ස්පාර්ටන් කෙනෙක් වගේ ජීවත් වෙන්න, ස්පාර්ටන් ජීවන රටාවකට හුරුවෙන්න කැමති නැතිද?

ස්පර්ටන්ස්ලා ගැන Lifie.lk එකේ කියන දෙවෙනි වතාව තමයි මේ. මුලින් අපි කතා කළේ ස්පාර්ටන් ස්ටයිල් එකකට කොහොමද කාමරේ ඩිසයින් කරන්නේ කියන එක ගැන. හැබැයි අද කතාකරන්න යන්නේ අපි ස්පාර්ටන් කෙනෙක් විදියට ජීවත් වෙන්න, ස්පාර්ටන් ලයිෆ්ස්ටයිල් එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන.

ආයෙත් ස්පාර්ටන්වරු ගැන කියනවා නම්, පුරාණ ග්‍රීසියේ දකුණේ තිබුණු පෙලොපනීස් අර්ධද්වීපයේ තිබුණු ස්පාර්ටා නගරයේ හිටපු රණශූරයෝ තමයි ස්පාර්ටන්වරුන් කියන්නේ.  මේ රණශූරයන්ගේ පුහුණුව සහ ජීවන රටාවත් එක්ක තමයි ඔය පහුකාලීනවත් හොඳ විනයකින්, ධෛර්යයකින්, සරල භාවයකින් යුතු අයව හඳුන්වන්නත් ස්පාර්ටන් කියන වචනේ පාවිච්චි වෙන්න පටන් ගත්තේ.

කොහොමත් කලිනුත් කියපු විදියට ස්පාර්ටන් ජීවන රටාවක් කියන්නේ බොහොම සරලව, අනවශ්‍ය සුඛෝපභෝගී පුරුදු නැතුව ජීවත් වෙනට තමයි. සමහරු ඒක අපි දන්න අල්පේච්ඡතාව කියන සංකල්පය එක්කත් තේරුම් ගන්න පුළුවන්. කොහොමහරි අපි බලමු කොහොමද ස්පාර්ටන් ජීවන රටාවකට හුරුවෙන්නේ කියලා!

 

1. දකින දකින දේ එපා

අපි අද වෙනකොට හුරු වෙලා තියෙන්නෙම දකින දකින දේවල් මිලදී ගන්න ජීවන රටාවකට. හා නැද්ද? හැබැයි ස්පාර්ටන් ජීවිතේකට හුරුවෙනවා කියන්නේ අන්න ඒ අන්ධ පරිභෝජන ජීවන රටාවෙන් අත්මිදෙන එක තමයි. උදාහරණයක් විදියට කිවුවොත්, ස්මාට්ෆෝන් එකක් පාවිච්චි කරන එක ස්පාර්ටන් ජීවන රටාවකට එරෙහිව යන්නෙ නෑ. හැබැයි ස්මාට්ෆෝන් එකෙන් ඇත්තටම ප්‍රයෝජනය ගන්නෙ නැති නම් ඒක තේරුමක් නෑ. ඒ ඇරෙන්න, තමන් අතේ හොඳින් වැඩ කරන ස්මාර්ට්ෆෝන් එකක් තියෙන අතරෙම අළුතින් එන අළුත් ස්මාට්ෆෝන් එකකුත් ගන්න යන එක තමයි ස්පාර්ටන් ලයිෆ්ස්ටයිල් එකකට අපි එපා කියන්නේ. ඇත්තටම ස්පාර්ටන් ලයිෆ්ස්ටයිල් එකක් ගත කරන කෙනෙක් ගාව ගොඩක් වෙලාවට ස්මාට්ෆෝන් එකක් නැතිවෙන්න පුළුවන්. ඒ වෙනුවට තියෙන්නේ අර පොඩි ෆෝන් එකක් වෙන්න පුළුවන්. සමහරු ගාව එහෙමවත් නැතිවෙන්නත් පුළුවන්.

 

2. සරල ආහාර පාන රටාවක්

ස්පාර්ටන් ලයිෆ්ස්ටයිල් එකක් ගත කරන කෙනෙක් ඇත්තටම කෑම බීම අදාළ කරගන්නේ පැවැත්ම සඳහා විතරයි. ඒ කියන්නේ කිසිම රහක් ගුණක් නැතත් තියෙන දෙයක් ගිලදානවා කියන එක නෙවෙයි. හැබැයි අර ගොඩක් සුඛෝපභෝගී කෑම වලට ස්පාර්ටන් කෙනෙක් යොමුවෙන්නෙ නැහැ කියන එකයි ඒකෙන් කියවෙන්නේ. විශේෂයෙන්ම ස්පාර්ටන් කෙනෙක්ගේ කුස්සියේ හරි ෆ්‍රිජ් එකේ හරි ඔය කලාතුරකින් පාවිච්චි කරන සෝස් ජාති අරවා මේවා නැති තරම්. හැබැයි අනිවාර්යයෙන්ම පෝෂ්‍යදායී, ශක්තිජනක ආහාර වේල් තමයි ස්පාර්ටන් කෙනෙක්ගේ ලැයිස්තුවේ තියෙන්නේ. වෙන විදියකට කියනවා නම් හොඳ ඩයට් ප්ලෑන් එකක් වගේ තමයි.

 

3. සරල නිවහනක්

ස්පාර්ටන් කෙනෙක් කවදාවත් මහ විශාල මන්දිර වල ජීවත් වෙන්නෙ නැහැ කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. විශේෂයෙන්ම ස්පාර්ටන් කෙනෙක්ගේ ගෙයක් තමන්ගේ තරමට තමයි තියෙන්නේ. ඒ කියන්නේ කොයි තරම් සුවපහසු වුණත්, තමන්ගේ පැවැත්මට අත්‍යාවශ්‍ය නොවෙන විදියේ සුඛෝපභෝගීත්වයක් ස්පාර්ටන් කෙනෙක්ගේ නිවසක නැහැ. මෙහෙම ජීවත් වෙන එකේ තියෙන ලොකුම ප්‍රයෝජනයක් තමයි, තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල, තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා සුඛෝපභෝගී නිවසක් නඩත්තු කරන්න යන අමතර කාලය, ශ්‍රමය සහ වියදම ස්පාර්ටන් කෙනෙක්ට වෙනත් ප්‍රයෝජනවත් දේකට යොදාගන්න පුළුවන් වීම. 

 

4. හැකිතාක් අල්පේච්ඡ හිමිකම්

අපි අල්පේච්ඡ ජීවිතයක් කියන්නේ මොකද්ද කියලා දන්නවානේ? නැද්ද? මේ අල්පේච්ඡ ජීවිතේක තියෙන එක් සුදුසුකමක් තමයි හැකිතාක් අඩු දේවල් ප්‍රමාණයක් හිමිකරගෙන ඉන්න එක. සාමාන්‍යයෙන් ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම වගේ උත්සාහ කරන්නේ දේවල් හිමිකරගන්න. දේවල් මිලදීගෙන ගොඩගහාගන්න. හැබැයි ස්පාර්ටන් කෙනෙක්ගේ දර්ශනයේ එහෙම නැහැ. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කලිනුත් කියලා තියෙන විදියට ස්පාර්ටන් කෙනෙක්ගේ කාමරයක තියෙන්නේ අත්‍යාවශ්‍යම භාණ්ඩ කිහිපයක් විතරයි. තමන්ගේ කාමරය හෝ නිවස විතරක් නෙවෙයි, තමන්ගේ මනස හෝ තදබද වෙන විදියේ දේවල් ගොඩක් ස්පාර්ටන් කෙනෙක් සතුව නැහැ.

 

5. සරල ඇඳුම් පැළඳුම්

සමහරු ඉන්නවා තමන්ගේ ඇඳුම් පැළඳුම් වලට සෑහෙන්න වියදම් කරන. හැබැයි ස්පාර්ටන් කෙනෙක් ඇඳුම් පැළඳුම් කරන්නෙත් බොහොම සරල විදියට. ගොඩක් වෙලාවට සරල මොනොක්‍රෝම් ඇඳුම් පැළඳුම් තමයි ස්පාර්ටන් කෙනෙක්ට හරියන්නේ. අන්න එහෙම තමන්ගේ වෝඩ්රෝබ් එක හදාගන්න ස්පාර්ටන් කෙනෙක්ට කියාපු ක්‍රමයක් තමයි කැප්සියුල් වෝඩ්රෝබ් කියන්නේ. එතනදී තමන්ගේ වෝඩ්රෝබ් එක ඇඳුම් කීපයකින් කළමනාකරණය කරගන්නවා වගේම, හැකිතාක් සීමිත, අත්‍යාවශ්‍ය ඇඳුම් පැළඳුම් කීපයක් විතරක් පාවිච්චි කිරීමට තියාගැනීමත් එතනදී අවශ්‍යයි.

 

6. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්

ඇත්තටම ස්පාර්ටන් රණශූරයෝ කියන්නේ ශරීර සුවතාවය බොහොම ප්‍රධාන තැනක තියලා වැඩකටයුතු කරපු අය කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඇත්තටම තමන්ට ජීවිතේ එන කායික හෝ මානසික අභියෝගයන්ට මුහුණ දෙන්න, තමන්ගේ සීමාවන් උරගා බලන්න හොඳ කායික සහ මානසික සුවතාවයක් වගේම සමබරතාවයක් අවශ්‍යයි. ඒ සෞඛ්‍ය සම්පන්න බව සම්බන්ධයෙනුත් ස්පාර්ටන් ජීවිතයක් අවශ්‍ය කෙනෙක් උනන්දු වෙනවා. එතනදී හැබැයි සුඛෝපභෝගී විදියට කරන වර්ක්-අවුට් වලට වඩා, රළු ජීවිතයක් එක්ක තමන්ගේ ශාරීරික සහ මානසික සීමාවන්ට අභියෝග කරමින් තමන්ව සෞඛ්‍ය සම්පන්න කරගන්න ශරීර සුවතා ක්‍රම හොයන එකත්, ඒ ඔස්සේ ජීවිතේ හොඳ බැලන්ස් එකක් හොයාගැනීමත් තමයි ස්පාර්ටන් කෙනෙක් සිද්ධ කරන්නේ. 

 

7. ඔබේ සීමාවන් උරගා බලන්න

ඔබේ සීමාවන් උරගා බලන්න ඔබට ධෛර්යය තියෙනවාද? ඒකට ස්පාර්ටන් කෙනෙක් ඔව් කියලා උත්තර දෙයි. ස්පාර්ටන් කෙනෙක් කවදාවත් තමන්ගේ කම්ෆර්ට් සෝන් එකේ නැතිනම් සුවපහසු සීමාවේ ඉඳගෙන ඉන්නේ නැහැ. ඊට එහා තමන්ගේ සීමාවන් උරගා බලන්න, අළුත් අභියෝගයන් භාරගන්න ස්පාර්ටන් කෙනෙක් පැකිළෙන්නෙ නෑ. ඒ වගේම තව දෙයක්. ජීවිතේ කොයි තරම් අසීරු අමාරු කාලයක් ආවත්, ස්පාර්ටන් කෙනෙක් සැලෙන්නේ නැහැ. එයා තමන්ගේ සීමාවන්ගෙන් එහාට ගිහින් වුණත් ජීවත් වෙන්න ධෛර්යයෙන් කටයුතු කරනවා. අන්න ඒ ධෛර්යය සහ මානසිකත්වය ස්පාර්ටන් කෙනෙක් ඇතිකරගන්න ඕන.

 

8. වැදගත් වෙන්නේ අත්දැකීම්

ස්පාර්ටන් ලයිෆ්ස්ටයිල් එකක් ගත කරන්න හිතනවා නම්, අපේ ජීවිතේ තියෙන සතුටුදායක අත්දැකීම් වලට වැඩිපුර ෆෝකස් වෙන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම ජීවත් වෙනකොට වුණත්, සරල, සැහැල්ලු, සතුටු අත්දැකීම් ලබාගැනීම කෙරෙහි ෆෝකස් වෙන්න කියලා මේ කියන්නේ. මෙතනදී අපි ඔළුවෙ තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි, ගැජට් වලින්, බඩු භාණ්ඩ වලින් ජීවිතේ සතුට හොයාගන්නවට වඩා, සරල අත්දැකීම් වලින් ජීවිතේ සතුට හොයාගන්න කියලා තමයි ස්පාර්ටන් ලයිෆ්ස්ටයිල් එකකින් කියන්නේ.

 

දැන් මෙහෙම ස්පාර්ටන් ජීවන රටාවකට හුරුවෙන්නේ කොහොමද කියලා හිතල බලනකොට තේරෙන්න ඕන, මෙතනදී අපේ ලයිෆ්ස්ටයිල් තෝරාගැනීම් විතරක් නෙවෙයි ස්පාර්ටන් ලයිෆ්ස්ටයිල් එකකට අදාළ වෙන්නේ කියලා. ඒ ඇරෙන්න ආධ්‍යාත්මික යම් යම් කාරණාත් ස්පාර්ටන් ලයිෆ්ස්ටයිල් එකකට අදාළ වෙනවා. ඇත්තටම ස්පාර්ටන් ලයිෆ්ස්ටයිල් එකක් කියන්නේ හැමෝටම ගැලපෙන ජීවිතයක් නොවෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ හොඳ පොසිටිව් වෙනසක් කරන්න ස්පාර්ටන් ලයිෆ්ස්ටයිල් එක හොඳ තෝරාගැනීමක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *