙදර බඩු ගේන්න පුළුවන්. හැබැයි ඒ බඩු ගන්න යන වියදමත් මාසිකව සටහන් කරන්න ඕන පැහැදිළිව. ආන්න එතකොට අපිට බඩු මිල අඩු වැඩි විමේ ට්‍රෙන්ඩ්ස්, අපිට මාසෙකට යන වියදමේ උච්ඡාවචනයන් පැහැදිළිවම බලාගන්න පුළුවන්.

 

2. ස්ටොක් මාකට්

ගොඩක් අයට ස්ටොක් මාකට් එක නැතිනම් කොටස් වෙළෙඳපොළ ගැන තියෙන්නේ බොහොම අනියත අදහසක්. එක්කෝ තමන්ගේ සල්ලි ඔක්කොම නැතිභංගස්ථාන වෙයි කියලා බයයි. එහෙම නැතිනම් තවත් සමහරු හිතාගෙන ඉන්නේ ස්ටොක් මාකට් කියන්නේ තමන් දාන සල්ලි දවසෙන් දෙගුණ වෙන තැනක් කියලා. ඔය කාරණා දෙකම වැරදියි.

 

ස්ටොක් මාකට් එකට ආයෝජනය කරන්න ඇත්තටම පොඩි ගාණකින් වුණත් පුළුවන්. ඒ වගේම දැන් කාලේ ඉන්ටර්නෙට් එකෙන් ඕන තරම් ස්ටොක් මාකට් එක ගැන ඉගෙන ගන්න පුළුවන්. මුලින්ම කරන්න ඕන ඒ විදියට පොඩ්ඩක් හොයලා බලලා කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීම ගැන ඉගෙන ගන්න එක. ඊට පස්සේ ඉතින් හොඳ බ්‍රෝකර් කෙනෙක් හොයාගෙන ගිණුමක් පටන් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ස්ටොක් මාකට් එකේ අපේ ලෙවල් එකෙන් ආයෝජනය කරනවා කියන්නේ ලඟ ලඟ සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක්ම නෙවෙයි. ඒක ඊට වඩා දීර්ඝ කාලීන ආයෝජනයක්. ඒ විතරක් නෙවෙයි. ස්ටොක් මාකට් එකේ කරන ආයෝජනයක් උද්ධමනයටත් යම් ප්‍රමාණයකින් සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ක්‍රමයක්.

 

3. වටිනාකම අඩු වෙන්නෙ නැති දේවල් වලට ආයෝජනය

ඇත්තටම උද්ධමනයට මුහුණ දෙන්න අපි සල්ලි ඉතුරු කරලා බැංකුවේ දාලා වැඩක් නෑ. මොකද උද්ධමනයකදී වෙන්නේ අපේ සල්ලි වල ඇත්ත වටිනාකම අඩු වෙන එක. ආන්න එතකොට ඉතුරු කරන සල්ලි වලට මොකද කරන්නේ? හාඩ් ඇසට් වලට ආයෝජනය කරන එක තමයි කරන්න ඕන. ඒ කියන්නේ, උද්ධමනයත් එක්ක වටිනාකම බාල වෙන්නේ නැති, ගොඩක් වෙලාවට වටිනාකම දිනෙන් දින ඉහළ යන දේවල් මිලදී අරගෙන සුරක්ෂිතව තියාගන්න එක ගැන තමයි ඒ කියන්නේ. එහෙම ආයෝජනය කිරීමක් ගත්තහම ගොඩක් දෙනෙක්ගේ ජනප්‍රිය තේරීමක් වෙන්නේ රත්තරන්. ඇත්තටම උද්ධමනයක් ආවත්, ඒ එක්ක රත්තරන් වල මිල ගණන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ. ආන්න ඒකයි රත්තරන් අරගෙන දාන එකේ වටිනාකම.

 

4. දේපළ වලට ආයෝජනය

ගෙවල් දොරවල් හදන්න යන වියදම දවසින් දවස වැඩි වෙනවා කියලා නෝටිස් කරලා තියෙනවද? ඒ වගේම ඉඩකඩම් වලට යන වියදමත් දවසින් දවස වැඩි වෙනවා කියන එකත් ඒ එක්කම නෝටිස් වෙන්න ඕන. ඇත්තටම රියල් එස්ටේට් – ඒ කියන්නේ දේපළ- කියන්නේ දවසින් දවස වටිනාකමින් වැඩි වෙන දෙයක්. ආන්න ඒ නිසා, තමන්ට ටිකක් ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන් නම්, එහෙම නැතිනම් ඔය ලෝන් එකකට වගේ යන්න පුළුවන් නම් දේපළ වලට ආයෝජනය කරන එක සෑහෙන්න වාසියක්. ඒක තමන්ටම ගෙයක් වෙන්න පුළුවන්. අරන් දාලා තියෙන ඉඩමක් වෙන්නත් පුළුවන්. ඒ වගේම කුලියට දෙන්න බලාගෙන හදන ගෙයක් වෙන්නත් පුළුවන්. ඇත්තටම ඉඩකඩම් වෙනුවෙන් නම් දේපළ ණයක් අරගෙන ආයෝජනය කළත් පාඩුවක් නෑ කියලා තමයි එක්ස්පර්ට්ලා කියන්නේ.

 

5. තමන් වෙනුවෙන් ආයෝජනය

තමන් වෙනුවෙන් මොනවද ආයෝජනය කරන්න තියෙන්නේ? ඇත්තටම ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැනක් තමයි මේක. තමන් වෙනුවෙන් තමයි කෙනෙක් ලොකුම ආයෝජනය කරන්න ඕන. ඒක උද්ධමනයට මුහුණ දෙන්නත් සාර්ථක ක්‍රමයක්. පැහැදිළි නැද්ද?

 

දැන් මෙහෙම හිතන්න. අපි මේ වෙනකොට යම් තාක් දුරකට යම් තාක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. එතකොට අපිට මුදලක් ලැබෙන්නේ ආන්න ඒ ඉගෙනීම සහ එක්ස්පීරියන්ස් එක්ක එන ප්‍රවීණත්වයට. හැබැයි අපි එතනින් එහාට දේවල් ඉගෙන ගන්නෙ නැතිනම් අපිට රැකියාවේ හෝ ව්‍යාපාරයක හෝ ඉහළ නගින්න පුළුවන් වේගය අඩුයි. මොකද, එතනදී අපිට එක්ස්පීරියන්ස් එකෙන් විතරයි ගේම ගහන්න පුළුවන් වෙන්නේ. හැබැයි හිතන්න අපි අපේ අධ්‍යාපනය ඉදිරියට අරගෙන යෑම සඳහා හෝ අලුතින් දෙයක් ඉගෙන ගැනීම සඳහා හෝ ආයෝජනය කරනවා කියලා. ආන්න එතකොට වඩා වැඩි වේගයකින් අපේ වෘත්තියේ ඉහළට යන්න හරි, අලුතින් ඉගෙන ගන්න දෙයින් වැඩි ආදායමක් උපයන්න හෝ සයිඩ් ආදායමක් උපයන්න හරි හැකියාව ලැබෙනවා. එහෙම වැඩි වැඩියෙන් උපයන්න ලැබෙනවා කියන්නේ වැඩියෙන් ආයෝජනය කරන්න හැකිවෙනවා කියන එකම තමයි. ඒ වගේම, ආර්ථිකය සෑහෙන්න අර්බුදකාරී අවස්ථාවකට පත් වුණත්, ඉගෙනීමක් සහ කුසලතා තියෙන මනුස්සයෙක්ට රස්සා නැතුව, ආදායම් මාර්ග නැතුව ලතවෙන්න සිද්ධ වෙන ඉඩත් අඩු වෙනවා. දැන් පැහැදිළියිද?

 

6. තමන්ගේ ආදායම් මාර්ග ගැන කල්පනාවෙන්

දැන් කොවිඩ්-19 ආපු ගමන් ආර්ථික අවපාතයකුත් යම් ප්‍රමාණයකට ඇති වුණානේ. එතකොට මුලින්ම ඒකෙන් බැටකෑවේ කවුද? එදා වේල ටුවර්ස් ගේම ගහපු මනුස්සයෝ නෙවෙයිද? ආන්න ඒක දරුණු උද්ධමනයකදීත් ෂුවර් එකටම වෙන්න පුළුවන් දෙයක්. ආන්න ඒ නිසා මුලින්ම තමන්ගේ ආදායම් මාර්ග සවිශක්තිමත් කරගන්න ඕන. ඒ කියන්නේ එදිනෙදා යැපෙන්න කීයක් හරි හොයාගන්න ලෙවල් එකක නම් තමන් ඉන්නේ, ඊට වඩා ස්ථාවර ආදායම් මාර්ගයකට යන්න පුළුවන් ක්‍රම සහ විධි හොයාගන්න ඕන. ඒක පළවෙනි කාරණාව.

 

දෙවෙනි කාරණාව වෙන්නේ හැමවිටම සයිඩ් ඉන්කම් එකකුත් තියාගන්න එක. ඒ කියන්නේ අපිට මේ තියෙන ඉන්කම් එකෙන් දැනට එදිනෙදා යැපෙන්න පුළුවන් වෙන්න පුලුවන්. ඒත් ඒකෙන් ඉතුරුවක් වෙන්නෙ නැතිනම්, අපි සයිඩ් එකෙන් තව ඉන්කම් එකක් තියාගන්න හිතලා බලන්න ඕන. ඒක අපේ ඉතුරුව වෙන්න පුලුවන්. ඒ වගේම, එක ඉන්කම් එකක් ඩැමේජ් වුණොත්, තව ඉන්කම් එකක් තියෙනවා එතකොට.

 

7. බය වෙන්නත් එපා, හැබැයි දැනුවත් වෙන්න

මේකත් උද්ධමනයට මුහුණ දෙන්න පුළුවන් ක්‍රමයක්ද? අනිවාර්යයෙන්ම ඔව්. අපි කවුරුවත් කියන කීම් අහගෙන බොරුවට බය වුණාට වැඩක් නෑ. විශේෂයෙන්ම ඔය ආණ්ඩුවේ විපක්ෂයේ ඉන්න සමහරුන්ගේ කාරිය තමයි බොරු බිල්ලෝ මවන එක. ආන්න ඒ නිසා ඒවලට ඇහුම්කන් දීලා හාට් ඇටෑක් හදාගන්න එක තේරුමක් නැති දෙයක්. හැබැයි ඒ වගේම තමයි, ආණ්ඩු පක්ෂයේ අය හැමදාමත් කියන්නේ “වී ආර් ඕකේ, ඩෝන්ට් වොරි” කියලනේ. ආන්න ඒවලට කන් දීලා සැහැල්ලුවෙන් ඉඳලත් බෑ. හොඳම දේ තමයි නිව්ස් බලන එක, රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන ලිපිලේඛන එහෙම පොඩ්ඩක් කියවන්න පුරුදු වෙන එක සහ සාමාන්‍ය දැනුමක් ගොඩනඟා ගන්න එක. ආන්න ඒ වලින් අපිට තත්වය පිළිබඳව හොඳින් දැනුවත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපිට උද්ධමනය වගේ දේවල් අඩු වැඩි වෙන විදිය පුරෝකථනය කරන්නත් පුළුවන් වෙනවා. ආන්න එතකොට ඒකට මුහුණ දෙන්න ලේසියි.

 

ඇත්තටම මේ ටික කියවනකොට අපිට තේරෙන්න ඕන දේවල් කීපයක් තියෙනවා. දැනුවත් වෙන්න ඕන, ඉතුරු කරන්න ඕන, හැබැයි ඉතුරු කරන ඒවා ඥාණවන්ත විදියට ආයෝජනය කරන්නත් ඕන. ඒ වගේම අනාගතේ ගැන දුරදිග බලන්න ඕන. ආන්න එතකොට උද්ධමනයට මුහුණ දෙන්න අමාරු නෑ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *