උද්‍යානයක සිසිල් සුළං විඳිමින් නිදහසේ කාලය ගතකරන්න, ආදරණීයයන් එක්ක අත්වැල් පටලවාගෙන ඇවිදින්න කවුද අකමැති? තනිකඩයින්, ආදරය කරන අය, පවුල් පන්සල් වුණු අය වගේම වයස්ගත අය පවා විවිධ හේතූන් වලට යන්න ආස තැනක්නේ මේ උද්‍යාන කියල කියන්නෙ. ඒ නිසාම හැම රටකම වගේ විවිධ වර්ගයේ උද්‍යාන දකින්න පුළුවන්. සෙල්ලම් උද්‍යාන, උද්භිද උද්‍යාන, විනෝද උද්‍යාන වගේම ක්‍රීඩා සහ ත්‍රාසජනක කටයුතු වලට වෙන්කෙරුණු උද්‍යාන එහෙමත් මේ අතරේ තියෙනවා. ඔය ලෝකය පුරාම තියෙන සාමාන්‍ය උද්‍යාන අතරේ ඒ තරම්ම සාමාන්‍ය නොවෙන ටිකක් අමුතු උද්‍යානත් අපිට දකින්න පුළුවන්. මේ කියන්න යන්නෙ එහෙම උද්‍යාන කිහිපයක් ගැනයි. මේ අතරේ ස්වභාවික ගස්කොළන්වලින් පිරුණු උද්‍යාන වගේම මිනිසා විසින් නිර්මාණය කෙරුණු විවිධ දේ ඇතුළත් උද්‍යානත් දකින්න පුළුවන්. එක එක හේතු නිසා සාමාන්‍ය ගතියෙන් ඔබ්බට ගිහිල්ලා අමුතු බවක් පෙන්වන මේ විශේෂ උද්‍යාන ගැන කියවලම දැනගමු එහෙනම්.
1. Alnwick උද්‍යානය
ලෝකයේ අමුතුම අමුතු උද්‍යාන අතරිනුත් ඉහළින්ම ඉන්න භයානකම උද්‍යානය විදිහටත් හැඳින්වෙන මේ අමුතු උද්‍යානය පිහිටල තියෙන්නෙ එංගලන්තයේ. අතීත එංගලන්තයේ නොර්ටර්ම්බර්ලන්ඩ් ආදිපාදවරුන්ගේ කාලයේදී නිර්මාණය කළා යයි සැළකෙන ඉතා ඈත ඉතිහාස කතාවකට හිමිකම් කියන උද්‍යානයක් වුනත් 21 වෙනි සියවසේ මුල් කාලයේ නැවත අලුත්වැඩියා කරනකන් මේ උද්‍යානය වල්වැදුණු තත්ත්වයකට පත්වෙලා තමයි තිබිලා තියෙන්නේ. මේ උද්‍යානයේ විසිතුරු මල් වර්ග එක්කම වෙනම ගේට්ටුවකින් වෙන්කෙරුණු ප්‍රදේශයක ඉතාම විස සහිත ගස්කොළන් වර්ග රාශියක් දකින්න පුළුවන්. උද්‍යානයේ මේ කොටසට ඇතුළු වෙනකොටම නරඹන්නන්ට අනතුරු අඟවනවා නැවතිලා මල් වල සුවඳ ආඝ්‍රහණය කිරීමෙන් වළකින්න කියලා. ඉතාම විසකුරු මල් වර්ග 100කට අධික සංඛ්‍යාවක් මේ උද්‍යානය තුළ දකින්න පුළුවන්.
2. Forestiere භූගත උද්‍යානය
උද්‍යානයක් කිව්වම සැණින් අපේ මතකයට එන්නෙ තණකොළ වවපු, හරිත පැහැයෙන් පිරුණු, සීතල සුළං වදින පරිසරයක් වුණත් මේ කියන උද්‍යානයනම් ඒ සංකල්පයට හාත්පසින්ම වෙනස් තැනක්. මේ උද්‍යානය පිහිටලා තියෙන්නේ පොළව මතුපිට නෙමෙයි. පොළව මට්ටමින් යට. මේ අපූරු භූගත උද්‍යානය පිහිටල තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ. මේ උද්‍යානය පුරාම දකින්න තියෙන්නෙ ඉතාලියේ සිසිලි නගරයේ සිට පැමිණ කැලිෆෝර්නියාවේ ජීවත්වුණු බැල්ඩසරේ ෆොරෙස්ටියර් නම් සංක්‍රමණිකයෙකු විසින් කරන ලද නිර්මාණ. ඇත්තටම උද්‍යානයක් කිව්වට මෙහි සීත සහ උණුසුම් කාලවලට වෙන වෙනම ඉදිකෙරුණු නිදන කාමර, මුළුතැන්ගෙයක් ඇතුළු නිවසකුත් දකින්න පුළුවන්. 1906 සිට 1946දී ඔහුගේ මරණය සිදුවෙන තෙක් වසර 40ක් පුරා ඔහු මේ නිර්මාණකරණයේ යෙදිලා තියෙනවා. උද්‍යානය නම් කරලා තියෙන්නෙත් ඔහුගේම නමින්.
3. Garden of Cosmic Speculation
මේකත් පෙනුමෙන් ඉතාම අමුතු උද්‍යානයක්. අපිට නිතර දැකලා පුරුදු විශාල ගස්කොළන් මේ උද්‍යානයේ දකින්න නැහැ. ඒ වෙනුවට කුඩා තණකොළ බිමක් මත ගොඩනැඟූ විවිධ නිර්මාණයන් තමයි දකින්න තියෙන්නෙ. මේ නිර්මාණයන් සාමාන්‍ය සිමෙන්ති හෝ ගල් යොදාගෙන කරපු නිර්මාණයන් නම් නෙමෙයි. අමුතු හැඩයේ විශ්ව විද්‍යාව, ඒ කියන්නේ cosmology කියන විද්‍යාව අනුව සකස් කරපු නිර්මාණ තමයි උද්‍යානය පුරාම දකින්න තියෙන්නේ. මේ උද්‍යානය නිර්මාණය කරලා තියෙන්නේ භූ දර්ශන නිර්මාණ ශිල්පියෙකු සහ න්‍යායාචාර්යවරයෙකු වෙන චාල්ස් ජෙන්ක්ස් කියන පුද්ගලයා. ස්කොට්ලන්තයේ ඩම්ෆ්‍රයිෂයර් ප්‍රදේශයේ පිහිටි ඔහුගේම නිවස ආසන්නයේ තමයි මේ උද්‍යානය නිර්මාණය කරල තියෙන්නේ. මේක පෞද්ගලික උද්‍යානයක්. හැබැයි වසරකට එක දවසක් පැය 5ක කාලයක් පුරා පිටස්තර අයට බලන්න ටිකට් නිකුත් කරල විවෘත කිරීම සිදුකරනවා.
4. පාෂාණ උද්‍යානය
මේ අපූරු Rock Garden හෙවත් පාෂාණ උද්‍යානය පිහිටල තියෙන්නෙ අපේ අසල්වැසි ඉන්දියාවේ චන්දිගර් නගරයේ. උද්‍යානය පුරාම තියෙන්නේ නගරයේ ඉවත දමන විවිධ දේවල් වලින් කරපු නිර්මාණ. ඉතාම නිර්මාණශීලී විදිහට ඉවත දමන දේවල් භාවිතා කරල තියෙන හැටි දැක්කම ඕනම කෙනෙකුට විශ්මයක් ඇතිවෙනවා. නෙක් චාන්ද් කියන සාමාන්‍ය රාජ්‍ය සේවකයා තමයි 1957දී මේ උද්‍යානය ගොඩනැගීම ආරම්භ කරල තියෙන්නෙ. ගෙවල් වලින් සහ ගොඩනැගිලි වලින් ඉවත දමන විවිධ ද්‍රව්‍ය එකතු කරගෙන ඔහු විවිධ නිර්මාණ සකස් කරල තියෙනවා. හැබැයි ඔහු මේ නිර්මාණ කරන්න තෝරාගත්ත භූමිය ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා සංරක්ෂණය කරන ලද භූමියක්. ඒ නිසාම ඔහු මේ උද්‍යානය වසර 18ක් තිස්සේ රහසක් විදිහට තියාගන්නවා. අවසානයේ බලධාරීන් මේ ස්ථානය සොයාගන්නවිට එය අක්කර 12ක් පුරා පැතිරුණු මූර්ති සියගණනකින් පිරුණු භූමියක්. වාසනාවට රජය මේ නිර්මාණ විනාශ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් චාන්ද්ව වැටුපක් ගෙවලා මේ උද්‍යානයේ රාජකාරියේ යොදවනවා. අද වෙද්දී මේ අපූරු උද්‍යානය අක්කර 40ක් පුරා පැතිරිලා තියෙනවා.
5. Bookworm උද්‍යානය
මේකත් විශේෂ උද්‍යානයක්. හරිම ආස හිතෙන, විශේෂයෙන්ම පොතපත කියවන හැමදෙනාටම ආස හිතෙන උද්‍යානයක්. Bookwarm Garden එහෙමත් නැත්තම් පොත්ගුල්ලන්ගේ උද්‍යානය විදිහට හැඳින්වෙන මේ උද්‍යානය පිහිටල තියෙන්නෙ ඇමරිකාවේ. මේක සාමාන්‍ය උද්භිද උද්‍යානයක්. ඒ කියන්නෙ විවිධ මල් සහ විසිතුරු පැළ වර්ග, ගස් කොළන් පිරුණු තැනක්. හැබැයි ඒ අතරේ පුංචි දරුවන්ගේ ලස්සන, ප්‍රසිද්ධ කතන්දර පොත් 60කට අධික සංඛ්‍යාවක කියවෙන සිද්ධීන් ඇතුළත් ක්‍රියාකාරකම් සහ ප්‍රතිමාත් මෙතැන දකින්න පුළුවන්. උද්‍යානයේ එක එක කොටස් වලට ඇතුළත්වන තැන්වල ලැමිනේට් කරපු පොත් තැන්පත් කරලත් තියෙනවා. ඒ වගේම සතුටුම හිතෙන කාරණය තමයි මේ උද්‍යානයට ඇතුළුවීමට කිසිම මුදලක් අය කරන්නේ නැති එක.
6. Tarot උද්‍යානය
Tarot Garden කියන්නෙත් තවත් එක ප්‍රතිමා උද්‍යානයක්. මේ අපූරු උද්‍යානය පිහිටල තියෙන්නෙ ඉතාලියේ. ටැරෝ කාඩ්පත් කියවීම කියන්නෙ ගුප්ත ශාස්ත්‍රයක්. මේ උද්‍යානය පුරාම දකින්න තියෙන ප්‍රතිමා සියල්ලම නිර්මාණය කරල තියෙන්නෙ මේ කියන ටැරෝ ශාස්ත්‍රය පදනම් කරගෙන. ප්‍රංශ-ඇමරිකානු චිත්‍ර ශිල්පියෙකු වන නිකී ද සෙන්ට් ෆැලේ කියන පුද්ගලයා විසින් තමයි මේ උද්‍යානය නිර්මාණය කරන්නේ. මේ අපූරු උද්‍යානය මහජනයාට විවෘත කරන්නෙ 1998 වර්ෂයේදී. ගුප්ත ශාස්ත්‍රයක් පදනම් කරගෙන නිර්මාණය වුණත් ගුප්ත බවකට එහා ගිය හරිම ඇස පිනවන පෙනුමක් තමයි මේ උද්‍යානය පුරාම තියෙන ඉදිකිරීම් වලින් දකින්න පුළුවන්.
7. Arctic-Alpine උද්භිද උද්‍යානය
මේකනම් ඉතාම සාමාන්‍ය මල් පිපෙන ගස්වලින් පිරුණු ලස්සනම ලස්සන උද්‍යානයක්. මේ උද්‍යානය පිහිටලා තියෙන්නෙ නෝර්වේ රාජ්‍යයේ. උද්‍යානය පාලනය වෙන්නේ ට්‍රොම්සෝ විශ්වවිද්‍යාල කෞතුකාගාරය මඟින්. උද්‍යානය ආරම්භ කරල තියෙන්නෙ 1994 වර්ෂයේදී. හැබැයි මේ උද්‍යානය අසාමාන්‍ය වෙන්නෙ මෙන්න මේ නිසයි. මේ උද්‍යානය තමයි උත්තරධ්‍රැවයට වඩාත්ම ලඟින් පිහිටලා තියෙන උද්භිද උද්‍යානය විදිහට සැළකෙන්නේ. මේ උද්‍යානය පුරා අධික සීතල පරිසරයේ පවා උතුරු අර්ධගෝලයට ආවේණික ආක්ටික් සහ ඇල්පයින් ශාක ඉතා විශාල සංඛ්‍යාවක් දකින්න පුළුවන්.
Leave a Reply