අපේ රටේ මූර්ති කලාව තුළ වැඩි ඉඩකඩක් ලැබිලා තියෙන්නේ බුද්ධ ප්රතිමාවලට සහ දේව රූප වලට. හරිම අල්ප වශයෙන් තමයි රාජකීය රූප පවා දකින්නට ලැබෙන්නේ (සමහර වෙලාවට විවිධ හේතු නිසා ඒවා විනාශ වුණා වෙන්නත් පුළුවන්). අපේ රටේ චිත්‍ර කලාව එක්ක බලද්දි මූර්ති කලාවට ඒ හා සමාන ස්ථානයක් ලැබිලා නෑ කියන එක අපිට පිළිගන්න වෙනවා. නමුත් අපේ රටට සාපේක්ෂව පැරණි ශිෂ්ටාචාර සහිත බොහෝ රටවල්වල ඔවුන්ටම ආවේණික මූර්ති කලාවක් සංවර්ධනයව තිබෙනවා. ඇතැම් අවස්ථාවල චිත්‍ර කලාවට වඩා මූර්ති කලාව පියවර දෙකතුනක් ඉදිරියට තබා තිබෙන බවත් ඒකට හේතුව වෙලා තියෙන්නේ චිත්‍රයක් ද්විමාන අවකාශයකට පමණක් සීමා වෙද්දී ත්‍රිමාන අවකාශයේ විහිදිලා යන මූර්තියක් නරඹන්නාට වඩාත් සමීප වන බව ඔවුන් විශ්වාස කිරීමයි.
1. විලෙන්ඩෝෆ්හි වීනස් (Venus of Willendorf)
ඔස්ට්‍රියාවෙන් සොයාගත් මෙම නිර්මාණයේ අතීතය කුමක් ද යන්න පිළිබඳව මෙතෙක් කලා ඉතිහාසඥයන් අතර එකඟතාවයක් නැහැ. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ යම්කිසි ලිංගිකත්වය හා සමඟ බැඳුණු අභිචාර විධියක් සඳහා මෙම ප්‍රතිමාව භාවිතා කරන්න ඇති බවයි. ගල් යුගයට අයත් මෙම ප්‍රතිමාව ඇතැම්විට කාන්තාවක් විසින් තමන්වම නිරූපණය කර ගැනීමට කරන ලද නිර්මාණයක් බවටත් මතයක් පවතිනවා.
2. නෙෆර්ටිටි උඩුකය (Bust of Nefertiti)
ඊජිප්තු පුරාවස්තු අතර හමු වූ කාන්තා ලාලිත්‍යය නිරූපණය කරන විශිෂ්ටතම නිර්මාණය ලෙස සැළකෙන්නේ නෙෆර්ටිටි බිසවගේ උඩුකය නිරූපණය වන මේ ප්‍රතිමාවයි .මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ සමකාලීන ඊජිප්තු කලා සම්ප්‍රදායෙන් බැහැරව ස්වභාවික සම්ප්‍රදායට මුල්තැන දෙමින් නිර්මාණය කිරීමයි. වර්තමානයේදී මෙම ප්‍රතිමාව ජර්මනියේ බර්ලින් අගනුවරදී ඔබට දැකගැනීමට පුළුවන්.
3. ටෙරාකොටා හමුදාව (Terracotta Army)
චීනයේ පළමු අධිරාජයා ලෙස සැළකෙන ෂී හුවෑන්ග්ගේ සොහොන් ගැබ ආශ්‍රිතව සිදුකරන ලැබූ කැණීමකින් සොයා ගන්නා ලද, මැටියෙන් තනන ලද සොල්දාදුවන් පිරි හමුදාව සොයාගැනීම ඇතැම් අය සළකන්නේ ලෝක පුරාවිද්‍යා කැණීම්වල අමරණීය සන්ධිස්ථානයක් ලෙසයි. මෙම ප්‍රතිමා නිර්මාණය කිරීමේදී සොල්දාදුවන්ගේ මුහුණේ ඉරියව් පිළිබඳව පවා අවධානයක් යොමුකර තිබෙනවා. අතීතයේදී සැබෑ ආයුධ වලින් මෙම ප්‍රතිමා සන්නද්ධ කර තිබූ බව කියැවෙන අතර ඒවායේ ආලේප කර තිබූ වර්ණ කාලයත් සමඟ වියැකී ගොස් තිබෙනවා.
4. ලාඅකූන් සහ ඔහුගේ පුත්‍රයෝ (Laocoon and His Sons)
1500 ගණන්වල රෝමයේ සිදු කරන ලද කැණීමකින් සොයා ගන්නා මේ මූර්තිය සැලකෙන්නේ එතෙක් මෙතෙක් හමුව ඇති පුරාණ රෝම මූර්ති අතරින් සංරක්ෂණය වී ඇති විශිෂ්ටතම මූර්තිය ලෙසටයි. සුප්‍රකට ග්‍රීක ටෝජන් යුද්ධයේදී භාවිතා කරන ලද ට්‍රෝජන් අශ්වයා පිළිබඳව සත්‍ය තත්ත්වය විස්තර කිරීමට උත්සාහ කළ පූජක ලාඅකූන් සහ ඔහුගේ පුත්‍රයන් මුහුදට අධිපති පොසිඩන් දෙවියන් විසින් එවන ලද මුහුදු සර්පයන් විසින් ඝාතනය කිරීම මින් නිරූපණය වනවා.
5. ඩේවිඩ් ප්‍රතිමාව (David)
මෙම ප්‍රතිමාව ආරම්භයේදී ස්ථානගත කිරීමට සැලසුම් කළේ දෙව්මැඳුරක් තුළ වහලයට ආධාරකයක් ලෙස සකස් කරන ලද බිත්තියක් මත තැබීමටයි. නමුත් මෙම ප්‍රතිමාවේ තිබෙන විශාලත්වය නිසාම අවසානයේ දී දෙව් මැදුර තුළ නොතබා ෆ්ලොරන්ස් නගරයේ නගර ශාලාවේ ප්‍රදර්ශනය කිරීමට තබනු ලැබුවා. මෙම ප්‍රතිමාව මයිකල් ඇන්ජලෝගේ විශිෂ්ටතම නිර්මාණ ගොන්න අතරින් එකක් වනවා.
6. ශාන්ත තේරේසාතුමියගේ ප්‍රහර්ෂය (Ecstasy of Saint Teresa)
සාන්තා මරියා ඩෙල්ලා විටෝරියා නම් දෙව්මැදුරේ පිහිටා ඇති මෙම මූර්තිය නිර්මාණය කිරීම සඳහා සිය නිර්මාණශීලී දායකත්වය ලබාදී තිබෙන්නේ ගියාන් ලොරෙන්සෝ බර්නිනි විසින්. කාර්මේල් නිකායට අයත් ස්පාඤ්ඤ ජාතික කන්‍යා සොහොයුරියක් වන ඇවිලාහි තෙරේසා මවුතුමිය දේව දූතයෙකු විසින් සිය හදවතට එල්ල කරනු ලැබූ හී පහරක් පිළිබඳව ලියනු ලැබූ සටහනක් ඇසුරෙන් මෙම මූර්තිය නිර්මාණය කොට තිබෙනවා.
7. පර්සියුස් සහ මෙඩූසාගේ හිස (Perseus with the Head of Medusa)
18 වන සියවසේ වාසය කළ විශිෂ්ටතම මූර්ති ශිල්පියා ලෙස පිළිගැනෙන ඉතාලි ජාතික ඇන්ටෝනියෝ කැනෝවා විසින් නිර්මාණය කරන ලද මෙම මූර්තිය මගින් ග්‍රීක වීරයෙකු වන පර්සියුස් විසින් මෙඩූසා නම් අර්ධ යක්ෂණියගේ හිස සිඳීම නිරූපණය කොට තිබෙනවා. ඔහු විසින් මෙම ප්රස්තුතය යටතේ බොහෝ දුරට සමාන මූර්ති දෙකක් නිර්මාණය කොට ඇති අතර එක් මූර්තියක් වතිකනය තුළත් අනෙක් මූර්තිය මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයෙත් දකින්නට ලැබෙනවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply