ප්‍රියමනාප නගර වටපිටාවක පොදු ලක්ෂණ

ලස්සන නගර ගතහොත් ඒවාට තිබෙන පොදු නිර්මාණාත්මක ලක්ෂණ තිබෙනවා. ඒ වගේම වෙනත් බාහිර සාධකත් තියෙනවා. ලස්සන නගරයක් වීඩියෝ තාක්ෂණය හරහා අපිට අද බලන්නට පුළුවන්. ඒත් සැබෑවටම නගරයක තියෙන ගතිය තියෙන්නේ එහි යන එන ඇවිදින අය, දිවි ගෙවන අය දකින කෝණයෙන්. ඉතින් ලස්සන නගර වලට පොදු දේවල් කිහිපයක් අපි බලමු.

 

1. කොළපාට අවකාශ

නගරයක් කියන්නේ කොන්ක්‍රීට් සහ මිනිස්සු හදපු අවකාශම නෙමෙයි. නිව්යෝක් නගරයේ වගේම වෙනත් නගර වලත් නගර සීමාව තුළම කුඩා කොළපාට පළාත් තියෙනවා. නගරයක් තුළ සහ යාබදව තිබෙන මේ සුන්දර කොළපාට අවකාශය නගරය ලස්සන කරනවා පමණක් නෙමෙයි, නගරයට වෙනමම ආකර්ෂණයක් එකතු කරනවා. ගහ කොළ වුවත් උද්‍යාන පමණක් නෙමෙයි, මග දෙපස සහ අවශ්‍ය තැන්වල අවශ්‍ය ආකරයෙන් සුන්දරව නිමවා තියෙද්දි ඒ තැනට විශේෂ ආකර්ෂණයක් ලැබෙනවා. ලෝකයේ බොහෝ සුන්දර නගරවල කලාත්මකව නිමවූ කොළපාට අවකාශ දකින්නට තිබෙනවා.

 

 

2. ගුවන් අවකාශය

ගුවන් අවකාශය කිව්වේ ගුවනින් ඇවිත් නගරය බලනකොට පේන දේම නෙමෙයි. නගරවලට මිනිස්සුන්ගේ ආකර්ෂණය යන්න ඒකට වෙන්වූ විශේෂ සුවිශාල දේවල් තියෙනවා. කේප්ටවුන් නගරය පිහිටලා තියෙන්නේ සුන්දර කඳුවැටියකට සහ මුහුදු වෙරළකට යාබදව. එහි ඒ කඳුවැටිය නගරයට ගෙන එන්නේ අමුතු සිරියක්. පැරිස් නගරයේ ගුවන් අවකාශය තුළ අයිෆල් කුළුණ විරාජමාන වෙනවා. කොළඹ නගරය ගතහොත් දැන් නෙළුම් කුළුණ කොළඹ ගුවන් අවකාශයේ විශාල තැනක් ගන්නවා. මහල් සීයේ දෙසීයේ ගොඩනැගිලි තැන තැන ඉදිවීම මේ ගුවන් අවකාශයට බාධාවක්. ඒ නිසා මහල් ගණනින් අඩු සහ මනාව සැලසුම් කළ ගොඩනැගිලි තියෙන නගර ලෝකයේ වඩාත් ආකර්ෂණීය වෙලා තිබෙනවා.

 

 

3. සංස්කෘතික සලකුණු සහ උරුමයන්

නගරයක් කියන්නේ පෞරාණික උරුමයක් ම නෙමෙයි. ඒත් නගරයක ඇති බොහෝ දේ තුළ ඒ දේශයට රටට උරුම වූ යම් යම් ලක්ෂණ ඉතිරි වෙනවා නම් ඒ නගරයේ යම් විශේෂිත බවක් තිබෙනවා. ජපානයේ සුන්දර නගර වල පැරණි ජපන් ගෘහ නිර්මාණ ශිල්පය පේන්නට තියෙනවා. බැංකොක් නගරය ලස්සන එකක් ලෙස සැලකුණේ නැතත් බැංකොක් වලට, එහි තිබෙන පන්සල් වලින් ගෙන එන්නේ ආලෝකයක්. ඉතාලියේ නගර වලට ඉතාලියානු සහ බටහිර ගෘහ නිර්මාණ ශිල්පයේ උරුමය ලැබී තිබෙනවා. ඒ ආකාරයෙන් හුදෙක් කාර්යාල සහ වෙළඳ වටපිටාවන් වගේම සංස්කෘතික උරුමයන් තුළිනුත් නගර වලට ආවේණික බවක් එක් කරනවා.

 

4. ජන ජීවිතය

නගරයක වීදි සහ ගොඩනැගිලි වලට වඩා ජන ජීවිතය එයට බද්ධවෙන ආකරය වැදගත් සාධකයක් වෙනවා. එංගලන්තයේ ජනයා දවස තිස්සේ මහන්සි වෙලා හවසට පොඩි බීර විතක් තොලගාන්න පබ් එකකට එකතු වෙනවා. චීනයේ ජනතාව නගරවලදී හවසට එලිමහනේ තිබෙන කඩයක පෝලිමේ ඉඳලා කෑම ටිකක් අරගෙන, ඒ යාබදවම ඉඳගෙන හිමීට කාල බීලා පාරෙම විනෝද වෙනවා. ඒ ආකාරයෙන් රට රටවල නගරවල නාගරික ජීවිත වෙනස්. ඒ නාගරික ජීවිත සහ නගරය කියන්නේ දෙකක් නොව එකක්. ඇතැම් කලකදී චීන කොලනි, ඉන්දියානු කොලනි ලෙස කොන්කෙරුණු නගර කොටස් පසුකලෙක නගරවලට එකතු කරගත්තේ චයිනා ටවුන්, ඉන්දියන් ටවුන් ලෙස නම් කරමින්. මොකද ඒ විශේෂිත වූ ජන ජීවිත කොටසත් අයිති වෙන්නේ නගරයේ ලස්සනටම තමයි කියලා නගර සැලසුම්කරුවන් තෝරාගත්තා.

 

 

5. සැලසුම් කරන ලද පොදු අවකාශයන්

ඉපැරණි නගර තුළ සේම නූතන නගර වලත් මංසන්ධි, උද්‍යාන, ක්‍රීඩාංගණ, බස් නැවතුම් පොල, දුම්රිය ස්ථාන ආදී විශාල අවකාශයන් තියෙනවා. ඒ පොදු විශාල අවකාශයන් නගරයට එන ජනයාගේ මතකයේ විශේෂයෙන් සටහන් වෙනවා. රටට අලුතින් කෙනෙක් පැමිණෙනවානම් එහි ගුවන්තොටුපල. සංචාරකයින් නම් දුම්රිය නැවතුම්, මුහුදු වෙරළ, සතුටු උයන් ආදිය නගරයට පිටින් පැමිණෙන අයට වැඩිපුර හමු වෙනවා. මේ නගරය තුළ තියෙන පොදු හිස් අවකාශයන් සුන්දර නගර වලදී ආකර්ෂණීය විදිහට තියෙනවා. උදාහරණ ලෙස සිංගප්පූරු නගරයේ නගරය පමණක් නෙමෙයි, එහි දුම්රිය ස්ථාන ගුවන්තොටුපල ආදී විශාල අවකාශයනුත් ඔවුන් මනාව සැලසුම් කරලා තියෙනවා.

 

 

6. පිළිවෙළ ඇති පදමට

ගොඩක් පිළිවෙළ වුණාමත් එතැන යම් යාන්ත්‍රික බවක් එකතු වෙනවා. උදාහරණ විදිහට එක් වීදියක දෙපස තිබෙන බොහෝ ගොඩනැගිලි එකම හැඩයේ, එකම වර්ණයෙන් වුණොත් එතැන කිසි ගෝ එකක් නැහැ. ඒ වගේම වීදියේ දෙපස තිබෙන ගොඩනැගිලි එක එක උසින්, එක එක පාටින්, එක එක තරමින් තිබුණොත් එතනදී එන්නේ කැතක්. ඒ නිසා මහල් ගණන දහයට අඩු, යම් පළලකින් යුතු විවිධ හැඩයේ ගොඩනැගිලි තිබෙන වීදි බොහොම ලස්සනට පේනවා. ප්‍රංශය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය වගේ යුරෝපීය රටවල පැරණි වීදි ලස්සන වෙලා තියෙන්නේ ඒ නිසා. ලංකාවේ වුණත් මහල් ගොඩනැගිලි තිබුණත් කොළඹ කොටුව, ගාලු කොටුව එහෙම යම් වෙනස් ආකාරයකට පේන්නේ ඒ පමණට තිබෙන පිළිවෙළ නිසායි.

 

 

7. ප්‍රවාහන සැලසුම්

මොස්කව්, ලන්ඩන් වගේ නගර ගතහොත් ඒවායේ සියවසකට අධික කාලයක් තිස්සේ නගරය යටින් දිවෙන මෙට්‍රෝ දුම්රිය පද්ධතියක් තියෙනවා. තායිලන්තයේ බැංකොක් නගරයෙත් දැන් මෙට්‍රෝ දුම්රිය පද්ධති තියෙනවා. ඉන්දියානු නගර වලත් තියෙනවා. මේ වගේ විසඳුම් හරහා නගරයට ලැබෙන්නේ වටිනාකමක්. ජනාකීර්ණ වීදි වල සෑම විටකම අධික ලෙස තදබදයෙන් වාහන ගමන් කරන විට ඒ නගරය ලස්සන උනත් එහි වටිනාකමක් නැහැ. මොකද වාහන තදබදය තුළින් එළියට එන පුද්ගලයා නගරය වටිනා එකක් ලෙස හඳුනාගන්නේ නැහැ. යුරෝපීය ඇතැම් රටවල් වල නාගරික ප්‍රවාහනයට බයිසිකල් යොදාගන්නවා. පෘතුගාලයේ එහෙම තවමත් නාගරික ප්‍රවාහන කටයුතු වලට ට්‍රෑම් යොදාගන්නවා. ලන්ඩන් නගරයේ මෑතක් වනතුරු රතුපැහැති තට්ටු දෙකේ බස් එහි මාර්ග වල දකින්නට තිබුණා. ඒ වගේ නාගරික ප්‍රවාහන රටාවනුත් නගරයේ ලස්සනට ලොකුවටම බලපානවා.

 

නාගරික ජනතාව කැමති නැති අලුත් දේවල් ගොඩක් නගරයට එකතු කිරීම කියන්නේ තවත් ලොකු වටිනාකමක් නෙමෙයි. ඒ වගේම පොදු අවකාශයන් වන බස් නැවතුම්, දුම්රිය නැවතුම්, කර්යාල සංකීර්ණ, ජනාකීර්ණ වීදි ආදිය සැලසුම් කරද්දිත් සම්පූර්ණ නගරයේ ලස්සන සහ මිනිස්සුන්ගේ අවශ්‍යතා ගැන පුළුල්ව සිතාබලන්නට අවශ්‍ය වෙනවා. ඉතින් නගර සැලසුම්කරණය කියන්නේ වර්තමානයේ දීර්ඝ කාලයක් අධ්‍යනය කරන පුළුල් විෂයයක්. එයින් අපිට ලස්සන නගර වල පේන ගතිගුණ කිහිපයක් මෙහි අන්තර්ගත වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *