මෑත කාලයේ ලංකාවේ හිට් වුණ කවියන් හත්දෙනෙක් – 2 කොටස

 

අපි මීට කලින් මෑත කාලයේ හිට් වුණ කවීන් හත්දෙනෙක් ගැන ලිපියක් ගෙනාවා ඔබට මතක ඇති. ඒ ලිපිය මඟ හැරුණානම් පහත ලින්ක් එකෙන් අනිවාර්යයෙන්ම කියවන්න. 

මෑත කාලයේ ලංකාවේ හිට් වෙච්ච කවියන් හත් දෙනෙක්

 

 

ඉතින් අද අපි හිතුවා පළමු ලිපියෙන් අපට මගහැරුණු තවත් සොඳුරු කවියන් හත්දෙනෙක් ගැන කතාකරන්න…

 

1. ටිම්රාන් කීර්ති 

අපි අද මුලින්ම කතාකරන්නේ අපිට කලින් කොටසේ මඟ හැරුණු හිට්ම විතරක් නෙමෙයි, දක්ෂතම කවියෙක් ගැන. ඔයා කවියට ආදරේ කරන කෙනෙක් නම් “යන්නං චන්දරේ” කවි පොත කියන්නේ ඔයාට අමුත්තක් නම් නෙමෙයි. අපේ රටේ ඒ කාව්‍ය සංග්‍රහය අතිශයින් ජනප්‍රිය වුණා වගේම කවියට ආදරය කරන හැමෝගෙම අතේ රැඳුණු පොතක් වුණා. ඒ වගේම ටිම්රාන් කීර්ති කියන මේ දක්ෂ කවියගේ “සාදය සුදානම්”, “ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි”, “පෙම්බරියන්ගෙන් වෙන්වුණු ලූලෙක් හැරෙයි ඇළකට” වගේ කාව්‍ය සංග්‍රහයනුත් පාඨකයා ආදරයෙන් වැළඳ ගත්තා.

 

2. මාලතී කල්පනා ඇම්බ්‍රෝස් 

මාලතී කල්පනා ඇම්බ්‍රෝස් කියන්නෙත් වර්තමානයේ තමන්ටම සුවිශේෂී වූ අනන්‍යතාවයක් ගොඩනගාගත් විශිෂ්ට කිවිඳියක්. “නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි”, “පියා නොහැඹූ පියාපත්”, “මේ නිහඬ වෙරළට එන්න”, “ඔබ ගැඹුරු නින්දක” වගේ කාව්‍ය සංග්‍රහයන් කියවූ පාඨකයන්නම් ඇගේ ඒ දක්ෂතාව හොඳින් අඳුරනවා. පියා නොහැඹූ පියාපත් කවි පොතෙන් ඇය හයිකු කවි හා සමාන කෙටි කවි කිහිපයක් හරහා නැවුම් අත්දැකීමක් පාඨකයාට ලබා දෙන්න සමත් වුණා… 

 

3. නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්

නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් කියන්නේ අප සමාජයෙන් බිහිවෙච්ච වෙනස්ම විදියේ කවියෙක්. ගොඩාක්ම ඔහු කවි ලිව්වේ සමාජයේ ජීවත් වෙන පීඩිත මිනිස්සුන්ට. ඒ හින්දාම ඒ කවි බොහෝ දෙනෙක් හරි ආදරයෙන් වැළඳ ගත්තා. ඔහු ලියූ “මයෙ අම්මේ යමු යන්ඩ”, “බුදු පිළිම යට නාග බිත්තර” කාව්‍ය සංග්‍රහයන් වල අපේම පීඩිත මිනිස්සුන්ගේ හිත්වල තියෙන ශෝකාරාවය හරිම ලස්සනට, සියුම්ව අකුරු වලට පෙරළලා තිබුණේ ඒවා කියවන පාඨකයන්ගේ ඇස් තෙත් කරන්න සමත් වෙමින්…

 

4. කාංචනා අමිලානි

කාංචනා අමිලානි කියන්නෙත් වර්තමානයේ අපිට ඉන්න දක්ෂ කෙටිකතාකාරිනියක්. ඇය ලියූ “ගම්මිරිස් කුරුල්ලා” වගේ කෙටිකතා පොත් “ගුහා සටන” වගේ නවකතා පොත් පාඨකයන් ආදරයෙන් වැළඳ ගත්තා. ඒ වගේම ඇය දක්ෂ කිවිඳියක්ද වනවා. ඇය ලියූ “බූමරංගය ඔබේ ඇස් දෙක”, “ප්‍රේමයේ කාර්තු” වගේ කාව්‍ය සංග්‍රහයන් ඇගේ දක්ෂකමට හොඳම සාක්ෂි වනවා.

 

5. ඉසුරු චාමර සෝමවීර 

කවියට ආදරේ කරන ගොඩක් අයට ඉසුරු චාමර සෝමවීර කියන්නේ නම් මගහැරුණු කවියෙක් කියලත් හිතෙනවා. ඒත් ඔහුගේ කවියක් දෙකක් කියවපු අයට නම් කොහෙත්ම මේ නම නුහුරු වෙන්නේ නෑ. ඒ තරම් ඒ කවි විශිෂ්ටයි සහ ඒ තරම් ඔහු දක්ෂ කවියෙක්. ඒත් ඔහු ලැබූ ඇගයීම් අඩු නිසාම ගොඩාක් අය අතරට ඒ කවි ගියේ නෑ කිව්වොත් වැරදි නැහැ. “තාණ්ඩව”, “අප දෙදෙනා මැද මහ මුහුද” වගේ කාව්‍ය සංග්‍රහයන් සහ “මලක් කතා කරයි”, “ගැහැනු පිරිමි මල් පලතුරු” වගේ කෙටිකතා සංග්‍රහයනුත් ඔහුගේ දක්ෂකමට හොඳම නිදසුන්…

 

6. අනුරාධා නිල්මිණි

අනුරාධා නිල්මිණි කියන්නෙත් දක්ෂ කිවිඳියක්. “රිදුම් පිරි පිරිමැදුම්” කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් ඇය හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි රජත පුස්තක සම්මානයටත් 2020 වසරෙදි හිමිකම් කිව්වා. ඇගේ පන්හිඳෙන් ලියවුණු “මදහසක මැදියම” වගේ කාව්‍යත් තව ඇය ලියූ “යුග ස්ත්‍රී” කාව්‍ය සංග්‍රහයත් කවියට ලොල් පාඨකයා අතර අතිශය ජනප්‍රිය වුණා. ඒ වගේම ඇය ලියූ “සවරංපාලිය” නවකතා පොතත් වෙනම ආකෘතියකින් ලියවුණු විශිෂ්ට නවකතාවක් බව කිව යුතුයි.

 

7. ලක්ෂාන්ත අතුකෝරළ

ලක්ෂාන්ත අතුකෝරළ දශකයකට වැඩි කාලයක් පුරාවටම කවිය හරහා තමන්ගේ දක්ෂකම පෙන්වූ විශිෂ්ට කවියෙක්. “අමාවකේ සඳක් සිඹිමි”, “යටි වියන” කාව්‍ය සංග්‍රහයන් වෙනුවෙන් ඔහු 2006, 2007 වසරවල් වල හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි ගොඩගේ සම්මාන වලට හිමිකම් කිව්වා. ඒ වගේම හෝ චී මිං රචනා කළ “Prison Diary” පද්‍ය කෘතිය “සිරගත නොවූ සිතුවිලි” නමින් ඔහු සිංහලට පරිවර්තනය කළා.

 

ඉතින් අදත් අපි තවත් ජනප්‍රිය වුණු ලාංකීය කවීන් හත් දෙනෙක් ගැන කතා කළා. අපේ රටේ ඉන්න මේ දක්ෂ කවියන්ට අමතරව තවත් ඔබ දන්න දක්ෂ, ජනප්‍රිය කවීන් ගැනත් අපිට කියන්න අමතක කරන්න එපා…

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *