තිබහ නිවන, ගුණ ගෙන දෙන එළවළු ජූස් රෙසිපි

පළතුරු වලින් විතරක් ජූස් හදන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු අය ඔන්න බලන්න රස ගුණ සපිරි එළවළු ජූස් ටිකක් අද ගෙනල්ලා තියනවා. උයලා කනවට වඩා වැඩි ගුණයක් අපිට ලබාගන්න පුළුවන් මේ එළවළු ජූස් වලින්. හැමදාම උදේට මෙහෙම වෙනස් වෙනස් එළවළු වලින් ජූස් එකක් බොනවනම් ඇඟට සෑහෙන්න හොඳයි. එහෙනම් ට්‍රයි කරලා බලන්න.

තව පොඩි දෙයක්… ඕනව​ට වඩා ඕනම දෙයක් හොඳ නැහැ කියන නිසා මේ හැම ජූස් වර්ගයක්ම දිනපතා අධික මාත්‍රා වලින් නොගන්නත් වග බලාගන්න ඕනෙ ඔන්න. 

 

 

1. කැරට් ජූස්

විටමින් A,C, සහ K වලින් පරිපූර්ණ කැරට් ජූස් වල ප්‍රතිඔක්සිකාරකයක් විදියට ක්‍රියා කරන කැරටනොයිඩ් අඩංගුයි. මේ නිසා ප්‍රතිශක්තිකරණය ඉහළ නංවනවා වගේම අක්ෂි සෞඛ්‍ය, හෘද සෞඛ්‍යට ගොඩක් හිතකරයි. හැමෝම දන්න දෙයක්නෙ සමේ පැහැපත් බවට කැරට් යුෂ ප්‍රයෝජනවත් කියන එක. ඒ විතරක් නෙවෙයි, පිළිකා නසන ගුණයත්, රුධිරගත සීනි පාලන ගුණයත් කැරට් ජූස් වල තියෙනව. 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් කැරට් අල 2
  2. ඉඟුරු කෑල්ලක්
  3. දෙහි යුෂ ස්වල්පයක් 
  4. කරදමුංගු ඇට 2
  5. ලුණු

 

  • බ්ලෙන්ඩර් එකට කැරට්, ලුණු, ඉඟුරු හා කරදමුංගු දාලා වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න. 
  • දැන් මේක පෙරලා බොන්න. 

 

2. කැකිරි ජූස්

විටමින් K, පොටෑසියම්, මැග්නීසියම් අඩංගු කැකිරි වල වැඩියෙන්ම අඩංගු වෙන්නෙ ජලය. මේ නිසා ශරීරය විජලනයට ලක්වීම වළක්වනවා. කැලරි අඩු, ජලය වැඩි, ඉක්මණින් බඩ පුරවන දෙයක් නිසා බර අඩු කරගන්න හිතන අයට වඩාත් සුදුසු පානයක්. 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කැකිරි ගෙඩි 1
  2. සීනි රස අනුව
  3. ලුණු
  4. දෙහි යුෂ ස්වල්පයක් 

 

  • කැකිරි වල පොතු හා ඇට අයින් කරලා තරමක කෑලි කපාගන්න. 
  • මේක බ්ලෙන්ඩර් එකට දාලා සීනි හා රස අනුව ලුණු දාලා බ්ලෙන්ඩ් කරගන්න. පෙරලා දෙහි යුෂ දාලා බොන්න. 

 

 

3. බීට් ජූස්

පොටෑසිටම්, ෆෝලේට් සහ මැග්නීසියම් අඩංගු බීට් වල අධි රුධිර පීඩනය පාලනය කරන ගුණය නිසා හෘදයාබාධ ඇති වීම අවම කරනවා. අධිබර, හෘද රෝග, අක්මා රෝග වගේම පිළිකා සමග සටන් කරන ගුණයන්ගෙන් බීට් පරිපූර්ණයි. ආහාර ජීරණ ක්‍රියාවලියට වගේම මොළයේ සෞඛ්‍යයටත් බීට් ගුණදායකයි. 

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බීට් ගෙඩි 2
  2. සීනි රස අනුව
  3. ලුණු
  4. වතුර

 

  • බීට් පොඩියට කපාගන්න. මේක බ්ලෙන්ඩර් එකට දාලා සීනි හා ලුණු එකතු කරන්න. 
  • වතුර ටිකක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. පෙරලා දෙහි යුෂ දාලා බොන්න. 

 

 

4. කියුකම්බර් ජින්ජර් ජූස්

කැකිරි වගේම ජලයෙන් පරිපූර්ණ පිපිඤ්ඤා වලත් විටමින් K, පොටෑසියම් සහ මැග්නීසියම් අඩංගුයි. ශරීරය විජලනය නොවී හොඳින් පවත්වා ගැනීමට වගේම සමේ තෙතමනයටත් සම වියපත් වීම පමා කිරීමටත් පිපිඤ්ඤා ඉතාම ප්‍රයෝජනවත්.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඇට අයින් කර ගත් පිපිඤ්ඤා ගෙඩි 1
  2. ලුණු ස්වල්පයක් 
  3. සුද්දකරගත් ඉඟුරු කැබැල්ලක්

 

  • පිපිඤ්ඤා හා ඉඟුරු කෑල්ල හොඳට බ්ලෙන්ඩ් කරගන්න. කැමති නම් වතුර ටිකක් දාගන්න. 
  • පෙරලා රස අනුව ලුණු දාලා කලවම් කරලා බොන්න.

 

 

5. වට්ටක්කා ජූස් 

විටමින් A සහ විටමින් C වලින් අනූන වට්ටක්කා වල වැඩිපුරම තියෙන්නෙ ජලය. බීටා කැරොටීන් සහ කැරටනොයිඩ් අඩංගු වට්ටක්කා හෘද රෝග සහ පිළිකා සමග සටන් කරන ප්‍රතිඔක්සිකාරක වලින් සමන්විතයි. විටමින් A සහ C අඩංගු නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියටත් ඉතාම ගුණයි. 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් වට්ටක්කා කෝප්ප 1
  2. ලුණු
  3. මී පැණි මේස හැඳි 2

 

  • මේ සියල්ලම වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරලා පෙරලා බොන්න. 

 

 

6. තක්කාලි ජූස්

විටමින් A, C, K සහ ෆෝලේට් අඩංගු තක්කාලි ඇස් පෙනීමට සහ මාංශ පේශී වල සෞඛ්‍යට ඉතාම ගුණදායකයි. පිළිකා සමග සටන් වදින ප්‍රතිඔක්සිකාරක අඩංගුයි වගේම කොලෙස්ටරෝල් අධික පුද්ගලයන්ට හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරනවා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තක්කාලි ගෙඩි 2
  2. සීනි මේස හැඳි 1
  3. ලුණු 

 

  • තක්කාලි වල නටුව කොටස අයින් කරලා යටින් පොඩි කැපුමක් දාලා තම්බගන්න. ඊළඟට පොත්ත අයින් කරගන්න. 
  • මේ තම්බාගත් තක්කාලි ටික බ්ලෙන්ඩර් එකට දාල සීනි හා ලුණු දාලා වතුර ටිකක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දෙහි යුෂ දාලා බොන්න. 

 

 

7. බ්‍රොකොලි ජූස්

ෆෝලේට්, විටමින් K සහ C අඩංගු බ්‍රොකොලි සෛල සහ පටක වල සෞඛ්‍ය තත්ත්වය ඉතාම හොඳින් පවත්වාගන්න පුළුවන් ප්‍රතිඔක්සිකාරක වලින් පරිපූර්ණයි. පියයුරු, පුරස්ථි, ආමාෂගත සහ වකුගඩු පිළිකා වළකන ගුණයන් බ්‍රොකොලි වල තියෙනව කියලයි ඇතැම් පරීක්ෂණ පෙන්වා දෙන්නෙ. 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බ්‍රොකොලි කෝප්ප 1
  2. කපාගත් කොළ ඇපල් 1/2
  3. ලෙමන් යුෂ ටිකක්
  4. ලුණු

 

  • බ්ලෙන්ඩර් එකට බ්‍රොකොලි, ඇපල් හා ලෙමන් යුෂ දාලා බ්ලෙන්ඩ් කරගන්න.
  • මේකට රස අනුව ලුණු දාලා බොන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *