මීට දශක කීපයකට කලින් නොදියුණු සහ දුෂ්කර ප්‍රදේශයක්ව පැවති එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද වෙනකොට මැදපෙරදිග කලාපයේ ආර්ථික සහ සමාජයීය වශයෙන් බලවතෙක් බවට පත්වෙලා තියෙනවා. රාජ්‍යයක් විදිහට ගත්තොත් ඔවුන්ට තිබ්බ එකම සම්පත වුණේ තෙල් සම්පත විතරයි. එම සම්පත ඉතාමත්ම විශිෂ්ට ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමට එම රාජ්‍යය සඳහා නායකත්වය දීපු පුද්ගලයන් සමත් වුණා. අපි අද කතා කරන්න යන්නේ ඒ විශිෂ්ටයෝ කීප දෙනෙක් පිළිබඳව. ලෝකයේ බොහෝ රටවලට නැති සම්පත් විශාල ප්‍රමාණයක් තිබිලා තියෙද්දිත් රටක් විදිහට ලංකාවට ඉදිරියට යන්න බැරි ඇයි කියලා ප්‍රශ්නයත් මේ ලිපිය කියවද්දී ඔබට දැනෙන්න පුළුවන්. හැබැයි ඒ සඳහා නම් අපි පිළිතුරක් ලබා දෙන්නේ නැහැ.
1. Sheikh Zayed Bin Sultan Al Nahyan (ෂෙයික් සයිඩ් බින් සුල්ටාන් අල් නෙහ්යාන්)
අබුඩාබියේ පාලකයා විදිහට පත්වුණු ෂෙයික් සයිඩ්, අනතුරුව එතෙක් වෙන්ව පැවැති එමීර් රාජ්‍යයන් හත එකට එක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිර්මාණය කිරීමට පදනම ලබා දෙනු ලැබුවා. මේ නිසාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පියා විදිහට ඔහු අමරණීය පුද්ගලයෙකු බවට පත්ව තිබෙනවා. තෙල් සමාගම් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ආයෝජනය කිරීමට ඉඩ ලබා දුන් ඔහු ඒ මගින් ලැබෙන ආදායම් රාජ්‍ය සුභසිද්ධිය ඉහළ නැංවීමට යොදා ගනු ලැබුවා. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉදිරිගාමී චින්තනයක් සහිත නායකයෙක්.
2. Rashid Bin Saeed Al Maktoum (රෂීඩ් බින් සයිඩ් අල් මක්ටවුම්)
1958 පටන් 1990 දක්වා වසර 32ක් ඩුබායි රාජ්‍යය පාලනය කළ සයිඩ් අල් මක්ටවුම් එතෙක් කුඩා ජනපදයක්ව පැවති ඩුබායි ප්‍රදේශය දියුණු වරාය නගරයක් සහ වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට පුරෝගාමී මෙහෙයක් ඉෂ්ට කරනු ලැබුවා. අන්තර්ජාලය තුළ නිතර නිතර සංසරණය වන “මාගේ සීයා ඔටුවෙක් පිට ගියේය, මම දැන් මර්සිඩිස් රථයක් පදවමි, මගේ පුත්‍රයා සහ මුණුබුරා ද ලෑන්ඩ් රෝවර් පදවනු ඇත, ඒත් මාගේ මී මුණුබුරා නැවතත් ඔටුවෙකු පිට යනවා ඇත” යන සුප්‍රකට ප්‍රකාශය කරනු ලැබුවේ ඔහු විසිනුයි. තෙල් සම්පත යම් දිනක ක්ෂය වන බව දැන සිටි ඔහු ඩුබායි රාජ්‍යයේ ආදායම තෙල් මත පමණක් රඳා නොපවතින අයුරින් විවිධාංගීකරණය කිරීමට පියවර ගනු ලැබුවා.
3. Maktoum Bin Rashid Al Maktoum (මක්ටවුම් බින් රෂීඩ් අල් මක්ටවුම්)
සයිඩ් අල් මක්ටවුම්ගෙන් පසුව ඩුබායි රාජ්‍යයේ පාලකයා බවට පත්වූයේ ඔහුගේ පුතා වූ බින් රෂීඩ් අල් මක්ටවුමුයි. මෙතුමාගේ රාජ්‍ය කාලය කෙටි එකක් වුණා. කෙසේ වෙතත් ඔහු සිය පියාගේ පාලන කාලය තුළ ඩුබායි රාජ්‍යය පමණක් නොව සමස්ත එක්සත් අරාබි එමීර් රාජ්‍යයම සංවර්ධනය කරා ගෙනයාමට සුවිශාල භූමිකාවක් ඉෂ්ට කරනු ලැබුවා. ඉහත දී සඳහන් කළ ආකාරයටම ඩුබායි රාජ්‍යයේ දියුණුව සඳහා අඩිතාලම දමනු ලැබූයේ සයිඩ් අල් මක්ටවුම් වුවත් එම ප්‍රතිපත්ති වඩාත් කාර්යක්ෂම ආකාරයෙන් ඉදිරියට ගෙන යාමේ ගෞරවය මක්ටවුම් බින් රෂීඩ්ට හිමි වන්නේ නිතැතින්මයි.
4. Sheikh Khalifa Bin Zayed Al Nahyan (ෂෙයික් කාලිෆා බින් සයිඩ් අල් නෙහ්යාන්)
සිය පියා වන ෂෙයික් සායිඩ්ගේ මරණයෙන් අනතුරුව අබුඩාබියේ පාලකයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධානියා බවට පත්වූ මෙතුමා පවසන්නේ සිය පියාගේ පාලන කාලය තුළ අනාගතය සඳහා අවශ්‍ය ඉවසීම සහ නායකත්ව ගුණාංග ඔහු ඇසුරින් තමන් තුළ වර්ධනය කර ගත් බවයි. ඔහු විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාලන තන්ත්‍රය වර්තමානයට ගැලපෙන අයුරින් ප්‍රතිව්‍යුහගත කරනු ලැබුවා. එසේම රාජ්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මකට අනුව ක්‍රියාත්මක කරවනු ලැබුවා.
5. Shaikh Mohammed Bin Rashid Al Maktoum (ෂෙයික් මොහම්මඩ් බින් රෂීඩ් අල් මක්ටවුම්)
සිය සහෝදරයා වූ බින් රෂීඩ් අල් මක්ටවුම්ගේ මරණයෙන් පසුව ඩුබායි රාජ්‍යයේ පාලකයා බවට පත් වූ ඔහු ඩුබායි ප්‍රමුඛ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝකයේ අගනුවර බවට පත් කිරීමේ සිහිනය හඹා යමින් සිටිනවා. ඒ සඳහා ඔහු විසින් ඩුබායි අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානය, ඩුබායි මාධ්‍ය නගරය, ඩුබායි අන්තර්ජාල නගරය වැනි සංකල්ප රාශියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැක්ම ලබාදෙමින් සිටිනවා. එතුමාගේ රාජ්‍ය කාලය තුළ සමස්ත එක්සත් අරාබි එමීර් රාජ්‍යයම සුවිශාල ජයග්‍රහණ අත්පත් කර ගනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයන් පුරෝකතනය කරනු ලබනවා.
6. Mohamed Bin Zayed Al Nahyan (මොහම්මඩ් බින් සයෙඩ් අල් නෙහ්යාන්)
වර්තමානයේ අබුඩාබි රාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා ලෙස කටයුතු කරන මෙතුමා ඇතැම් දේශපාලන විචාරකයන්ට අනුව අබුඩාබි රාජ්‍යයේ සැබෑ පාලකයායි. වර්තමානයේ එරට අනුගමනය කරනු ලබන විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම පාහේ නිර්මාණය වී ඇත්තේ ඔහුගේ අදහස් මතයි. අරාබි ලෝකයට තර්ජනයක්ව පවතින අන්තවාදී ඉස්ලාමික ත්‍රස්තවාදයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යය මැදිහත්විය යුතු බවට ආකල්පය ඒ රට තුළ ඇති කිරීමට ඔහු සිය දායකත්වය ලබා දෙනු ලැබුවා.
7. Sheikha Lubna Bint Khalid Bin Sultan Al Qasimi (ෂෙයිකා ලුබ්නා බින්ට් කාලිඩ් බින් සුල්තාන් අල් ක්වාස්මි)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු අමාත්‍යවරිය බවට පත්වූ ඇය එරට පමණක් නොව ජාත්‍යන්තර වේදිකාව තුළත් විශේෂයෙන් ජනප්‍රියත්වයට පත් වූ තැනැත්තියක්. එරට අන්තර්ජාතික වෙළඳාම සහ ආර්ථික සහ සැලසුම්කරණ යන අමාත්‍යධූර ඇය විසින් දැරූ අතර එම සෑම අමාත්‍යාංශයක් තුළින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඒ ඒ ක්ෂේත්‍ර හරහා ශක්තිමත් කිරීමට අවශ්‍ය දායකත්වය ඇය විසින් ලබා දෙනු ලැබුවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සේවය කරන බොහෝ පාඨකයන් පිරිසක් අපිට ඉන්නවා. අපි ඔබට ආරාධනා කරන්නේ මේ නායකයන් ගැන වගේම ඒ රාජ්‍යය ගැනත් ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න කියලායි.
Leave a Reply