ගෘප් චැට් එකක තමන්ගේ පරිස්සම බලාගන්න නම් මේ උපදෙස් අනුගමනය කරන්න.

අපි කලිනුත් කීප පාරක්ම කියලා තියෙනවනේ ඔය වට්ස්ඇප්, වයිබර්, ෆේස්බුක් මැසෙන්ජර් වගේ මැසෙන්ජර් සේවාවන් ඇතුළේ ගෘප් චැට් හැදෙන එක සෑහෙන්න දුරට වැඩිවෙලා තියෙනවා කියලා. දැන් කාලේ කොවිඩ්-19 එක්ක ගොඩක් දෙනෙක් වර්කින් ෆ්‍රොම් හෝම්, ස්ටඩීන් ෆ්‍රොම් හෝම් වගේ තත්ත්වයන්ට හුරු වෙලා තියෙන එකත් ඒකට එක හේතුවක්. කොහොම වුණත් අපි කලින් කියලා තියෙනවා ඔය කියන ගෘප් චැට් ඇතුළේ ඉන්න වාත ඩයල් ගැන. ඒ වගේම වගකීම් සහගත විදියට ගෘප් චැට් ඇතුළේ වැඩ කරන්නේ කොහොමද කියන එකත් අපි කලින් කියලා තියෙනවා.

 

හැබැයි ඉතින් එහෙම අනික් අයට වගකීම් සහගතව ගෘප් චැට් වල හැසිරෙන්න කියලා උපදෙස් දුන්නටම මදි කියන එකත් අපි දන්නවා. අපි හැමෝම වගකීම් සහගතව ගෘප් චැට් වල කටයුතු කරන අතරේම, ගෘප් චැට් ඇතුළේ අපේ ආරක්ෂාව බලාගන්නත් දැනගන්න ඕන. ආන්න ඒ අපේ ආරක්ෂාවට අදාළ වෙන කරුණු කීපයක් තමයි මේ කියන්න යන්නේ.

 

 

1. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ

 

මේ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. පරණ කතාවක් තමයි නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්න වෙන තැනට ඉඩ තියන්න එපා කියන එක. ආන්න ඒකම මේ චැට් ගෘප්ස් වලටත් අදාළයි. විශේෂයෙන්ම චැට් ගෘප්ස් ඔස්සේ එන පර්සනල් චැට් වලට අදාළයි. මේ තත්ත්වයට ගොඩක්ම මුහුණ දෙන්නේ කාන්තා පාර්ශවය කියන එකත් බොරුවක් නෙවෙයි.

 

හරි, දැන් අපි හිතමු අපි ඉන්න මොකක් හරි චැට් ගෘප් එකක කෙනෙක් අපිට ඩිරෙක්ට් මෙසේජ් එකක් එවනවා. ඒ කෙනා අපි දන්න හඳුනන කෙනෙක් නම් කිසිම ගැටළුවක් නැහැ. හැබැයි නොදන්න කෙනෙක් නම්? එහෙම වෙලාවක අපිට කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. කෙලින්ම ඔය “හායි ඩියර්” පාරක් දාගෙන එනවා නම්, අපිට පුළුවන් “හායි” කියලා ප්‍රොෆෙෂනල් විදියට වුවමනාව මොකද්ද කියලා අහන්න. අන්න එතකොට ඕන නැති ටෝක් දාගෙන එනවා නම්, එතනින් එහාට සම්පූර්ණයෙන්ම ඉග්නෝර් කරලා දාන්න පුළුවන්. එහෙම නැතුව සමහරු ඉන්නවා ඔය ගුඩ් මෝනින් ෆොටෝ, ගුඩ් නයිට් ෆොටෝ, පොඩි එවුන්ගෙ ෆොටෝ, බුදු සරණයි ෆොටෝ එහෙම ඩිරෙක්ට් මෙසේජ් කරන්න. ආන්න එව්වා නං ඉතින් සම්පූර්ණයෙන්ම ඉග්නෝර් කරලා ඉන්න එක ඉතාම සාර්ථකයි.

 

 

2. ලින්ක්ස් ක්ලික් කරන්න යන්නෙපා

 

මේක ඉතින් ස්මාට්ෆෝන් එකක් කම්පියුටර් එකක් පාවිච්චි කරන හැම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කොමන් සෙන්ස් කතන්දරයක්. කවුරු හරි එවන ලින්ක්ස් ක්ලික් කරන්න එපා! දැන් අපිට නන්නාඳුනන මනුස්සයෙක් ඩිරෙක්ට් මෙසේජ් කරන ලින්ක් එකක් ගොඩක් දුරට ක්ලික් නොකළත්, ගෘප් එකක දාන ලින්ක් එකක් ක්ලික් කරන්න කෙනෙක් පෙළඹෙන සම්භාවිතාව වැඩියි. හේතුව ලින්ක් එක එවන්නේ නාඳුනන කෙනෙක් වෙන්න පුළුවන් වුණත්, ලින්ක් එක වැටෙන්නේ තමන් දන්න කියන ගෘප් එකක නිසා. හැබැයි අපි කියන්නේ එහෙමවත් එපා කියලා. දන්න මනුස්සයෙක් එවන ලින්ක් එකක් වුණත් ක්ලික් කරන්න එපා. ගොඩක් දුරට මේ ලින්ක්ස් එක්ක එන මෙසේජ් වල අඩංගු වෙන්නේ “ඇමරිකන් වීසා දිනාගන්න”, “ග්‍රීන් කාඩ් දිනන්න චාන්ස් එකක්”, “කේඑෆ්සී එකේ ඇනිවර්සරිය වෙනුවෙන් නොමිලේ කුකුල් අඬු දිනාගන්න” වගේ කතන්දර. එව්වා පච කියන එක දැක්ක ගමන් තේරුම් ගන්න කොමන් සෙන්ස් ඕනම කෙනෙක්ට තියෙන්න අවශ්‍යයි.

 

 

3. ඩිස්ප්ලේ පික්චර් එක

 

මේ කාරණාවත් ගොඩක් වෙලාවට කාන්තාවන්ට තමයි වැදගත් වෙන්නේ. දැන් ඔය වට්ස්ඇප් එහෙම ගත්තොත්, ඒකේ අපේ ඡායාරූපයක් හරි වෙන ඕනම ඡායාරූපයක් හරි ඩිස්ප්ලේ පික්චර් එක විදියට දාන්න පුළුවනිනේ. එතකොට සමහරු ඩිස්ප්ලේ පික්චර් එකෙන් මේ ඉන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද, කොහොම කෙනෙක්ද වගේ තොරතුරු හොයාගෙන එතනින් එහා පියවරකට අඩිය තියන්න බලනවා. හැබැයි අපිට පුළුවන් අපි කැමති අයට විතරක් මේ ඩිස්ප්ලේ පික්චර් එක පේන විදියට සැකසුම් හදාගන්න. උදාහරණයක් ගත්තොත්, වට්ස්ඇප් එකේ තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එක/ඩිස්ප්ලේ පික්චර් එක පේන්න ඕන කාටද කියලා අපිට තෝරගන්න පුළුවන්. එක්කෝ හැමෝටම, එක්කෝ අපේ කන්ටැක්ට්ස් ලිස්ට් එකේ ඉන්න අයට නැතිනම් කාටවත් නොපෙනෙන්න මේ සෙටින්ග්ස් හදන්න පුළුවන්. ඉතින් වැඩි දුර යන්න ඕන නෑ. කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න අයට විතරක් පේන්න මේ සෙටින්ග්ස් හැදුවහම, නොදන්න අය අතට ෆොටෝ එක යන්නෙ නෑ.

 

 

4. ටූ ස්ටෙප් වෙරිෆිකේෂන්

 

මේක ඇත්තටම ඔන්ලයින් ප්ලැට්ෆෝම් පාවිච්චි කරන බොහෝ දෙනෙක් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු දෙයක් කියන එක බය නැතුව කියන්න පුළුවන්. ඒ තමයි ටූ-ස්ටෙප්-වෙරිෆිකේෂන්. සාමාන්‍යයෙන් වට්ස්ඇප්, මෙසෙන්ජර් වගේ හැම සේවාවකම ඔය ආරක්ෂක පහසුකම තියෙනවා. ආන්න ඒක තමන් ගෘප්ස් වල හිටියා හෝ නැතා හෝ සක්‍රීය කරලා තියන්න. සමහරු ටූ-ස්ටෙප්-වෙරිෆිකේෂන් දාගන්නෙ නැහැ වාතයි කියලා. හැබැයි තමන්ගේ ෆෝන් එකේ තියෙන සංවේදී දත්ත වලට වෙන බාහිර මනුස්සයෙක් ප්‍රවේශ වෙන එක ඊට වඩා වාතයි කියන එක අමතක කරන්න එපා.

 

 

5. ඇඩ් කරන්න පුළුවන් කාටද?

 

දැන් කාලේ හතු පිපෙන්නා වගේ හැදෙන වට්ස්ඇප්, මැසෙන්ජර්, වයිබර් ටෙලිග්‍රෑම් ගෘප් වලට ගොඩක් වෙලාවට අපි දන්නෙවත් නැතුව තව කට්ටිය අපිව ඇඩ් කරනවා. ඒක ඉතින් අවුලක් නෑ ඔය ඉස්කෝලේ ගෘප් එකක් වගේ නම්. හැබැයි එතනින් එහාට අපේ අවසරයකින් තොරව අපිව ගෘප් වලට ඇඩ් කරන එක වාත කාරණාවක් විතරක් නෙවෙයි, ඒක කරදරකාරී සහ සමහර විට අනතුරුදායක කරුණක් වෙන්නත් පුළුවන්. ආන්න එහෙම අපේ අනුදැනුමකින් තොරව ගෘප් වලට අපිව ඇඩ් කරන එක නවත්තන්නත් සෙටින්ග්ස් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, වට්ස්ඇප් එකට ගියොත් බලාගන්න පුළුවන් අපිව ගෘප් එකකට ඇඩ් කරන්න පුළුවන් කාටද කියලා තීරණය කරන්න දීලා තියෙන ඔප්ෂන් එක. එතනදිත් එක්කෝ ඕනම කෙනෙක්ට අපිව ගෘප් එකකට ඇඩ් කරන්න, එක්කෝ අපේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න කෙනෙක්ට අපිව ගෘප් එකකට ඇඩ් කරන්න පුළුවන් විදියට සෙටින්ග්ස් හදාගන්න පුළුවන්. නැතිනම් කිසිම කෙනෙක්ට අපිව ගෘප් එකකට ඇඩ් කරන්න බෑ කියලා සෙටින්ග්ස් හදන්නත් පුළුවන්. ඒ සෙටින්ග්ස් දාගත්තත්, අපිට ගෘප් එකකට එකතු වෙන්න බැරි කමක් නෑ. කවුරු හරි අපිට ගෘප් ලින්ක් එක එවන්නයි තියෙන්නේ. එතකොට අපිට ඒ ගෘප් එක අවුලක් නැති නම් ඇඩ් වෙන්න පුළුවන්.

 

 

6. කතා කරන්නේ මොනවද?

 

මේකත් ඉතින් කොමන් සෙන්ස් ගණයට අයිති වෙන දෙයක්. අපි පාරේ හම්බුවෙන ඕනම කෙනෙක් එක්ක අපේ ගෙදර විස්තර කියන්නෙ නැහැනේ. ආන්න ඒ නීතිය ගෘප් චැට් එකකදී වුණත් පිළිපදින්න. විශේෂයෙන්ම ඔෆිස් එකේ හරි වෙන අපි සම්බන්ධ වෙන ප්‍රොජෙක්ට් එකක හරි එහෙම නැතිනම් වෙනත් ප්‍රොෆෙෂනල් කාරණාවකට නිර්මාණය කරපු හරි ගෘප් එකක අනිවාර්යයෙන්ම මාතෘකාවට අදාළ දේ පමණක් කතා කරන්න. එතනින් පිට නොපනින්න. ඒ ඇරෙන්න ඔය ආතල් ගෘප් වල තමන්ගේ ආතල් එක ගත්තත්, තමන්ගේ පවුලේ විස්තර, යන එන තැන්, තමන්ගේ පුද්ගලික විස්තර වගේ දේවල් කිසිසේත්ම ෂෙයාර් නොකරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මේක ඉතින් හැමවෙලාවේම සිහියෙන් ඉඳලා කරන්න ඕන දෙයක්.

 

 

7. මියුට්ද? ලීව්ද?

 

මේක සේෆ්ටි පියවරකටත් වඩා අපිට සහ වෙනත් අයට කරදරකාරී ගැටළු අවම කරගන්න පුළුවන් පියවරක්. දැන් සමහර වෙලාවට මොකක් හරි චැට් ගෘප් එකක හෝ ගාලා අනික් අය කතා කරන එක අපිට කරදරයක් වෙන්න පුළුවන්. ඇයි ඉතින් අනික් අය කතා කරන කරන වෙලාවට අපිට නෝටිෆිකේෂන් එනවනේ. එහෙම නැතිනම් ගෘප් එකේ කතාවෙන දේවල් වලට තමන්ට එකතු කරන්න දෙයක් නෑ කියලා හිතෙන්න හරි, කතා කරන දේවල් තමන්ට සෙට් වෙන්නෙ නෑ කියලා හරි හිතෙන්න පුළුවන් . ආන්න ඒ වෙලාවට කෙලින්ම ගෘප් එකෙන් ලීව් වෙන්නෙ නැතුව මියුට් කරලා තියන එක වඩාත් සුදුසුයි.

 

හැබැයි එහෙම මියුට් කරල තියනවට වඩා එහා ඇක්ෂන් එකක් අවශ්‍ය දෙයක් සිද්ධ වෙනවා නම් කරන්න තියෙන්නේ මෙච්චරයි. තමන් ඉන්න ගෘප් එකක දරුණුවට ආචාර ධර්ම විරෝධී දේවල් කතාවෙනවා නම් හරි, තමන්ට සෘජුව කරදරයක් එල්ල වෙනවා නම් හරි වහාම ගෘප් එකේ ඇඩ්මින්වරුන්ට පැමිණිලි කරන්න. එතනින් සහනයක් නැති නම් වහාම ගෘප් එකෙන් අයින් වෙන්න. එහෙමත් නැතිනම් පුද්ගලයින්ව හෝ පුද්ගලයින් එවන මෙසේජස් ගැන ඒ ඒ මැසෙන්ජර් සේවාවන්ට රිපෝට් කරන්නත් දැන් පහසුකම් තියෙනවා.

 

 

මේ ඇරෙන්න ඉතින් මැසෙන්ජර්, වට්ස්ඇප්, වයිබර්, ටෙලිග්‍රෑම් ගෘප් ඇතුළේ වලි නොදාගැනීම, ඉවසිලිවන්ත වීම වගේ බේසික් කාරණා අමුතුවෙන් උගන්නන්න ඕන නැහැනේ. ඇත්තටම ඒවා තමන්ගේ ආරක්ෂාවටත් හොඳයි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *