කුඩා ළමයින්ට තවමත් එන්නත්කරණය අනිවාර්යය ඇයි?

කොවිඩ් පැතිරීමත් සමග එන්නත් මුලින්ම ලබාගත් රටවල් දැන් නිවී හැනහිල්ලේ තමුන්ගේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යයි. තවමත් එන්නත් ලබාගැනීම හරිහැටි කරගන්නට බැරි වූ රටවල කොවිඩ් හැම අස්සක් මුල්ලකම පැතිරී රෝගීන් ඉස්පිරිතාලවල පිරී ඉතිරෙමින් පවතී. ඒ අනුව එන්නත්කරණය යනු කෙතරම් වැදගත් දෙයක්ද යන්න මෙකල වාසය කරන ජනයාට අමුතුවෙන් කියා දෙන්නට උවමනා නැත. එහෙත් කුඩා දරුවන්ට ලබාදෙන එන්නත් ගැන යම් පිරිස් අතර සැක සංකා තිබේ. ඒ කුඩා දරුවන්ට දෙන එන්නත් ගැන අපි විස්තර ටිකක් බලමු.

 

1. සරම්ප එන්නත

සරම්ප එන්නත කුඩා කලදී අපිට ලබාදෙන එන්නතකි. එන්නත එන්නට ප්‍රථමයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වසරකට මිලියන දෙකකට පමණ සරම්ප වැළඳී ඇත. එයින් 500ක් පමණ මිය පරලොව ගොස් ඇති අතර රෝහල්ගතවීම් 48,000ක් පමණ වාර්තා වී ඇත. එන්නත්කරණය තිබියදීත් 2013 වර්ෂයේදී ලංකාවේ සරම්ප රෝගීන් 4079ක් වාර්තා වී තිබුණි. 2017 වර්ෂයේදී පමණක් සරම්ප වලින් ලොව පුරා 111,000ක් පමණ මිය පරලොව ගොස් ඇතැයි සැළකේ.

 

2. දරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය

ඇතැම් ලොව දියුණු රටවල දෙමාපියන් පවා දරුවන්ට මේ එන්නත්කරණය නිසා අනවශ්‍ය ලෙඩ වැළඳේ යැයි බිය පළ කරති. යම් ආකාරයේ සුළු රෝගී තත්ත්වයක් ඇති වුවත් එය උත්සන්න වන්නේ ඉතාම කලාතුරකිනි. මවගෙන් ලැබෙන ප්‍රතිශක්තිය වසරක කාලයක් පවතින මුත් ඉන් අනතුරුව දරුවන්ට පහසුවෙන් ගලපටලය, කක්කල්කැස්ස, සරම්ප ආදී බෝවන රෝග වැළඳීමේ හැකියාව ඇත. එම නිසා කුඩාකලදී නිසි කලට එන්නත්කරණය කරගැනීම අවදානමක් නොව අමතර ආරක්ෂාවක් වේ.

 

3. එන්නතේ කාර්යයභාරය

දැනට කොරෝනා පැතිරීමත් සමග එන්නත් වල කාර්යභාරය මැනවින් සමාජයට පෙනේ. එන්නත්කරණය හොඳින්ම කළ ඊශ්‍රායලය වැනි රටවල ද ඉඳහිට රෝගීන් වාර්තා වුවත් රෝහල්ගතවීම් සෑහෙන තරමකින් අඩු වී තිබේ. ඒ ආකාරයට එන්නත තුළින් සිරුරේ ප්‍රතිදේහ වෛරසයට එරෙහි සංඝටක නිපදවු පසු නැවත එම වෛරසය සිරුරට ජීවිත කාලය පුරාවටම ඇතුළත් වීමේ ඉඩ අහුරාලනු ලබයි. මේ අනිවාර්ය එන්නත්කරණය නොතිබුණේ නම් බෝවන රෝග අප වැනි දුප්පත් රටවලට මෙන්ම දියුණු රටවලටද මීට වඩා දරුණුවට පැතිර යනු ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ සරම්ප එන්නත එන්නට ප්‍රථමයෙන් 1963 දී මරණ 5300ක් සිදුවිය. එහෙත් 2012 දී සරම්ප මරණ වාර්තා වී තිබුණේ 450ක් පමණි.

 

 

4. එන්නත් තිබුණත් රෝගය තියෙන්නේ ඇයි?

කොරෝනා එන්නත් මෙන්ම මේ කුඩාකලදී අපිට ලබාදෙන එන්නත්ද සියයට සියයක්ම සාර්ථක වන්නේ නැත. එයින් සාර්ථක වන්නේ 85%-95% අතර ප්‍රමාණයකි. එබැවින් කුමන සමාජයක වුවද ඒ පිරිස අතර රෝගය බෝවීමේ සහ උත්සන්න වීමේ අවදානමක් සුළුවට තිබේ. එන්නත්කරණය වැඩි වීමත් සමගම වාර්තාවෙන බොහෝ රෝගීන් එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින් වේ. ලෝක මට්ටමින්, ජාති මට්ටමින් ගත් කළ ජනගහණය වර්ධනයත් සමගම රෝග වැළඳෙන පිරිසේ ඉලක්කම් ලොකුවට පෙනේ. එහෙත් එන්නත් වලින් ලැබෙන ආරක්ෂාව නොමැති වී නම් තත්ත්වය ඊට වඩා බොහෝ සවුත්තු වීමට ඉඩ තිබේ.

 

5. ඖෂධ ජාවාරම්කාරයන්ගේ ගේමක්ද?

එන්නත් ගැන කියද්දි එන්නත් නිපදවන සාමගම් විසින් මේ වෛරස ආදිය පතුරවන බවත්, ඉන් පසු මේ එන්නත් එවන බවටත් ප්‍රකට මතකයත් පවතී. කොරෝනා සම්බන්ධයෙන්ද එවැනි විකල්ප මත තිබේ. කෙසේ වෙතත් ලොව එන්නත්කරණය යනු හුදෙක් එක් සමාගමක් දෙකක් හෝ රටක් එකතු වී කරන දෙයක් නොව සාමූහික ප්‍රයත්නයකි. ඒ අනුව ලංකාවටද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, ඇමරිකාවෙන්, ඉන්දියාවෙන් සහ චීනයෙන් නොමිලේම එන්නත් ලැබුණි. 2013 වර්ෂයේ එන්නත් වල ලෝක වටිනාකම ඩොලර් බිලියන 24ක් වුවත් සමස්ථ ඖෂධ වටිනාකම අනුව එම ප්‍රමාණය 3%ක් තරම් අඩු අගයකි. කෙසේ වෙතත් එන්නත් පිණිස ආයෝජනය කරන මුදල රෝග ඇතිවී ඒවා මැඩපවත්වන්නට වියදම් වන මිල හා සැළකූ කල කුඩා ප්‍රමාණයකි.

 

6. අපේ රටේ තාම තුරන් වෙලා නැද්ද?

අප කුඩා කාලයේ අපිට ලැබුණු එන්නත් අපේ දරුවන්ටද ලබාදෙන්නට වූ කල අපිට නිතැතින්ම මේ ලෙඩ තාම තියෙනවාද යන බිය ඇතිවේ. ජපානය වරක් මෙසේ සිතා එන්නත්කරණය නවත්වන්නට ගොස් රෝගීන් වැඩි වී ඔවුන්ට ලොකු අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදුවිය. නූතන ගෝලීයකරණ වටපිටාව තුළ රටකින් රටකට සංක්‍රමණය වීම ලොකු දෙයක් නොවේ. ලංකාවේ අය බොහොමයක් මැදපෙරදිග සහ විදෙස් රටවල සේවය කරති. ඒ රටවල සේවය කරන වෙනත් අප්‍රිකානු ජාතිකයින්ද සිටිති. අපට එන්නත් ලැබුණත් ඔවුන්ට එන්නත් නොලැබී තිබුනොත් එයින් අවදානමට ලක් වන්නේ අපේ ජීවිතම වේ. ඒ නිසා දශක ගණනාවක් එන්නත්කරණය අපේ රටේ සිදුවුවත් ලෝකයෙන්ම රෝග නිල වශයෙන් ඉවත් වනතෙක් අපේ දරුවන් එන්නත් කිරීමෙන් වැළකිය නොහැකිය.

 

 

7. මිත්‍යා මත සහ එන්නත්

එන්නත්කරණය සමගම ඒ හා සබැඳි විවිධ මිත්‍යාමත සහ ආගමික මත කරළියට ඒ. කුඩා දරුවන් එන්නත්කරණය ගැනද ඇතැම් ආගමික කණ්ඩායම් තුළ විරෝධයක් තිබේ. එහෙත් දත්ත අනුව බුද්ධිමත්ව සළකා බැලූ කල එලොව ජීවිත කෙසේ වුවත් මෙලොව ජීවිතය ලෙඩ අඩුවෙන් ගෙවන්නට එන්නත් වලින් ලැබෙන සහාය සුළුපටු එකක් නොවේ. එන්නත් යනු බටහිර කුමන්ත්‍රණය, එන්නත් දීලා මොකටද? ඒ කාලේ අපේ මුත්තලාට එන්නත් දුන්නද? ආදී විවිධ මතවාද සිත් දරාගෙන දරුවන්ට එන්නත් නොදී සිටීම දෙමාපිය වගකීම් පැහැර හැරීමකි.

 

 

ආර්ථිකමය අතින් දරුණු පසුබෑමක් තිබුණත් කුමන කාලයේදීත් රට පවතින තැනට වඩා අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉදිරියෙන් පවතී. ඒ නිසාම අපේ දරුවන්ට නොමිලේම මේ එන්නත් ලබාගන්නට පහසුවද ලැබී තිබේ. ඉතින් රජයෙන් උදාකර ඇති මේ මහඟු අවස්ථාව අනුව නිසි කලට දරුවන් එන්නත් කරගෙන රෝග අවදානමෙන් මිදීම දෙමාපියන් දරුවා වෙනුවෙන්, රට වෙනුවෙන් කරන මහත් මෙහෙයකි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *