වර්තමානය වෙද්දී ගොඩාක් අය පොත් කියවීමේ විනෝදාංශයෙන් දුරස් වෙලා ඉන්නේ කිව්වොත් අපි වැරදි නැතිවෙයි. එහෙම වුණත් අදටත් මේ විනෝදාංශය ඇබ්බැහියක් තරමට පවත්වාගෙන යන, පොත් කියවීමට බර උදවිය ඕන තරම් ඉන්නවා. එහෙම අයට උදවුවක් වෙන්න අපි අපේ ලයිෆි පේජ් එකෙත් පොත් ගැන සහ කතුවරුන් ගැන ගොඩාක් කතා කරලා තියෙනවා. ඉතින් අදත් අපි හිතුවා පොත් කියවන අයට උදවුවක් හැටියට මුහුණු පොතේ පොත් හා සම්බන්ධ ගෲප් හතක් ගැන දැනුවත් කිරීමක් කරන්න.
1. පොත් කියවන අය Sri lankan Book Readers
ලංකාවේ පොත් කියවන පාඨකයන් වැඩියෙන්ම ඉන්න සමූහය විදියට අපිට මේ සමූහය හඳුන්වන්න පුළුවන්. ලක්ෂ දෙකකටත් වැඩි සාමාජිකයන් පිරිසක් මේ සමූහයේ ඉන්නවා. නිතරම වගේ අලුත් පොත් ගැන දැනුවත් කරන සමූහයක් වන මෙහි ලෝකය වටා විසිරී පැතිරී ඉන්න ලාංකීය පාඨකයින් රැසකුත් ඉන්නවා. නොකියවූ හොඳ පොත් ගැන දැනගන්න වගේම කියවූ පොත් ගැන මතකය ආයෙත් අවදි කරගන්නත් මේ සමූහය ගොඩක් වටිනවා.
2. පොත් කියවන අය Readers Hub
මේ සමූහයත් අපි කලින් කතා කරපු සමූහය තරම්ම ගුණාත්මක සමූහයක්. මෙහි නිරතුරුවම වගේ හොඳ ගුණාත්මක කෘතීන් ගැන කතිකාවක් අපිට දැකගන්න පුළුවන්. ඒ වගේම කියවූ පොත්වල ගුණ විතරක් නෙමෙයි, අගුණ ගැනත් මේ සමුහයේ කතා කරන නිසා පොතක් තෝරගන්නකොට ඔයාට පුළුවන් මේ සමූහයේ සර්ච් එකක් දාලා පොත ගැන තීරණය කරන්න. මේ සමූහයේත් ලක්ෂයකට අධික සාමාජික පිරිසක් ඉන්නවා.
3. පරිවර්තන පොත් කියවමු
මේ සමූහයත් ගොඩාක් ගුණාත්මක අදහස් පළවෙන ආදරණීය සමූහයක්. නිතරම වගේ වටිනා පොත පත ගැන කතාබහ මෙහි සිද්ධවෙනවා. පරිවර්තන පොත් කියවමු කියලා සමූහයේ නම තිබ්බට ස්වතන්ත්‍ර නිර්මාණ ගැනත් අපූරු කතිකාවක් ගොඩනගන්න සමූහයේ ඇඩ්මින්තුමියට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම හොඳ පොත් ගැන උදෑසන සුබ පැතුමකුත් එක්ක කතා කරන එකත් මේ සමූහයේ විශේෂත්වයක්.
4. පොත් රූ
මේක නම් අපි කතාකරපු සමුහයන් වලට වඩා සෑහෙන වෙනස් සමූහයක්. මොකද මේ සමූහයේ කතා කරන්නේ Book Photography ගැන. ඒ නිසාම මේක තරමක් වෙනස් සමූහයක්. ඒ වගේම ඔයාටත් ඔයාගේ නිර්මාණශීලීත්වයත් එක්ක මේ සමූහයට පින්තූර එකතු කරන්න පුළුවන්. පොතට විතරක් නෙමෙයි, Photography වලට ආස අයටත් මේ සමූහය කියාපු සමූහයක්.
5. පොත් හුවමාරුව හා විකුණුම් මිතුරෝ
මේකත් ගොඩාක් වැදගත් වෙනවා පොත් කියවන අයට. මොකද මේ සමූහයේ ගොඩාක් අය තමන් පාවිච්චි කරපු පොත් අඩු මිලට විකුණනවා. ඉතින් ඔයාට පුළුවන් පහසු මිලට ඒ පොත් මිලට ගන්න. ඒක පොත් කියවන අයට ගොඩාක් පහසුයි කියලා අපි හිතනවා මොකද දැන් පොත් වල මිලත් ටිකක් වැඩියිනේ. ඒ වගේම ඔයාට පුළුවන් මේ සමූහයේ සාමාජිකයන් එක්ක ඔයා ගාව තියෙන පොතකට පොතක් හුවමාරු කරගන්නත්. මේ ඔක්කොම අස්සේ සමහර වංචා වැඩ කරන අයත් ඉන්නවනේ. ඒ නිසා එයාලගෙනුත් පරිස්සම් වෙන ගමන්ම ඔයාට පුළුවන් මේ සමූහයෙන් උදව් ගන්න.
6. පොතට සිතැත්තෝ
මේකත් පොත් කියවන ලාංකික පාඨකයන්ට කියාපු ගෲප් එකක්. තමන් කියවපු පොත් ගැන අදහස් පළකරන ගමන් අනිත් සාමාජිකයන්ගේ පොත් සම්බන්ධ අදහස් දැනගන්න මේ සමූහයෙන් ඔබට පුළුවන්. හැබැයි ඒ විතරක් නෙමෙයි, මේ සමූහයේ වටිනා පොත් ගැන සිදුවන කතාබහට අමතරව එක එක විදියේ තරඟත් තියෙනවා. ඒවා වලින් ජයග්‍රහණය කරන අයට වටිනා තෑග්ගක් දෙන්නත් ඔවුන් අමතක කරන්නෙ නෑ.
7. OASIS රසවින්දන එකතුව
මේකත් ඇත්තටම වෙනස් සමූහයක්. හුදෙක්ම පොත් ගැන විතරක්ම නෙමෙයි, සිනමාව, කලාව, ඉතිහාසය ඇතුළු විවිධ වැදගත් තොරතුරු රැසක් ඔයාට දැනගන්න පුළුවන් මේ සමූහය හරහා. ඒ අතරේ වැදගත් පොත් ගැනත් නිතරම වගේ මේ සමූහයේ හරවත් සාකච්ඡා සිදුවෙනවා. ඉතින් ඒ නිසාම පොත් කියවන්න ආස කරන රසික රසිකාවියන් රැසක් මේ සමූහය වටා එක්වෙලා තියෙනවා. මේ සමූහයත් ඔයාට අනිවාර්යයෙන්ම වැදගත් වේවි.
මේ කාලේ ගෙදරටම හිර වෙලා ඉන්න එකේ බොරුවට කාලය නාස්ති කරගන්නේ නැතුව පොතක් කියවලා ඒ අදහස මේ සමුහයන් වල ඔයාට බෙදා ගන්න,පුළුවන්. ඉතින් අදත් වෙනදා වගේම ඔයාගේ අදහස් අපිට කියන්නත්, මේ තොරතුරු ඔයාගේ යාළුවෝ එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා…
ශශින් ප්‍රබෝද්
Leave a Reply