මෑත කාලීන සිංහල සාහිත්‍යය පෝෂණය කරන ලේඛිකාවන් හත් දෙනෙක් – 2 කොටස

අපි මීට කලින් මෑත කාලීන සිංහල සාහිත්‍යය පෝෂණය කරන ලේඛිකාවන් හත් දෙනෙක් ගැන කතා කළා ඔයාට මතක ඇති. ඉතින් අපි හිතුවා අදත් ඒ වගේ විශිෂ්ට ලේඛිකාවන් හත් දෙනෙක් ගැන කතා කරන්න… 

මෑත කාලීන සිංහල සාහිත්‍යය පෝෂණය කරන ලේඛිකාවන් හත් දෙනෙක්

 

1. ශාන්ති දිසානායක 

ශාන්ති දිසානායක කියන්නේ පොත් කියවන අයට නම් නුහුරු නමක් නෙමෙයි. ඇගේ හැම කෘතියකම වගේ වියලි කලාපයේ දුෂ්කර ජීවිතය අපූරුවට ගළපලා තියෙනවා. “ගිරිකුල”, “හැන්දෑව”, “වරාමල්”, “අග්නි,සංග්‍රාමය”, “ගිරිදේවි”, “වාලුකා” වගේ ගොඩක් පොත් වල ඇය දුප්පත්කම, පරිසරයේ දුෂ්කර බව එක්ක දුක් විඳින මිනිස්සුන්ගේ ජීවිත වල අපිවත් කොටස්කාරයෙක් කරවනවා. ඒ වගේම ඇගේ නවකතා වලින් තනපු ටෙලිනාට්‍යත් අතිශය ජනාදරයට පත් වෙනවා. මෑතකදි ආපු “මහපොළොව”, “ගිරිදේවි” සහ “සකර්ම” ටෙලිනාට්‍ය ඒකට හොඳම උදාහරණ. 

 

2. ප්‍රියංකා අමරතුංග 

ප්‍රියංකා අමරතුංග කියන්නෙත් මෑත කාලයේ අතිශය ජනප්‍රිය කතුවරියක්. “තුල්‍ය රූප”, “තිත්ත මල්”, “කිරි මදුවැල්”, “නිසල ගංදෑල”, “මට අහිමි මම”, “කුමාරිහාමි” වගේ කෘති ඇගේ ලේඛන දිවියේ ජනප්‍රියත්වයට කදිම නිදසුන්. ඒ වගේම ඇගේ නවතම නවකතාවක් වුණු “ඉතින් ආයුබෝවන්” කියන පොත පසුගිය වසරේ ප්‍රකාශයට පත් වුණා. ඇගේ පොත්වල තියෙන සරළ සුගම භාෂා රටාව වගේම ඉහළ පරිසර වර්ණනාවන් නිසා ඇගේ පොත් කියවන හැමෝම ඒ පොත් වල කතාවේ අතරමං වෙනවා.

 

3. දර්ශනා ශම්මි විජේතිලක

“අසනඟ වැසි” තරම් මෑත කාලයේ කියවපු හැමෝගෙම හිත්වල ජීවත් වුණු පොතක් නම් හිතන්නත් අමාරුයි. ඒ තරම් ඒ පොත අපේ හිත්වල ජීවමානයි. ඉතින් මේ ඒ ආදරණීය කෘතියේ කතුවරිය. අසනඟ වැසි විතරක් නෙමෙයි, ඇය ලියූ “නික්ම නොයන්නෙමි”, “වනස්පතිනි”, “නිසල දියවත”, “මන්දාරම් උයන” වගේ තවත් ආදරණීය පොත් කියවපු හැමෝගෙම හිත් අතරේ ඇය ජීවත් වෙනවා. ඒ වගේම ඇය සම්මාන සහ ඇගයුම් රැසකුත් ලබාගන්න සමත්ව තිබෙනවා.

 

4. කැත්ලීන් ජයවර්ධන 

කැත්ලීන් ජයවර්ධන මහත්මියත් අසු අනූ දශක වල ඉඳල මේ වෙනකන්ම නවකතා සාහිත්‍යය විතරක් නෙමෙයි, කෙටිකතා සාහිත්‍යත් තම නිර්මාණ වලින් පෝෂණය කරනවා. “බලන් කඩතුරා හැර දෑසෙන්” ආරම්භ කරපු ලේඛන දිවිය මෑතකදී ආ “ඉවුරු ගඟ සිඳී ගිය දා” දක්වා දිව ගියා. ඒ වගේම “සත්‍යකාම”, “තඹරවිල”, “අකාල යාත්‍රා”, “මහසෙන්”, “සංතර්පණය” වගේ කෘතීන් ඇගේ දක්ෂතාවයට කදිම නිදසුන්… 

 

5. සේපාලි මායාදුන්නේ 

සේපාලි මායාදුන්නේ කියන්නෙත් අපේ රටේ ඉන්න තවත් විශිෂ්ට ලේඛිකාවක්. ඇගේ පන්හිඳෙන් ලියවුණු කෘතීන් රැසක් ඇගයීමට පාත්‍ර වුණා. ඇය ලියූ “මහාසාමි” කෘතිය ගෙවුණු දශකයේ ලියවුණු විශිෂ්ටතම කෘතිය විදියටත් සමහර විචාරකයන් හඳුන්වනවා. ඒ වගේම ඇය මෑතකදී රචනා කරපු “හින් දොස් මාලේ” කෘතියත් පාඨකයන් රැසක් ආදරයෙන් වැළඳගත්තා. ඒ වගේම “දෙබෙදුම”, “අස්මිමාන”, “හත් අඩියට වින කළ යකු” වගේ නවකතා කෘතීන් වගේම “සෙල්ලම් කාලේ” වගේ යොවුන් නවකතා තුළින්ද ඇය පාඨකයාට සමීප වුණා. කතාවට අදාළ ප්‍රාදේශීය බස් වහර විශිෂ්ට ලෙස පාවිච්චි කරන්නටත් ඇය සමත් වුණා… 

 

6. මොනිකා පුෂ්පකුමාරි

 

මොනිකා පුෂ්පකුමාරි කියන්නෙත් වර්තමානයේ ඉන්න අද්භූත, ත්‍රාසජනක ප්‍රේම කතා රචනා කරන විශිෂ්ට ලේඛිකාවක්. ඇගේ ඒ වෙනස්ම ලිවීමේ ශෛලිය නිසා ඇය වටා එක්වූ විශාල පාඨක පිරිසක් ඉන්නවා. “අවසන් මරණය”, “විහාර වලව්ව”, “කිරල ඉවුර”, “පලංවිය”, “පරදත්ත”, “කොහොඹ ඇල්ල” වගේ ඇගේ කෘතීන් අතිශය ජනාදරයට පත් වුණා. ඇගේ නවතම කෘතිය වුණු “සන්ත්‍රාසත්” පසුගිය මාසයේ ප්‍රකාශයට පත් වුණා.

 

7. චන්දි කොඩිකාර

චන්දි කොඩිකාර කියන්නේ තරුණ ජීවිත ගැන, තරුණ සිතුවිලි ,හැඟීම් ගැන බොහොම ලස්සනට ලියන ලේඛිකාවක්. ඇය ලියන්නේ ගොඩාක් සරළ ආදර කතා වුණත් ඒවා බොළඳ නොවන සැබෑ කතා. සම්මානනීය නොවුණත් අපි හැමෝටම ඒ පොත් වලින් ගන්න ගොඩක් දේවල් තියෙනවා. “පිච්ච මල් බිසව්”, “දුරම දුරයි ඔබ ළඟම ළඟයි”, “රන්දෝලි”, “මුතු මුවදොර” වගේ කෘතීන් හරහා ඇය අතිශය ජනාදරයට පත් වුණා.

 

ඉතින් අද අපි කතා කළේ මෑත කාලීන සිංහල සාහිත්‍යය පෝෂණය කරන ලේඛිකාවන් හත් දෙනෙක් ගැන. අපි හැමදාම කියනවා වගේ ලංකාවේ ඉන්න මේ විශිෂ්ට ලේඛිකාවන් ගණන හත් දෙනෙකුට සීමා කරන්න බැහැ. ඉතින් අපි ආයේත් දවසක මේ වගේ විශිෂ්ට ලේඛිකාවන් හත් දෙනෙක් ගැන කතාකරමු… 

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *