එක එක රසින් වයින් හදමු… වයින් රෙසිපි 2 කොටස

කලින් ආටිකල් එකෙන් අපි ගෙනාවෙ බේසික් වයින් රෙසිපීස් ටිකක්. එතනින් ටිකක් එහාට ගිහිල්ලා වයින් හදන්න පුළුවන් විදි ටිකක් ගැනයි අද කියන්න යන්නෙ. වයින් හදන එක එච්චර අමාරු නෑ. ඒ වගේම ස්වයං රැකියාවක් විදියට පටන් ගන්නවනම් සෑහෙන්න ලාභ තියනවා. මේ රස වලිනුත් වයින් හදලා බලන්න එහෙනම්.

 

1. මින්ට් වයින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වතුර ලීටර් 1.5
  2. මිංචි කොළ කෝප්ප 2 
  3. සීනි කෝප්ප 1 1/2
  4. යීස්ට් තේ හැඳි 1
  5. වියළි මිදි ටිකක් 
  6. පිරිසිදු කරගත් ලීටර් 2 හිස් බෝතලයක්
  7. බැලුම් බෝලයක්
  8. ෆිල්ටර් පේපර්ස් 

 

  • වතුර ලිපේ තියලා උතුරුවා ගන්න. මද උණුසුම් වතුර මේස හැඳි 3කට යීස්ට් දිය කර වෙනම තබන්න. 
  • උතුරුවා ගත් වතුරට මිංචි කොළ හා වියළි මිදි එක් කර පිරිසිදු ලී හැන්දකින් මිංචි කොළ යන්තම් පොඩි කරමින් කලවම් කරන්න. 
  • ඒක හොඳින් වහලා විනාඩි 30 ක් විතර තියන්න. ඊළඟට ඒක පෙරා මින්ට් කොළ හා මිදි ඉවත් කර ගන්න. සීනි එක් කර දිය කරන්න. ඒක හොඳින් නිවෙන්න තියන්න.
  • නිවුනායින් පස්සෙ යීස්ට් එක් කරන්න. දැන් ඒක බෝතලයට දාන්න. ඇතුළත හොඳින් සෝදා ගත් බැලුම් බෝලය බෝතලයේ කටට සවි කර රබර් බෑන්ඩ් එකකින් සවි කරන්න. 
  • අඳුරු තැනක හොලවන්නෙ නැතුව තියන්න. දින කිහිපයක් යද්දී බැලුම් බෝලය පිම්බිලා එයි. සති 2ක් විතර ගියාට පස්සේ බැලුම් බෝලය හොඳට පිම්බිලා නැවත පිම්බුණු ගතිය අඩු වෙනවා. බැලුමේ පිම්බුණ ගතිය අඩු වුණාම ෆිල්ටර් පේපර්ස් හෝ මස්ලින් රෙදි කඩකින් පෙරලා බෝතල් කර ගන්න. 

 

 

2. පැෂන් ෆෘට් වයින් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හොඳින් ඉදුණු පැෂන් ෆෘට් මදය ඇට සහිතව ග්‍රෑම් 500
  2. සීනි ග්‍රෑම් 375
  3. උතුරුවා නිවා ගත් වතුර ලීටර් 1 1/2
  4. යීස්ට් තේ හැඳි 1

 

  • පැෂන් ෆෘට්, සීනි, උතුරුවා නිවා ගත් වතුර, යීස්ට් මේ සියල්ලම හොඳින් මික්ස් කරලා ජීවාණුහරණය කරගත් බෝතලයකට දාලා, සිනිඳු රෙදි කඩකින් කට වහලා අඳුරු තැනක දින 20 ක් තියන්න. 
  • දවසකට සැරයක් ලී මිටකින් හොඳින් කූරු ගාලා නැවත කට වහලා තියන්න. දින 20කට පසුව ඒක පෙරා ගෙන සතියක් නොසොල්වා තියාගන්න. 
  • සතියකින් නැවත සිනිඳු රෙදි කඩකින් පෙරා ගන්න. එහෙම පෙරා ගත් වයින් නැවත ෆිල්ටර් පේපර්ස් වලින් හෝ පුනීලයකට පුළුන් හිර කරලා වරකට බිංදුව බැඟින් වැටෙන විදියට පෙරාගන්න. 

 

3. වරකා වයින් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වරකා කිලෝ 1 1/2
  2. සීනි කිලෝ 1 1/2
  3. උතුරුවා නිවා ගත් වතුර ලීටර් 3
  4. කුරුඳු පොතු කැබැල්ලක් 
  5. යීස්ට් තේ හැඳි 1
  • භාජනයක් ලිපේ තියලා ඒකට වතුර දාන්න. දැන් ඒකට පොඩියට කපා ගත් වරකා එක් කරන්න. ඒකටම සීනි සහ කුරුඳු කෑල්ල දාලා ලී හැන්දකින් හොඳින් කලවම් කරන්න.  
  • මේක 15 ක් විතර රත්වෙන්න වෙන්න තියන්න. ඊළඟට පැය 12ක් විතර වහලා තියන්න. පැය 12කින් මේකට යීස්ට් එකතු කරලා ලී හැන්දකින් හොඳට කලවම් කරන්න. 
  • ජීවාණුහරණය කළ බෝතලයකට දාලා සිනිඳු රෙදි කඩකින් කට වහලා අඳුරු තැනක දින 8ක් තියන්න. 
  • ඊළඟට ෆිල්ටර් පේපර්ස් වලින් හෝ පුනීලයකට පුළුන් හිර කරලා වරකට බිංදුව බැඟින් වැටෙන විදියට පෙරාගන්න. 

 

4. මිල්ක් වයින් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඇල්කොහොල් බෝතල් 1/2
  2. කිරි කෝප්ප 1/2
  3. සීනි ග්‍රෑම් 125
  4. දොඩම් ලෙලි තේ හැඳි 1
  5. දෙහි ලෙලි තේ හැඳි 1
  6. දෙහි යුෂ ටිකක් 
  7. කරදමුංගු ඇට 4
  8. කුරුඳු පොතු කෑලි කිහිපයක් 
  9. වසාවාසි පොතු කිහිපයක් 
  10. සාදික්කා 
  11. කරාබු නැටි 

 

  • සාදික්කා, කරාබු නැටි, කරදමුංගු හා වසාවාසි කුඩු කර ගන්න. ඒ ටිකත් එක්කම දොඩම් ලෙලි, දෙහි ලෙලි  ස​හඇල්කොහොල් බෝතලයකට දාලා දින 3ක් විතර තියන්න. ඒ බෝතල​ය දිනපතා සොලවන්න. 
  • තුන් වන දිනය අවසානයේ දී මේක වෙන භාජනයකට දාලා ඒකට සීනි එකතු කර ලී හැන්දකින් හොඳින් කලවම් කරන්න. 
  • සීනි මේස හැඳි 2ක් පෑන් එකකට දාලා කරපාට වේගෙන එනකොට වතුර මේස හැඳි 1ක් දාලා කැරමල් එක හදාගන්න.
  • කිරි ලිපේ තියලා උණු කර ගන්න. ඒකටම දෙහි යුෂ ද එක් කරන්න. කිරි මිශ්‍රණය සිසිල් වෙන්න තියලා ඒකට කලින් සදා ගත් කැරමල් දාලා හොඳින් කලවම් කරන්න. 
  • මේකට ලිකර් මිශ්‍රණයත් දාලා හොඳට කලවම් කරලා ෆිල්ටර් පේපර්ස් හෝ පූනීලයකට පුළුන් දාලා බිංදුව බැඟින් පෙරාගන්න. 

 

5. අඹ වයින් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඉදුණු අඹ කිලෝ 1
  2. යීස්ට් තේ හැඳි 1
  3. සීනි ග්‍රෑම් 175
  4. වතුර මිලි ලීටර් 500

 

 

  • අඹ හොඳින් පිරිසිදු කර පොඩියට කෑලි කපා ගන්න. ඒකට වතුර ටිකක් දාලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඊළඟට ඒකට සීනි එක් කරන්න. 
  • දැන් වෙනම ලා රස්නෙ වතුර ටිකකට යීස්ට් දාලා කලවම් කරන්න. ඒක ටික වේලාවක් ඇක්ටිව් වෙන්න තියා ගන්න. ජීවාණුහරණය කර බෝතලයකට කලින් සාදා ගත් අඹ මික්ස් එක දා ගන්න. ඊළඟට ඒකට යීස්ට් මිශ්‍රණය ද එක් කරන්න. සදා ගත් මිශ්‍රණය හොඳට සොලවන්න. සිනිඳු රෙදි කඩකින් කට හොඳට වහලා අඳුරු තැනක දින 7 ක් තියන්න. 
  • 7 වෙනි දිනයෙදි උඩට බුබුළු මතුවෙනවා දකින්න පුළුවන්. දැන් මෙය ෆිල්ටර් පේපර්ස් වලින් හෝ පුනීලයකට පුළුන් හිර කරලා වරකට බිංදුව බැඟින් වැටෙන විදියට පෙරාගෙන ජීවාණුහරණය කළ බෝතල් වල අසුරගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *