මිලින වෙලා ගියපු ආදරේ ආයෙමත් මල්ඵල ගන්වන්නේ මෙහෙමයි

දැන් අපි හැමෝම ජීවිතේ එක පාරක් හරි ලව් කරල ඇතිනේ. ඔතනින් සිතින් විතරක් පෙම් කරන්නන් සීන් එහෙම අතාරිමුකෝ. ට්‍රයි කරලා හුටස් වෙච්ච එව්වත් අතාරිමුකෝ. එතනින් එහාට අමාරුවෙන් කට්ට කාලා පස්සෙන් ගිහින් ගිහින්, ඉස්සරහින් ගිහින් යාළු කරගෙන නියම විදියට ප්‍රේම සම්බන්ධයක් විදියට පටන් ගත්තු එව්වා හිතමුකෝ. දැන් පටන් ගත්තු ගමන් ඉතින් ප්‍රේම විලේ කිමිදෙමින්, සිහින ලෝකේ පියාඹමින්, එළිවෙනකල් මල් කඩමින්, දවල් වරුවෙම හීන දකිමින් වැඩේ නැගලා යනවනේ. හැබැයි ඔහොම ටික කාලයක් යනකොට ඔය ආදරේ පටන් ගත්තු අළුත තියෙන ෆුල් ෆ්‍රෙෂ් ගතිය පොඩ්ඩ පොඩ්ඩ බහින්න පටන් ගන්නවා. අර මතක් වුණත් කිචි කැවෙන ගතිය, බඩේ සමනල්ලු පියාඹන ගතිය එහෙම අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා නැති වෙනවා. දැන් එතකොට සම්බන්ධේ නතර වෙනවද? ෆුල් සීරියස් එකේ, සමහර වෙලාවට කසාද බඳිනවාමයි කියලා පටන් ගන්න ලව් සම්බන්ධතා එහෙම නවතින්නෙ නෑ. හැබැයි ඉතින් ඔහොම පතෝල වගේ පුරුද්දට වගේ ලව් එකක් ගලාගෙන ගිහිල්ලා ඇති වැඩකුත් නෑ. 

 

දැන් එතකොට මොකද කරන්නේ? සම්බන්ධේ නවත්තනවද? කොහෙත්ම නෑ. ලව් එකේ ෆ්‍රෙෂ් ගතිය අඩු වෙලා, පටන් ගත්තු කාලේ තිබුණු කික් එක නැතිවුණත්, ලව් එක ආයෙමත් දළු දාලා වැඩෙන්න, ආයෙමත් කික් එකකින් දුවන්න, දෙන්නට ආයෙමත් පණට පණ වගේ ආදරෙන් ඉන්න පුළුවන් හැඟීමක් ඇති කරවන්න කරන්න පුළුවන් වැඩ තියෙනවා. නෑ නෑ ඔය කල්ලු මලයාලි ගුරුකං නෙවෙයි. සරල පියවර කීපයකින් වැඩේ ගොඩදාගන්න පුළුවන්! 

 

1. වෙන වෙන එව්වා

මේක ඉතින් පළවෙනිම කාරණාව. ටික කාලයක් ලව් එක ඔහේ යනකොට වෙන වෙන සයිඩ් ප්‍රොජෙක්ට්ස් වලට, සයිඩ් එකෙන් ඉඳන් හිනැහෙන නංගිලාට අයියලාට එහෙමත් හිත යන්න පටන් ගන්නවා. එව්වා ඉතින් කරන්ඩ දෙයක් නෑ. අපි කවුරුත් මිනිස්සුනේ. ඒවා නිකම්ම සෙක්ස් කරලා ඉවර වෙන හදිසි ආකර්ෂණ නම්, ඒත් ලව් එක නැතිවෙන්න හේතුවක් වෙන්නෙ නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ සයිඩ් කාර්, ස්පෙයාර් වීල් එක්ක ලව් හුටපට පටන් ගන්නකොට තමයි. එතකොට ආයෙත් අර අලුත් සීන් එකක තියෙන ෆ්‍රෙෂ් ගතිය එහෙම දැනෙන්න පටන් ගන්නවා. එතකොට කොහොමත් පරණ එක ගතියක් නෑ වගේ දැනෙනවා.

 

දැන් ආයෙමත් අර පරණ ලව් එක පණගන්වා ගන්න නම්, මූලිකවම තීරණය කරන්න ඕන තමන්ට ඕන මොනවද කියලා. පරණ එක තියාගන්න ඕන නම් අළුත් මගුල් වහාම අයින් කරන්න ඕන. සයිඩ් එකෙන් ඉඟි බිඟි වත් තියාගන්න බෑ.

 

2. හොඳ ආවර්ජනයක්

දෙවෙනියට කරන්න ඕන දේ තමයි, තමන්ගේ තියෙන ලව් එක සම්බන්ධයෙන් මුළු හිතින්ම හිතන්න පටන් ගන්න එක. ඒ කියන්නේ, එයාව මුලින්ම දැක්කහම මොනවද හිතුණේ, එයා එක්ක යාළුවෙන්න ආසාවක් ආවේ ඇයි, එයාව යාළුකරගන්න දඟලනකොට තිබුණු හැඟීම්, එයා කැමතියි කිව්ව දවසේ දැනුණු හැඟීම වගේ දේවල් ආයෙමත් පොඩ්ඩක් මතක් කරගන්න බලන්න. එයාට අපි ගොඩක් කැමති වෙන්න හේතු වුණු කරුණු මොනවද කියන එක එහෙමත් පොඩ්ඩක් මතක් කරගන්න ට්‍රයි කරන්න. දෙන්නගේ ලව් එකේ රස මුසු තැන් ආයෙමත් ආයෙමත් ආවර්ජනය කරලා බලන්න.

 

3. ප්‍රමුඛතා සකස් කරගමු

ඇත්තටම ගොඩක් වෙලාවට ඔය ප්‍රේම සම්බන්ධතා එහෙම පරණ වෙන්න හේතුවත් අපිම තමයි. ඒ කියන්නේ අපි බිසී වීම, ප්‍රමුඛතාවයන් හරියට හසුරුවා ගන්න බැරි වීම වගේ දේවල් නිසා අපි ලව් කරන පාට්නර්ට දෙන්නේ අඩු ප්‍රමුඛතාවයක්. ඇයි ඉතින් දැන් ඒක සෙට් කරගෙන ඉවරයිනේ. අන්න ඔය මානසිකත්වය තමයි ගොඩක් දෙනෙක් තමන්ගේ පෙම්වතාට හරි පෙම්වතියට හරි අඩු ප්‍රමුඛත්වයක් දෙන හේතුව. හරියට විභාගේ ඉවරවුණාට පස්සේ පාඩම් කරන්නෙ කවුද කියලා ඇහුවා වගේ. හැබැයි එහෙම හරියන්නෙ නෑ ලව් එක ගොඩගන්න නම්. ප්‍රමුඛතාවයන් හරියට හදාගන්න ඕන.

 

ඇත්තටම අපි අතින් මිස් වෙන්නේ මහා ලොකු දේවල් නෙවෙයි. උදාහරණයක් විදියට කිවුවොත්, වැඩ කර කර ඉන්නකොට මෙසේජ් එකක් දාන එක, වොයිස් නෝට් එකක් දාන එක, ඔෆිස් ආවහම සෙල්ෆියක් ගහලා ලව් එකට යවන එක මහලොකු වැඩක් නෙවෙයිනේ. හැබැයි ඒ වගේ විනාඩියක් යන්නෙ නැති වැඩ වලින් අපි කියනවා අපිට තාම ලව් එක අමතක නැති බව. එයා අපේ ප්‍රමුඛතාවයක් බව.

 

4. දෙන්නගේ විතරක් සතිඅන්තයක්

ඇත්තටම මේ වගේ දෙන්නත් එක්ක යන සුන්දර, රොමාන්තික, සමහරවිට සරාගික සති අන්තයන් ලව් එකේ නිවිලා තියෙන ගිනිදැල් ආයෙමත් පත්තු කරගන්න සෑහෙන්න උපකාරී වෙනවා. හැබැයි එකක් මතක තියාගන්න ඕන. මෙහෙම වීකෙන්ඩ් එකක් ගත කරන්න යනවා නම්, ඒ වීක්එන්ඩ් එක තමන් දෙදෙනා වෙනුවෙන් විතරක් තියෙන්න ඕන. වෙනත් විදියකට කියනවා නම්, සම්පූර්ණයෙන්ම වැඩ වලින්, ඔෆිස් වලින්, ගෙදර ප්‍රශ්න වලින්, යාළුවන්ගෙ කතන්දර වලින් ඈත් වෙන්න ඕන. තවත් සරල කරලා කියනවා නම් පිට ලෝකයත් එක්ක සම්බන්ධකම් නැතුව අපේම අපේම අපේ ලෝකයක තනිවෙන්න පුළුවන් වෙන්න ඕන.

 

මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඔෆිස් එකේ වැඩ හරි ස්ටඩීස් හරි කොන් තියන්නෙ නැතුව ඉවර කරල දානවා. ඔෆිස් එකේ මොකක් හරි හදිසියක් වුණොත්, තමන් වෙනුවට කවර් කරන්න කෙනෙකුත් ලැහැස්ති කරනවා. ඊට පස්සේ කෝල් කරලා අපි ගැන හොයල බලන ගෙදර මිනිස්සු, ලඟම යාළු මිත්‍රයෝ ඇතුළු හැමෝමව දැනුවත් කරනවා කෝල් කරලා වාත වෙන්න එපා, ප්‍රශ්නයක් නම් මෙසේජ් එකක් දාන්න කියලා. ඊට පස්සෙ තියෙන්නෙ ඉතින් ෆෝන් සයිලන්ට් දාලා, බාහිර ලෝකයෙන් වෙන් වෙලා, දෙන්නත් එක්ක, දෙන්නගේ ලෝකේ මිහිර විඳින්න තමයි! මේක සංචාරයක් එක්ක එකතුවුණු අවුටින් එකක් කරගත්තොත් වඩාත් රස වැඩියි.

 

5. එකට කරන්න පුළුවන් දේවල්

ලව් එකේ රස්නේ නිවිලා ගිහින් තියෙන වෙලාවේ ඒක ආයෙමත් පණ ගහලා, නග්ගලා ගන්න නම්, දෙන්නත් එක්ක අර්ථාන්විතව කාලය ගත කරන්න දේකුත් හොයාගන්න වෙනවා. විශේෂයෙන්ම ඒක කාලසටහනකට වගේ හැම සතියකම හෝ හැමදාම හෝ මෙන්න මෙදා මේ වෙලාවට සිද්ධ වෙනවා වගේ සීන් එකක් තියෙනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම, ඒක දෙන්නටම එන්ජෝයි කරන්න පුලුවන්, දෙන්නම ආස දේකුත් වෙන්න ඕන. ඇත්තටම හිතලා බැලුවොත්, එහෙම කපල් එකක දෙන්නටම රස විඳින්නත්, එකටම නියැලෙන්නත් පුළුවන් දේවල් කොයි තරම් තියෙනවද? ඕන නම් දෙන්නටම එක ජිම් එකකට ජොයින් වෙලා, දෙන්නත් එක්ක වර්ක් අවුට් කරන්න පුළුවන්. දෙන්නට සයිකල් ක්ලබ් එකකට ජොයින් වෙන්න පුළුවන්. දෙන්නටම එකට ගෙවතු වගාවක් පටන් ගන්න පුළුවන්. දෙන්නටම එකට සෝෂල් ඩාන්සින් ක්ලාස් එකකට සෙට් වෙන්න පුළුවන්. දෙන්නත් එක්කම පුණ්‍යාධාර වැඩ එහෙම කරන්න පුළුවන්. මේ වගේ, දෙන්නටම නිරන්තරයෙන් එකට වැඩ කරන්න පුළුවන්, දෙන්නම ආස කරන, දෙන්නටම එකට කරන්න පුළුවන් දේවල් හොයාගන්න එක ලව් එක ආයෙ පණගන්වා ගන්න වැදගත්.

 

6. දැනෙන කතාබහ

නිකමට හිතලා බලන්න අපි යාළු වුණු අලුත කොයි තරම් කතා කරන්න ඇද්ද කියලා. ආයෙ ඉතින් රෑ පටන් ගත්තහම සමහර විට එළිවෙනකලුත් මල් කඩපු අවස්ථා තියෙනවනේ. ඇත්තටම මෙතනදී මල් කඩනවා කිව්වහම “අපි දෙන්නා අර කන්ද මුදුනේ පැලක් අටෝගෙන ජීවත් වෙමු” ලෙවල් එකේ සූකිරි කතා විතරක් නෙවෙයිනේ ෂෙයාර් වෙන්නේ. තමන්ගේ ජීවිතේ අතීත සිද්ධි, පවුලේ විත්ති, ආස දේවල්, ආස නැති දේවල්, තමන්ගේ හීන, ජීවිතේ කියන්නේ මොකද්ද වගේ එකී මෙකී නොකී සෑහෙන්න කතා සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ලව් එක නිකම්ම පුරුද්දට යනකොට මේ කතා නැතිවෙනවා.

 

අන්න ඒ නිසා, ආයෙමත් මේ කතා කිරීම කියන එක පොඩ්ඩක් උඩට ගන්න. දෙන්නත් එක්ක ආයෙමත් පොඩ්ඩ පොඩ්ඩ මල් කඩන්න පටන් ගන්න. ඒක මුලින් හිතලම කරන්න, එතකොට පහු වෙනකොට ඒක නිකම්ම සිද්ධ වෙන්න පටන් ගන්නවා.

 

7. සෙක්ස් ලයිෆ් එකේ වෙනසක්

මේක ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක්නේ.  කපල් එකක් අතරේ ලව් එක ඈලියාවට යනවා වගේ දැනෙනවා නම්, ඒ කියන්නේ සෙක්ස් ලයිෆ් එකත් බෝරින් වෙලා කියන එක තමයි. ගොඩක් වෙලාවට සෙක්ස් කියලා දෙයක් නොකෙරෙන තරම් වෙන්න පුළුවන්. ඇත්තටම එහෙම වෙන්න දෙන්න එපා. දෙන්නත් එක්ක සෙක්ස් ගැන කතා කරන්න. හම්බුණහම කරන්න ආස දේවල් බෙදාහදාගන්න. තමන්ගේ ෆැන්ටසීස් කියන්න. වෙනස් විදියේ සෙක්ස් ඇක්ට් කරන්න බය නොවෙන්න. කොටින්ම සෙක්ස් ලයිෆ් එක ෆුල් රොක් කරලා ගන්න!

 

8. අලුතෙන් යාළු කපල් එකක්

තමන් දෙන්නා අතරේ ආදරේ පරණ වෙනවා කියලා දැනෙනවා නම් ඇත්තටම ඔය උඩ තියෙන හැම දෙයක්ම කරන්න පුලුවන්. ඒ එක්කම, තමන් දෙන්නගේ සමාගමයට තව හිතවත් කපල් එකකුත් එකතු කරගන්න. ඒ කියන්නේ එතකොට කපල් දෙකට එකට ට්‍රිප්ස් යන්න පුළුවන්. කපල් දෙකට එකට ලන්ච් අවුට්, ඩිනර් අවුට් වලට යන්න පුළුවන්. ඇත්තටම කපල් දෙකට ඩබල් ඩේට් වලට පවා යන්න පුළුවන්. ආන්න එහෙම තව කපල් එකක් තමන්ගේ ජීවිතේට එකතුවෙනකොට, දෙන්නා අතරේ වෙනමම විදියට සම්බන්ධතාවය තීව්‍ර වෙනවා කියලා දැනෙන්න ගනී. ආන්න ඒක තමයි වෙන්න ඕනැත්.

 

දැන් ඔව්වා කරලත් සම්බන්ධේ යන්නේ මෙලෝ රහක් නැතිව නම්? එහෙමනම් එතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. එක්කෝ දෙන්නගේ ගැලපීමේ හරි අදහස් වල හරි අරමුණු වල හරි අවුලක් තියෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් වෙනත්ම ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. එහෙම තත්වයකදී දෙන්නත් එක්කම උපදේශන සේවයක එහෙම පිහිට පැතුවට කමක් නෑ. එහෙම කරලත් වැඩේ ගොඩදාගන්නම බැරි නම්, දෙන්නගේම සුභසිද්ධිය ගැන හිතලා දෙන්නා සුහද සිතින් වෙන් වෙලා දෙන්නගේ වෙන් වෙන් පාරවල් වල යන්න තමයි තියෙන්නේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *