අප්‍රිකා මහද්වීපයේ සුන්දරම තැන් 7ක්

අප්‍රිකාව කිව්වම අපිට සිහියට එන්නෙ හැමතිස්සෙම සාගතයෙන්, වර්ගවාදී අර්බුද වලින් පීඩා විඳින ජන කණ්ඩායම් ජීවත්වෙන මහද්වීපයක් විදිහට. ඇත්තටම මේ අදහස සමාජගත කරන්න අප්‍රිකාවේ සම්පත් ඉතා නිර්දය විදිහට කොල්ලකාපු බටහිර රටවලුත් වගකියන්න ඕන.ඒ වගේම අප්‍රිකානු මහද්වීපයේ රටවල් ලෝකයේ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව පසුගාමී මට්ටමක ඉන්නවනම් ඒකට වග කියන්න ඕනෙත් අද දියුණු රටවල් විදිහට පුරසාරම් දොඩවන රටවල්  ටිකම තමයි. Lifie අපි මේ හදන්නේ ඔබේ සිතේ අප්‍රිකාව ගැන ඇඳිලා තියෙන ප්‍රසිද්ධ චිත්‍රය සත්‍ය චිත්‍රයට වඩා කොච්චර වෙනස්ද කියන එක හොයන්න ඔබට උදව් කරන්න. මීට කලිනුත් අපේ අප්‍රිකානු රටවල් ගැන වගේම අප්‍රිකානු නායකයෝ ගැනත් ලිපි කීපයක් ගෙන ආවා ඔබට මතක ඇති.

 

1. වික්ටෝරියා දිය ඇල්ල (Victoria Falls)

සිම්බාබ්වේ සහ සැම්බියා යන රටවල දේශ සීමාවේ පිහිටා ඇති මේ විස්මයජනක දියඇල්ල හටගන්නේ සැම්බසි නදියෙන්. මේ දිය ඇල්ලට වික්ටෝරියා යන නම ලබා දෙන ලද්දේ ස්වභාව ධර්මයේ මෙම විස්මිත නිර්මාණය පළමුවරට ගවේෂණය කරන ලද යුරෝපීය ජාතිකයා වන ඩේවිඩ් ලිවින්ග්ස්ටෝන් විසින්. නමුත් දේශීය අප්‍රිකානු ජන වර්ග මේ දියඇල්ල සඳහා භාවිතා කරන්නේ මොසි ඕආ ටුන්‍යා (Mosi-oa-Tunya) යන නාමයයි. ඒ මගින් අකුණුසැර වන් දුමාරය යන අර්ථය ලබා දෙනු ලබනවා. මේ දිය ඇල්ල කඩා හැලීමේදී ජල ධාරාව මගින් ඇති කරනු ලබන දුමාරයක් වැනි ස්වභාවය මින් නිරූපණය වනවා.

 

2. ගීසාහි පිරමීඩ (Pyramids of Giza)

මේ සුවිශේෂී නිර්මාණය ගැන නම් විශේෂයෙන් සඳහන් කරන්න ඕන කියලා අපි හිතන්නේ නැහැ. ලිබියානු කාන්තාරය තුළ පිහිටා තිබෙන මෙම පිරමීඩ සංකීර්ණය දුරාතීතයේ පටන්ම මිනිසාව විස්මයට පත් කිරීමට සමත් වුණා. අද දක්වාම මෙම නිර්මාණය හා සබැඳි ගුප්ත කතා අපිට අහන්න ලැබෙනවා. තවමත් මේ නිර්මාණයේ ඉතිහාසය වසර කී දහසක් දක්වා දිව යනවාද කියන එක පිළිබඳව  එකඟත්වයක් ඉතිහාසඥයන් අතර හෝ පුරාවිද්‍යාඥයන් අතර නැහැ.

 

3. සිඩි බව් සයිඩ් (Sidi Bou Said)

මධ්‍යධරණී වෙරළ තීරයේ පිහිටා ඇති මෙම ටියුනීසියානු නගරය සියවස් කීපයක පටන් කලාකරුවන් තමන් වෙතට ආකර්ෂණය කර ගැනීමට සමත් වුණා. මුල් කාලයේදී ප්‍රදේශයේ ජනතාවගේ ආගමික කේන්ද්‍රස්ථානයක්ව පැවති මෙම නගරයටම ආවේණික සුදු හා නිල් භාවිතා කරමින් වර්ණ සංයෝජනයක් ප්‍රංශ ජාතික කලාකරුවෙකු විසින් යෝජනා කරනු ලැබුවා. ඒ මගින් නගරයට ඇති කරනු ලැබූ අලංකාරය පිළිබඳව ලොව පුරා  කතාබහක් ඇති කිරීමට සමත් වුණා.

 

4. සොසුස්ව්ලෙයි (Sossusvlei)

නැමීබියාවේ පිහිටා ඇති නමීබ් කාන්තාරයේ දකුණුදිග තීරයේ පිහිටා ඇති මෙම වැලිකන්ද අද වන විට ලෝකයේ ප්‍රකට සංචාරක ආකර්ෂණයක් බවට පත්ව තිබෙනවා. බටහිර ක්‍රියාදාම චිත්‍රපටිවල දර්ශන පසුතලයක් විදියට එය භාවිතා කිරීම ඊට හේතුවක්. මෙම ස්ථානයේ දර්ශනයක් දුටුවිට කාන්තාරයක පවා සුන්දරත්වයෙන් පිරිපුන් ස්ථාන හමුවන බව ඔබට වැටහෙනු නොඅනුමානයි.

 

5. ජෙන් (Djenne)

මෙම නගරයේ ඉතිහාසය තුන්වැනි ශත වර්ෂය දක්වා දිවයන බව කියවනවා. සහරාව හරහා වැටුණු වෙළඳ මාර්ග වල කේන්ද්‍රස්ථානයක් බවට පත් වූ මෙම නගරය අප්‍රිකානු වෙළඳුන් සහ විදේශීය වෙළඳුන් එක් කරන මධ්‍යස්ථානයක් බවට පත්වුණා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මැටියෙන් තනන ලද ගඩොල් වලින් සහ සම්පූර්ණයෙන්ම මැටියෙන් සකසන ලද දේශීය නිවාස රැසක් තවමත් සංරක්ෂණයව පැවතීමයි. වර්තමානයේදී පැරණි නගරයේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා කරගනිමින් නව නගරයක් ඉදිකොට තිබෙනවා.

 

6. ටේබල් මවුන්ටන් (Table Mountain)

අද වන විට කේබල් කාර් මගින් මෙම කඳු මුදුන දක්වාම යෑමට සංචාරකයන්ට අවස්ථාව ලැබුණත් අතීතයේ දී එය මහත් දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබුණා. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරය මේ කඳු පාමුල පිහිටා තිබෙන අතර ලෝක ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් ඇසින්දුටු නිහඬ සාක්කිකරුවකු බවට  මේ ගිරිශිඛරය පත්ව තිබෙන්නේ නිරායාසයෙන්මයි.

 

7. මලාවි විල (Lake Malawi)

මලාවි, මොසැම්බික් සහ ටැන්සානියා යන රටවල ජනතාවගේ  ජන ජීවිතය සමග මලාවි විලට ඇත්තේ අවියෝජනීය බැඳීමක්. පිරිසිදු ජලය, පරිසර දූෂණයෙන් ආකූල නොවු විල් තීරය සහ ඒ වටා ඇති ගිරි ශිඛර නිසා අපූරු සුන්දරත්වයක්  පරිසරයට එකතු කරනු ලබනවා. මෙම විල ගවේෂණය කිරීමට පැමිණි ඩේවිඩ් ලිවින්ග්ස්ටෝන් (වික්ටෝරියා ඇල්ල ගවේෂණය කළ පළමු යුරෝපීයයා) මෙම විල නම් කරන ලද්දේ  තාරකා පිරි විල (Lake of Stars ) ලෙසයි. රාත්‍රී කාලයේ මේ විලේ මසුන් මැරීමට යන බෝට්ටු වල දැල්වෙන ලාම්පු වලින් ඇති කරනු ලබන  චමත්කාර දර්ශනය මීට හේතු වූ බව ඔහු පවසා තිබෙනවා.

 

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන්  ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *