ලෝක​යේ විවිධ රටවල ජාතික ආහාර ගැන දැනගන්​න

ඔන්න හිතවතුනි හිතවතියනි, අපි කතා කරන්න යන්නේ අතිශයින්ම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි කෑම. හැබැයි අපි අද කතා කරන්න යන්නේ අපේ රටේ කෑම ගැන නම් නෙමෙයි. ලෝකය පුරා රටවල ජාතික ආහාර විදිහට සැළකෙන ආහාර වර්ග කීපයක් ගැන. සමහර වෙලාවට මේ ආටිකල් එක කියවද්දි අපේ රටේ ජාතික ආහාරය බත් නෙමේ පරිප්පු කියලා මතක් වෙලා ඔයාලට හිනා යන්නත් පුළුවන්. සමහරු කියන විදිහට අපේ ජාතික ආහාරය තණකොළ. ඒ ගැන කතා කරන්න ගියොත් උඩ බලාගෙන කෙළ ගහගන්නවා වගේ වැඩක් නිසා අපි ඉක්මනට ලෝකයේ ජාතික ආහාර ගැන හොයලා බලමු.

 

 

 

1. හැම්බර්ගර් (Hamburgers)

හැම්බර්ගර් කියන ආහාරයේ ආරම්භය ගැන විවිධ මතවාද තියෙනවා. හැබැයි ඉතින් මුළු ලෝකය පුරාම මේ වෙද්දි හැම්බර්ගර් අතිශයින් ජනප්‍රිය වෙලා තියෙනවා. ලංකාවෙදි නම් බොහෝවිට ප්‍රධාන ආහාර වේලෙන් බැහැරව ක්ෂණික ආහාරයක් විදිහට තමයි හැම්බර්ගර්  කන්න අපේ අය පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි ඇමරිකා එක්සත් ජනපදය තුළ හැම්බර්ගර් ජාතික ආහාරය බවට පත් වෙලා තියෙනවා. 

 

2. ඇකී සහ ලුණු යෙදූ මාළු (Ackee and Saltfish)

ජැමෙයිකාව කියන්නේ අප්‍රිකානු ජාතික සම්භවයක් සහිත ජනතාව බහුලව ජීවත් වෙන රටක්. අතීතයේ වහලුන් විදිහට  ජැමෙයිකා දූපත් වලට ගෙනාපු මිනිස්සුන්ට කන්න තිබ්බේ එරට බහුලව දකින්නට ලැබෙන ඇකී නම් පළතුරු විශේෂය. පෝෂණ ගුණයෙන් අනූන මෙම පළතුර තැම්බීමෙන් පස්සේ ස්ක්‍රැම්බල් කරන ලද බිත්තර වලට සමානතාවයක්  දක්වනවා. ජැමෙයිකානුවන් ඇකී සහ ලුණු යෙදූ මාළු එක් කරමින් ඔවුන්ටම ආවේණික ආහාරයක් සකස් කරගන්නවා. ඇතැම් අවස්ථාවල රස වැඩි කරගන්න තක්කාලි, ළූණු වැනි දෑත් එකතු කරනවා.

 

3. අයිරිශ් ස්ටූ (Irish Stew)

මේ ආහාරය මොන රටේ ජාතික ආහාරයද කියන එක ආපහු ඔබට කියන්න අවශ්‍ය නැහැ කියලා අපි හිතනවා. මුල් කාලයේදී මද ගින්නේ තම්බා ගත් එළු මස්, ළූණු, අල සහ පාස්ලි එක් කරගනිමින් මේ ස්ටූ වර්ගය සකසා ගැනීම සිදු කරා. මේ ආහාරයේ ඇති විශේෂත්වය වන්නේ මෙය ඝනකම් සුප් එකක් බඳු වීමයි. වර්තමානයේ දී මේ සඳහා අනෙකුත් එළවළු වර්ගත් එකතු කරගනිමින් රස වැඩි කර ගනු ලබනවා.

 

4. රෝස්ට් කරන ලද හරක් මස් සහ යෝක්ෂයර් පුඩින් (Roast Beef and Yorkshire Pudding)

සමහර වෙලාවට එංගලන්තයේ ජීවත් වෙන අය අපි ජාතික ආහාරය විදිහට රෝස්ට් කරන ලද හරක් මස් සහ යෝක්ෂයර් පුඩින් නම් කිරීම ගැන විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් අද දක්වාම බොහෝ සාම්ප්‍රදායික ඉංග්‍රීසි මුළුතැන්ගෙවල් වල ඉරිදා දිනවල මේ ආහාර සකස් කිරීම වරදින්නේ නැහැ. හැබැයි තව දෙයක් සඳහන් කරන්න ඕන යෝක්ෂයර් පුඩින් කිව්වම ලංකාවේ අපිට දැනෙන්නේ මේක අතුරුපසක් විදිහට ගන්න දෙයක් කියලා. නමුත් යෝක්ෂයර් පුඩින් කියන්නේ කිරි, පිටි සහ බිත්තර එක් කරගනිමින් සාදනු ලබන රොටි වලට සමාන ආහාරයක්.

 

5. පොට් අ ෆු (Pot-au-feu)

මුල් කාලයේදී  ප්‍රංශ ජාතිකයන් සීත ඍතුව තුළ බහුල වශයෙන් සකසාගත් ආහාරයක් වන මෙය පසුකාලීනව එරට ජාතික ආහාරය බවට පත්වුණා. හරක් මස් සහ කැරට්, ටර්නිප් වැනි එළවළු තම්බාගෙන ඝනකම් සුප් එකක් ආකාරයට මෙම ආහාරය සකසා ගනු ලබනවා. බොහෝවිට ආහාර සඳහා පිළිගැන්වීමේදී මස් සහ සුප් වෙන වෙනම පිළිගන්වනු ලබනවා.

 

6. කිබේ (Kibbeh)

ලෙබනනය සහ සිරියාව යන රටවල ප්‍රධාන ආහාරය ලෙස සැළකෙන මේ සඳහා භාවිතා වෙන්නේ අඹරාගත් බැටළු මස්, ධාන්‍ය වර්ග සහ සීසනින් වර්ගයි. බොහෝ දෙනෙක් මෙම ආහාරය සකස් කිරීමෙන් අනතුරුව බැදීම, බේක් කිරීම සහ තම්බා ගැනීම සිදු කරනු ලබනවා. නමුත් ඇතැම් පාර්ශ්ව පවසන්නේ මේ ආහාරයේ උපරිම රස විඳීමට නම් එවැනි කිසිදු වෙනස්කමක් නොකොට එය තලපයක් ආකාරයෙන් ආහාරයට ගත යුතු බවයි.

 

7. ගූලාෂ් (Goulash)

මධ්‍යම යුරෝපයේ රටවල් ගණනාවක අතිශයින්ම ජනප්‍රිය ආහාරයක් වන ගූලාෂ් හන්ගේරියාව විසින් සිය ජාතික ආහාරය ලෙස නම් කරනු ලැබූ අතර වර්තමානයේ එය එරට ජාතික සංකේතයක් බවට පත්ව තිබෙනවා. මේ ආහාරය ඝනකම් සුප් එකක් සහ ස්ටූ එකකට සමානයි. වැඩි වශයෙන් මේ සඳහා හරක් මස් භාවිතා කරන අතර තමන්ගේ පහසුව පරිදි වෙනස් මස් වර්ගද භාවිතා කරනවා. ඊට අතිරේකව එළවළු වර්ග, කුළුබඩු වර්ග සහ රතු ළූණු ඊට එක් කෙරෙනවා.

 

එහෙමනම් ඔන්න ඔයාලා රටවල් 7ක විතර ජාතික ආහාර ගැන දැන කියා ගත්තානේ. එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ මේ ආටිකල් එකේ තවත් කොටසක් ඔබ වෙත ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *