සුන්දර මතක ඉතිරි කරන විදෙස් රටවල පාලම් 7ක්

පාලම් ඉතිහාසය ගැන කියද්දි ලංකාවේ ඉතිහාසයෙත් අනගි පාලම් නිම වෙලා තියෙනවා. බෝගොඩ පාලම තවමත් හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. ඒ වගේම අනුරාධපුර ගල් පාලම, ගිරිඋල්ල ප්‍රදේශයේ තිබෙන ගල් පාලම වගේ ගල්පාලම් ඇසුරෙන් පාලම් වල ඉතිහාසය රජකාලේ දක්වා යන බවක් අපිට සිතාගන්නට පුළුවන්. අද අපේ ලිපිය ලංකාවේ පාලම් ගැන නම් නෙමෙයි, විවිධ කාරණා නිසා ලොව ජනප්‍රිය වූ පාලම් කිහිපයක් ගැනයි අද අපි තොරතුරු කියන්නේ.

 

1. අරෝකා පාලම (Arouca Bridge) – පෘතුගාලය

පෘතුගාලයේ අරෝකා පාලම ලෝකයේ දැනට තියෙන එල්ලෙන පාලම් අතරින් දිගම එක. ඒක මීටර 516ක් දිගයි. වතුර මට්ටමේ ඉඳන් මීටර 175ක උසින් තමයි මේ පාලම පිහිටලා තියෙන්නේ. පායිවා නදිය උඩින් දිවෙන මේ පාලම මගීන් වෙනුවෙන්, සංචාරකයින් වෙනුවෙන්ම හැදූ එකක්. මෙය සාමාන්‍ය එල්ලෙන පාලම් වගේම දෙපසින් තිබෙන මහා වේදිකා දෙකකින් බර දරාගෙන ඉන්නවා. මේ පාලමේ යන මගීන්ට ආරක්ෂාවට මෙය හොඳට වටේට කම්බි දැල් වලින් ආවරණය කරලත් තිබෙනවා. උස සහ පාලමේ දිග එක්ක පාලමේ යද්දි සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් ලැබෙනවා.

 

2. රිටිම්මන් පාලම (Ritymmen Bridge) ඉන්දියාව

මේ රිටිම්මන් පාලම මුල් වලින් හැදුණු ලොව තිබෙන ලොකුම සජීවී පාලම වෙනවා. මේ මුල් වලින් හැදුණු පාලම මීටර 30ක් දිගයි. වතුර පාරේ ඉඳලා මීටර 13ක් උඩින් මේ පාලම තියෙන්නේ ඊසානදිග ඉන්දියාවේ නොන්තිම්මයි පළාතේ. මේ පාලම තියෙන පළාතට වසරකට අඟල් 463ක මහා වර්ෂාපතනයක් ලැබෙනවා. එය මේ විදිහට පාලමක් හැදෙන්න ලොකු උදව්වක් වෙනවා. මේ පාලම කොපමණ ශක්තිමත්ද කියනවා නම් මෙයට එකවර මිනිස්සු තිහකගේ බර දරාගන්නට පුළුවන්.

 

3. ඉන්කාවරුන්ගේ ලණු පාලම් – පීරූ රට

ඇන්දීස් කඳු ශිඛරවල ජීවත් වුණු මිනිස්සුන්ට ගංගා හරහා එහෙ මෙහෙ යන්නට පාලම් උවමනා වුණා. ආදි කාලේ යාන වාහන වලින් ගමන බිමන තිබුණේ නැතිවීම සහ තිබුණත් මේ කඳු පළාත් වලට වාහන එන්න බැරිවීම හේතුවෙන් අතින් අඹරන ලද ලණුවලින් ඒ පළාතේ ජනතාව පාලම් හදා ගත්තා. මේ පාලම් වසරින් වසර ඔවුන් උත්සවාකාරයෙන් අලුත්වැඩියා කරනවා. මෙලෙස ලණු වලින් ඉදිකරන පාලම් අතර Q’eswachaka පාලම වඩාත් ජනප්‍රිය වෙලා තියෙනවා.

 

4. රාකොට්ස්බෘකර් පාලම (Rakotzbrücke Bridge) – ජර්මනිය

මෙය ජල තලාවක් මත රවුමට හැදුණු සුන්දර පාලමක්. මේ පාලම හදන්න 1860 කාලයේදී පළාතේ නයිට් තුමාට අදෘෂ්‍යමාන බලවේග වල සහාය ලැබුණු බවක් විශ්වාස කරනවා. එම නිසාම එය යක්ෂයාගේ පාලම කියලත් හඳුන්වනවා. මේ පාලම දැන් නම් ආරක්ෂිත ස්මාරකයක් විදිහට නම් කරපු නිසා මේක උඩින් මිනිස්සුන්ට යන්නට දෙන්නේ නැහැ. දැනට මෙයට අලුත්වැඩියා කටයුතු කරමින් තිබුණත් නැගෙනහිර ජර්මනියේ තිබෙන මේ පාලම බලන්නට ඒ පළාතට යන ඕනා කෙනෙක්ට පුළුවන්.

 

5. ලන්ඩනයේ රෝල් වෙන පාලම (The Rolling Bridge)

අකුලන පාලම් දැන් නම් දකින්නට අඩුයි. එක්තරා යුගයක නාවුක ගමනාගමනය සිදුවන ඇලමාර්ග සහ ජලතලා උඩින් මේ විදිහට අකුලන පාලම් තිබුණා. යටින් විශාල යාත්‍රා ගමන් කරන විට පාලම ඔසවා ගත්තා. මේ ආකාරයට රෝල් කරලා අකුලාගන්නා කදිම පාලමක් ලන්ඩනයේ තිබෙනවා. එය අවශ්‍ය විටෙක එක් පසෙකට සම්පූර්ණයෙන්ම අකුලලා තියන්නට පුළුවන්. 2004 වර්ෂයේ විවෘත කළ මෙය ඉංග්‍රීසි ජාතික නිර්මාණ ශිල්පී තෝමස් හීතර්වික් විසින් නිර්මාණය කෙරුණා.

 

6. වෙබ් පාලම (Webb Bridge) මෙල්බර්න්, ඔස්ට්‍රේලියාව

මේ වෙබ් පාලම මීටර 110ක් දිගයි. යේල් නදිය උඩ පිහිටලා තිබෙන මේ පාලම පළාතේ මූලික සංචාරක ස්මාරකයක්. මෙය කෙලින් අතට ගංගාවක් හරහා ඉදිවූ පාලමක් නෙමෙයි. මෙය පසෙකින් බැලූ විට ඇදෙන නයෙක් වගේ ඇද ගැසූ එකක්. යේල් නදියේ සුන්දරත්වය, එහි ඇති යාත්‍රා සහ නගරය බැලීමට එන අයට මෙය හොඳ සුන්දර දසුන් මවන තැනක්. මේ ස්ථානයට සමාන්තර වෙනත් පාලම් තිබුණත් මගීන් සඳහා ඉදිකර තිබෙන මේ පාලම බලන්නට වටින ලස්සන තැනක්.

 

7. ගෝල්ඩන් ගේට් පාලම (Golden Gate Bridge) – සැන් ෆ්‍රැන්සිස්කෝ

සුවිශාල කණු මතින් සවිමත්ව තිබෙන මේ ගෝල්ඩන් ගේට් පාලම නම් මාසෙකට මිලියන තුනක විතර වාහන එහෙ මෙහෙ යන සුවිශාල පාලමක්. යාබද කඳුවැටිය සහ ගං ඉවුරෛ් සිට බලන කල මේ පාලම මගින් ඇතිකරන දර්ශනය මනරම් එකක්. එය බලන්නට වසරකට මිලියන 10ක පමණ සංචාරකයින් පිරිසක් මේ පෙදෙස කරා ඇදී එනවා. මේ පාලමේ ඉදිකිරිම් කටයුතු සහ ඉතිහාසය ගැන තොරතුරු ගන්න තොරතුරු මධ්‍යස්ථානයකුත් මේ පාලමට යාබදව පිහිටලා තියෙනවා.

 

එගොඩත් මෙගොඩත් ගම් යා කරලා පාලම සාදා ඔබ මා වෙත එනතුරු බලාසිටි ආකාරය ගැන පුන්සිරි සොයිසා සින්දුවකින් කියනවා. කොහොම වුණත් පාලම් කියද්දි හුදෙක් ඒවා ගමනාගමන මගී අවශ්‍යතා සපුරාලනවා පමණක් නෙමෙයි, අමුතු සුන්දරත්වයකුත් ගේනවා. ඉතින් ඒ වගේ පාලම් කිහිපයක් ගැන තමයි අද විස්තරය ගෙන ආවේ. ඔයාලගේ යාළුවොත් මේ ගැන දැනුවත් කරගන්න මේ පෝස්ටුව ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *