පරම්පරාවෙන්ම පොත් ලියන අපේ ලේඛක ලේඛිකාවන්

කලාව කියන දෙය ලේ උරුමයක් විදියට ඇතැම් අවස්ථාවල පරම්පරාවෙන් පරම්පරාවට හෝ එකම පරම්පරාවේ සමීප ඥාතීන් අතර සංසරණය වෙනවා. රංගන ක්ෂේත්‍රයේ මේ තත්ත්වය බහුල වශයෙන් දකින්නට ලැබෙනවා. නමුත් මේ තත්ත්වය රංගන ක්ෂේත්‍රයට පමණක් සීමා වන දෙයක් නෙමෙයි. අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ ලේ උරුමයෙන් ග්‍රන්ථකරණයට දායක වුණ කීප දෙනෙක් පිළිබඳවයි.

 

1. රත්න ශ්‍රී විජේසිංහ සහ සම්මානි විජේසිංහ

රත්න ශ්‍රී විජේසිංහ ගැන අපේ පාඨකයන්ට හඳුන්වා දෙන්න අටුවාටීකා අවශ්‍ය වෙනවා කියලා අපි හිතන්නේ නැහැ. අපේ රටේ විශිෂ්ටතම ගේය පද රචකයන්ගේ ලැයිස්තුවේ මුදුන් මල්කඩක් විදිහට රත්න ශ්‍රී විජේසිංහව හඳුන්වන්න පුළුවන්. එතුමාගේ දියණිය වන සම්මානි විජේසිංහ තම පියාගේ අඩි පාරේ යමින් මේ වන විට ග්‍රන්ථ කීපයක් නිකුත් කොට තිබෙනවා. ඇය වැඩි වශයෙන් ළමා කතන්දර සහ ගී සින්දු හරහා කුඩා පාඨකයන්ව චමත්කාරයෙන් පිරි ලෝකයකට ගෙන යනු ලබනවා.

 

2. පද්මිණී සෙනෙවිරත්න සහ සුමුදු නිරාගි සෙනෙවිරත්න

පද්මිණී සෙනවිරත්න මහත්මිය ලේඛිකාවක් විදිහට ජනප්‍රිය වන්නේ එතුමියගේ සැඳෑ සමයේදී වීම එක්තරා විදිහකට කණගාටුවට කාරණයක්. ඓතිහාසික නවකතා වෙනස්ම සන්දර්භයකින් පාඨකයාට සමීප කිරීමට ඇය සමත් වුණා. ඇගේ දියණිය වන සුමුදු නිරාගී සෙනවිරත්න ක්ෂේත්‍රය තුළ අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණේ “දුල්වල අලංකාරේ” කෘතිය සම්මානයට පාත්‍ර වීමත් සමඟයි.

 

2. ජේ. බී දිසානායක සහ මධුභාෂිණී රත්නායක

මහාචාර්ය ජේ. බී දිසානායක කියන්නේ පසුගිය දශක කීපය තුළ අපේ රටේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණු සිංහල මහාචාර්යවරයා විදිහට හඳුන්වා දුන්නොත් වූ වරදක් නැහැ. එතුමාගේ බිරිඳ වන කුසුම් දිසානායක මැතිණියත් සම්මානනීය ලේඛිකාවක්. එම දෙපළගේ දියණිය වන මධුභාෂිණී රත්නායක, පරිවර්තිකාවක් විදිහට සාහිත්‍ය ක්ෂේත්‍රයට තම දායකත්වය ලබා දෙමින් ඉන්නවා.

 

4.  අර්නස්ට් වඩුගේ සහ මධාරා වඩුගේ

අර්නස්ට් වඩුගේ කියන්නේ අපේ රටේ ඉන්න ප්‍රමුඛතම සිනමා කලා මාධ්‍යවේදියෙක්. නවකතාකරුවෙක් විදිහටත් එතුමා පාඨක ප්‍රජාව අතර ජනප්‍රිය වුණා. සිය පියා අනුව යමින් පුවත්පත් ක්ෂේත්‍රයට පිවිසුණු මධාරා වඩුගේ පුවත්පත් කලාවේදිනියක් සහ නවකතාකාරියක් විදිහට තමන්ගේ ජනප්‍රියත්වයෙන් පියාවත් අභිබවන්න සමත් වුණා කිව්වොත් වරදක් නැහැ. කෙසේ නමුත් මේ දෙදෙනාගේම ජනප්‍රියත්වය අභිබවා යෑමට මදාරා වඩුගේගේ සැමියා වන සුජීව ප්‍රසන්නාරච්චි සමත් වූ බව නොකියාම බෑ.

 

5. උපුල් ශාන්ත සන්නස්ගල සහ පන්සිළු සන්නස්ගල

උපුල් ශාන්ත සන්නස්ගල මේ වන විට සමාජ මාධ්‍ය තුළ අතිශයින් ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබෙනවා. එතුමා උපකාරක පංති ගුරුවරයෙක් ලෙස ලබා තිබූ ජනප්‍රියත්වයේම දිගුවක් විදිහට මෙය සළකන්න පුළුවන්. ගීත රචකයෙක්, සිනමා නිර්මාණ කරුවෙක් සහ නවකතාකරුවෙකු විදිහට එතුමා විවිධ ක්ෂේත්‍ර වල නොමැකෙන නමක් සටහන් කිරීමට සමත් වුණා. ඔහුගේ පුතු වන පන්සිළු සන්නස්ගල ග්‍රන්ථ රචනාවට පිවිසුණේ චේ ගුවේරා පිළිබඳව කෘතියක් රචනා කරමින්.

 

6. මාර්ටින් වික්‍රමසිංහගේ දරුවන්

මාර්ටින් වික්‍රමසිංහගේ දරුවන් අතරින් ලේඛනය සඳහා ප්‍රධාන වශයෙන් යොමු වුණේ දෙදෙනෙක් පමණයි. ඉන් රූපා සපරමාදු මහත්මිය “දහම පහුරකි, බව තරණය සඳහා” නම් කෘතිය රචනා කරමින් සිය පියාගේ ආන්දෝලනාත්මක කෘතියක් වන බවතරණය සඳහා යම් සාධාරණයක් ඉෂ්ඨ කිරීමට උත්සාහ කරනු ලැබුවා. එසේම රංග වික්‍රමසිංහ මහතා කලියුගය නවකතාව ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම සඳහා සමදායකත්වය සැපයීමට කටයුතු කළා.

 

7. ඒ. ඩී රන්ජිත් කුමාර සහ නුවන් නයනජිත් කුමාර

සිනමා ජනමාධ්‍යවේදියෙකු වන ඒ. ඩී රන්ජිත් කුමාර එය හුදු රැකියාවක් නොව සිය ජීවිතයෙම කොටසක් කර ගනු ලැබුවා. එතුමා විසින් ලියනු ලැබූ සිනමා ලිපි ප්‍රමාණය සහ නිකුත් කරන ලද ග්‍රන්ථ ප්‍රමාණය ඊට සාක්කි දරනු ලබනවා. එතුමාගේ පුත්‍රයා වන නුවන් නයනජිත් කුමාර සිනමා ඉතිහාසය සහ සිනමා පෞර්ෂ පිළිබඳව අධ්‍යයනය කරමින් අති දැවැන්ත පර්යේෂණ සිදුකොට, සුවිශාල කෘති නිකුත් කොට තිබෙනවා.

 

 

මේ ලිපියට අපි ඇතුළත් කරනු ලැබුවේ ලේඛනයට යොමුවුණු පවුල් කීපයක් පිළිබඳව තොරතුරු පමණයි. ඔබ දන්නා මෙවැනි පවුල් පිළිබඳව කමෙන්ට් එකකින් සඳහන් කරන ගමන් මේ ආටිකල් එක අනිත් අයටත් කියවන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.