අසිරිමත් රුවන්වැලිසෑයේ වගතු​ග

රුවන්වැලි මහා සෑය කියල කියන්නෙ අනුරාධපුර මහා විහාරයට අයත් ප්‍රධානම දාගැබ වගේම අටමස්ථානයන්ට අයත් ප්‍රධානම දාගැබ විදිහට හැඳින්වෙන ශාරීරික දාගැබක්. ශ්‍රී ලංකාවේ ජීවත්වෙන බෞද්ධ ජනතාව ඉතාමත් භක්තියෙන් වන්දනා කරන මේ දාගැබ ස්වර්ණමාලි මහා චෛත්‍යය වගේම තවත් විවිධ නම් වලිනුත් හැඳින්වෙනවා. බොහෝම අනුහස් ඇති ස්ථානයක් විදිහට සැළකෙන මේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීම සිදුකළේ දුටුගැමුණු රජතුමාගේ අනුශාසනා මත කියන එක අපි හැමෝම දන්න කාරණාවක්නේ. ඒ වගේම තමයි රුවන්වැලි මහාසෑය කියල කියන්නෙ දැනට ලෝකයේ බුදුන්වහන්සේගේ ධාතූන් වැඩිම ප්‍රමාණයක් එකම ස්ථානයක නිධන් කරල තියෙන එකම තැන. මේ කියන්නෙ රුවන්වැලි මහාසෑය ගැනම අපි වැඩිය අහල නැති රසවත් කතන්දර කිහිපයක්. බෞද්ධයින් වන්දනාමාන කරන පුරාවිද්‍යාත්මක ස්ථාන ගැන, ඒවාගේ ඉතිහාස කතන්දර ගැන උනන්දුවක් දක්වන හුඟ දෙනෙකුට මේක වැදගත් ලිපියක් වේවි.

 

1. සෑය පිළිබඳ අනාවැකිය

අපි කවුරුත් දන්නවනේ මහාසෑය එහෙමත් නැත්තම් රුවන්වැලිසෑය නිර්මාණය කෙරෙන්නේ දුටුගැමුණු මහා රජතුමාගේ මූලිකත්වයෙන් කියලා. දුටුගැමුණු රජතුමා මුළු ලක් දිවයිනම එක්සේසත් කරමින් රජකමට පත්වීමේදී මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. “මාගේ මේ ව්‍යායාමය රජ සැප විඳීම පිණිස නොව ගෞතම බුදු සසුනේ චිරස්තිථීය පිණිස ම වන්නේය”. ඒ කිව්වත් වගේම බුදු සසුනට විශාල සේවයක් කරපු රජකෙනෙක් තමයි දුටුගැමුණු රජතුමා. හැබැයි මහා සෑය ඇතුළුව අනුරාධපුර රාජධානියේ ඉදිවුන බෞද්ධ ඉදිකිරීම් හුඟකට මූලිකම හේතුව වෙන්නෙ රජුගේ මේ කැමැත්ත විතරක්ම නෙමෙයි.

බුදුසසුන ලක් දිවයිනට අරගෙන ආපු මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට වදාරන ලද අනාවැකියක් දුටුගැමුණු රජතුමාට රජමාළිගාවේ රන් කරඬුවක තැන්පත් කර තිබූ රන්පතක තිබිලා කියවන්න ලැබෙනවා. ඒ අනාවැකියෙන් කියවෙන්නෙ දේවානම්පියතිස්ස රජතුමාගේ මුණුබුරකු මුළු ලංකාවම එක්සේසත් කරමින් රජකමට පත්වෙලා තෙරුවන් කෙරෙහි ඉමහත් ශ්‍රද්ධාවෙන් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දිව්‍ය සැපසම්පත් පිරුණු නව මහල් ප්‍රාසාදයක් සහ සර්වඥධාතුන් වහන්සේලා නිධන් කර විශාල දාගැබක් ඉදිකරන බවයි. මේ අනාවැකිය දැකලා ප්‍රීතියෙන් ඉපිලීගිය දුටුගැමුණු රජු ඒ කිව්ව විදිහටම දිව්‍ය සැපසම්පත් සහිතව නිම කෙරුණු ලෝවාමහාප්‍රසාදය භික්ෂූන් වෙනුවෙන් පූජා කරලා බුද්ධ පූජා පැවැත්වූවාට පස්සේ පූජා නගරයේ සක්මන් කරමින් ඉන්නකොට පෙර කියූ අනාවැකිය පරිදිම මෙම ස්ථානයේ මහාසෑයක් ඉදිකෙරන බවට අනාවැකියක් සහිත ශිලා ස්ථම්භයක් රජුගේ ඇස ගැටෙනවා. මේ සියළු අනාවැකි සත්‍යයක් කරමින් තමයි රුවන්වැලි මහාසෑය ඉදිවෙන්නේ.

 

2. දෙවියන්ගේ අනුග්‍රහය

මහාසෑය ඉදිකරන බවට තීරණය කරපු දුටුගැමුණු මහරජතුමා තනිව කල්පනා කරනවා මේ උතුම් කර්තව්‍යය ජනතාවට බදු බර පටවන්නේ නැතුව සිදුකරන්නේ කොහොමද කියල. ඒ සිතුවිල්ල දැකලා ප්‍රීතියට පත් දෙව්ලොව දෙවිවරුන් මේ කාර්යයට උපකාර කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට සදෙව් ලොවට අධිපති මහා සක්‍ර දේවේන්ද්‍රයන්ගේ අණ පරිදි විශ්වකර්ම දිව්‍යපුත්‍රයා ගම්භීර කියන නදිය අසල සෑයට අවශ්‍ය ගඩොල් මැවීම සිදු කරනවා. ඒ වගේම ආචාරවීටි කියන ගමේ අඟලේ සිට වියතක් දක්වා ප්‍රමාණ වලින් විශාල රත්තරන් බිජු පහළවෙනවා. ඒ සියල්ලත් රජු විසින් සෑය වෙනුවෙන් වෙන් කරනවා. මහාසෑයට අවශ්‍ය තඹ සහ යකඩ පහලවෙන්නේ තඹවිට කියන ගම්මානයේ. සමන්වැව කියන ගමේ වැව ඉවුරක විශාල වශයෙන් මැණික් පහළ වෙනවා. අම්බට්ඨකෝල කියන ජනපදයේ ගල්ලෙනක රිදී පහල වෙනවා. උරුවේල කියන පටුන ආශ්‍රිතව විශාල මුතු සහ පබළු සොයාගන්න ලැබෙනවා. පෙලවැව් කියන ගමේ දිය කඳුරක තිබිලා දියබෙරලිය මල් පැහැ විශාල මැණික් ගල් හතරක් සොයාගැනෙනවා. මේ මහාසෑය වෙනුවෙන් ඉමහත් වූ කරුණාවෙන් දෙවියන් විසින් මවන ලද දේ බවට විශ්වාස කරන මහරජතුමා ඒ සියල්ලම සෑය වෙනුවෙන්ම වෙන් කරනවා. ඒ වගේම ඒවා පිළිබඳ තොරතුරු ගෙන ආ ගම්මුන්ටත් ඉතාම හොඳින් සළකනවා.

3. මහාසෑයේ නම

මහාසෑය ස්වර්ණමාලී චෛත්‍යය නමින් නම් කිරීමත් අපූරු සිදුවීමක්. කලින් කියපු ශිලා ස්ථම්භය පිහිටා ඇති ස්ථානයේ සෑය ඉදිකරන්න අවශ්‍ය පිරිසිදු කිරීම් සිදුකරන අවස්ථාවේ ඒ බිමෙහි පිහිටි රන්තෙලඹු ගසක වැඩසිටි ස්වර්ණමාලී නම් වූ දෙව්දුවක් තමාගේ දිව්‍ය විමානය පිහිටි ගස ඉවත් නොකරන්න කියල මහරහතන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා. මහරහතන් වහන්සේලා මේ උතුම් සෑයේ අනුභාවය ගැන ඇයට කරුණු පැහැදිලි කරලා වෙනත් විමානයකට සුදුසු ගසක් ඇයට පෙන්වා දෙනවා. ඒ තොරතුරු අසා සතුටුවුණු දේවතාවිය විමානයෙන් ඉවත් වෙන්න එකඟ වෙනවා සමඟම මේ ඉදිකරන සෑය තමාගේ නමින් නම්කරන ලෙස ඉල්ලීමකුත් සිදුකරනවා. ඒ බව රහතන් වහන්සේලා විසින් රජුට සැලකිරීමෙන් පස්සෙ තමයි සෑය මේ නමින් නම්වෙන්නේ.

 

4. ඉදිකිරීම ආරම්භ කිරීම

මහාසෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වෙන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක. භූමිය රියන් හයක් ගැඹුරට හාරා ඒ මත ගල් අතුරවා, ඇතුන් ලවා පාගවා ඒ මත වෙඬරු මැටි නම්වූ ඉතා සියුම් මැටි, කරගල්, කුරවින්ද පාෂාණ, සවිමත් යකඩ දැල්, බොරළු, රහත් සාමනේරයන් වහන්සේලා හිමාලයෙන් ගෙනෙන ලද පලිඟු මැණික්, ලෝහ තහඩු, රිදී තහඩු අතුරවා ඉතාම සවිමත් පාදමක් සකස් කෙරෙනවා. මේ සියල්ලෙන්ම පස්සේ අවසාන රිදී තහඩුව මත තමයි සෑයේ මුල්ගල තැබීම සිදුකෙරෙන්නේ. මේ උත්සවයට රහතුන් වහන්සේලාට වගේම මහජනයාටත් ආරාධනා කෙරෙනවා. මහා විහාර භූමියට ඇතුල්වෙන මඟ දෙපස අලංකාර කරලා නගරයට ඇතුලත්වෙන දොරටු හතරේ කරණවෑමියන්, සුදු ඇඳුම් සහ ප්‍රණීත ආහාරපාන තබනවා. ඒ උත්සවයට පැමිණෙන ජනයාට හිස කේ/ රැවුල් කපා, නා පිරිසිඳු වී, ඇඳ පැළඳගෙන, කුස පුරවාගෙන ඇතුල් වෙන්න.

ඉදිකිරීමේ කටයුතු වලට සහභාගීවෙන කිසිම කෙනෙකුගේ සේවය නොමිලේ ලබාගත යුතු නැතැයි කියන රජුගේ අණට අනුව සොලොස්ලක්ෂය බැගින් රන්කහවනු, වස්ත්‍රාභරණයන්, ප්‍රණීත වූ ආහාර පාන, සුවඳ විලවුන් වර්ගයන් යන සියල්ල සතර දොරටු අභියස තබා චෛත්‍ය නිර්මාණය කිරීමේ කටයුතුවල නියැලෙන සියළු දෙනාටම ගන්නට ඉඩ සලස්වා තිබෙනවා.

5. ධාතු ගර්භය

රුවන්වැලි මහාසෑයේ ධාතු ගර්භය නිර්මාණය කෙරෙන්නේ ප්‍රධාන නිර්මාණ ශිල්පියාගේ අදහසකට අනුව. ජලය පිරවූ පාත්‍රයක මතුපිටට තව ජලය ස්වල්පයක් ගැසූ කළ උඩට මතුවී එන දිය බුබුලක ආකාරයෙන් තමයි සෑයේ හැඩය නිර්මාණය වෙලා තියෙන්නෙ. මේ ධාතු ගර්භය ඇතුළේ රනින් නිමකළ බෝධි වෘක්ෂයක් තැන්පත් කරල තියෙනවා. බෝධීන් වහන්සේගේ නැගෙනහිර දිශාවෙන් රනින් කරවූ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරල තියෙනවා. ඒ පිළිමයට අවටින් විවිධ දෙවිවරුන්ගේ රූප නිර්මාණය කරලා ගර්භය මුදුනේ ආකාශයක ස්වරුපය දිස්වෙන්න හිරු, සඳු සහ තාරකා අන්දවා තිබෙනවා. ඒ වගේම බුද්ධ ඉතිහාසයේ විවිධ අවස්ථා නිරුපණය කෙරෙන චිත්‍ර ගර්භය පුරාව සිතුවම් කරලා තියෙනවා.

ඒ වගේම ගෞතම බුද්ධ ශාසනය පවතින තාක්කල් නොනිමී දැල්වෙන සුවඳ තෙල්පිරි පහන් මේ ගර්භය ඇතුළේ තිබෙන බවත් පැවසෙනවා. ගර්භයට ආලෝකය ලබාදෙන්න දහස් ගණනින් මැණික් වර්ගත් ගර්භය ඇතුළේ ගොඩගසා තිබෙන බව කියවෙනවා.

මේ ධාතු ගර්භයේ තැන්පත් කිරීමට ධාතු වැඩමවීමේ ක්‍රියාව පැවරෙන්නේ ෂඩ් අභිඥාලාභී සෝණුත්තර නම් රහතන් වහන්සේට. ඒ උන් වහන්සේ පෙර භවයකදී බුදුන් වහන්සේ ඉදිරිපිටදී කරපු ප්‍රාර්ථනාවක ප්‍රතිපලයක් විදිහට. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදු සිරුරේ ඉතිරිවන ද්‍රෝණ අටක්වූ ධාතුන් වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් ලංකාදීපයේ ඉදිකරන මහාසෑයේ තැන්පත්කිරීමටම වෙන්කෙරිලා රාම ග්‍රාමයෙහි කෝලිය රජුන් විසින් සත්කාර කරනු ලබනවා. ඉන්පස්සේ ඒ ධාතූන් වහන්සේලා නාගලොවට ලැබිලා නාරජුන් විසින් වන්දනා, පුද සත්කාර කිරීමෙන් පසුවයි ලංකාවට ලැබෙන්නේ. ධාතූන් වහන්සේලා තැන්පත් කරන මහා උත්සවයට පැමිණි දෙවිවරුන් සහ බ්‍රහ්මයන් දරා සිටින දිව්‍යමය ඡත්‍රයන් දැක අධික ප්‍රීතියට පත් දුටුගැමුණු රජු ධාතූන් සහිත රන් කරඬුව ගර්භය මධ්‍යයේ තැන්පත් කර ලංකාරාජය බුදුසසුන වෙනුවෙන් පරිත්‍යාග කරන බව ප්‍රකාශ කළ බව කියවෙනවා.

6. දුටුගැමුණු රජුගේ අභාවය

නමුත් අවාසනාවකට මේසා ක්‍රියාවක් ඉටුකළ දුටුගැමුණු රජතුමාට මහාසෑයේ වැඩකටයුතු මුළුමනින්ම අවසන් වෙනතුරු ජීවත්වෙන්න වාසනාව ලැබෙන්නේ නැහැ. රුවන්වැලි මහාසෑයේ හතරැස් කොත් දහය දක්වා පමණක් වැඩ අවසන් වෙලා තියෙද්දී වසර විසි හතරක් පුරා රජකම් කරපු දුටුගැමුණු රජතුමා දිවි ගමනින් සමුගන්නවා. මහාසෑයේ වැඩ අවසන් කරන්නේ ඔහුගේ සොහොයුරු සද්ධාතිස්ස රජුගේ පාලන සමයේ.

7. සෑය නැවත සොයාගැනීම

මේ විදිහට වැඩ නිමවුණු මහාසෑය දෙව් මිනිසුන්ගේ පුද පූජා ලබමින් දිගු කාලයක් වැජඹෙමින් තියෙනවා. විවිධ රජවරුන් යටතේ ප්‍රතිසංස්කරණයට ලක්වුණු රුවන්වැලි මහාසෑය පළමුවන පරාක්‍රමබාහු රජ සමයේ සිදුකෙරුණු ප්‍රතිසංස්කරණ වලින් පස්සේ ගරාවැටෙමින්, වල්වැදී තියෙනවා. 1873 වසරේදී ගම්පොල ඉඳලා අනුරාධපුරයට වැඩම කරපු නාරංවිට සුමනසාර කියන තරුණ ස්වාමින්වහන්සේ නමකගේ ඇස ගැටීමෙන් පස්සේ තමයි සෑය නැවත පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කෙරෙන්නේ. ඉතාම විශාල බාධක මධ්‍යයේ ලොකු කාලයක් තිස්සෙ පිළිසකර කෙරුණු මේ මහා සෑරදුන් වහන්සේ අද දවසේ අපි හැමෝටම වන්දනාමාන කරන්න ඉතාම විරාජමානව අනුරාධපුර පූජා නගරයේ වැඩ සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *