බ්‍රිතාන්‍ය රජ පවුලේ ඇත්තන්ගේ කෑම බී​ම ගැන කතන්දර

බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය ජාල  ඇතුළේ රජ පවුලේ සාමාජිකයන්ට සුදුළූණු කියන්නේ තහනම් ආහාරයක් කියලා සඳහන් වෙන ලිපි සංසරණය වෙනවා. අපි දන්න විදිහට බ්‍රිතාන්‍ය රජ පවුලේ ආහාර ගැන සිංහලෙන් ලියවුණු ලිපි එකම විදිහේ වට්ටෝරුවක ඒවා. එකම කරුණු පරිප්පුයි බතුයි නැත්තම් බතුයි පරිප්පුයි විදිහට වෙනස් කර කර ලියලා තියෙන්නේ. මේ නිසා අපි අද හිතුවා බ්‍රිතාන්‍ය රජ පවුලේ ආහාර පුරුදු ගැන ඔබ මෙතෙක් අහපු නැති තොරතුරු ටිකක් ඇතුළත් ලිපියක් ඔබ වෙත ගෙන එන්න.

 

1. විලියම් සහ හැරීගේ ප්‍රියතම කෑම

මේ කතාව කියල තියෙන්නේ රජ පවුලේ හිටපු කෝකියකු වන ඩැරන් මැක්ගාඩි. දවසක් හදිසියේම රාජකීය මුළුතැන්ගෙට ආපු ඩයනා කුමරිය එදාට නියමිත දිවා ආහාරය සකස් කිරීම නතර කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. ඊට හේතුව විදිහට ඇය කියලා තියෙන්නෙ එවකට කුඩා විලියම් සහ හැරී කුමාරවරු රැගෙන තමන් මැක්ඩොනල්ඩ්ස් අවන්හල් වෙත යන්න තීරණය කරලා තියෙනවා කියන එකයි. එහිදී ඩැරන් අවශ්‍ය නම් අදාළ ආහාර වර්ග තමන්ටත් සකස් කරන්න පුළුවන් කියලා කිව්වම ඩයනා කුමරිය කියලා තියෙන්නේ ඒ අවන්හලට ගිහිල්ලා සෙල්ලම් කරමින් ආහාර ගන්න ඔවුන් දෙදෙනා කැමති බවයි.

 

2. ඩයනා කුමරියගේ ආහාර වේල 

බොහෝ දෙනෙක් දන්න විදිහට බුලීමියා නම් ආහාර අරුචි වීමේ රෝගයෙන් ඩයනා කුමරිය පෙළුණා. ඒකට හේතුව විදිහට  ඇගේ විවාහයේ ඇති වූ විවිධ ගැටළු සඳහන් කරන්න පුළුවන්. නමුත් ඒ කොහොම වුණත් ඩැරන් කියන විදිහට ඩයනා කුමරිය තමන්ගේ ආහාර වේල ගැන අතිශයින්ම සැළකිල්ලක් දක්වපු කෙනෙක්. වතාවක් ඇය  ඩැරන්ට පවසලා තියෙන්නේ “ඩැරන් කෑමවල තෙල් ගැන ඔයා බලාගන්න, මම ජිම් එකට ගිහිල්ලා  කාබෝහයිඩ්‍රේට් ගැන බලා ගන්නම්” කියලායි. ඇය ගොඩක් වෙලාවට ආස කරලා තියෙන්නේ පුරවන ලද බෙල් පෙපර්, වම්බටු සහ මාළු වැනි ආහාර වලට.

 

3. චාල්ස් කුමරුගේ බිත්තර 

රජ පවුලේ සාමාජිකයන් අතරින් අමුතුම ආහාර පුරුද්දක් තියෙන්නෙ චාල්ස් කුමාරයාටයි. ඔහු කවදාවත් දහවල් ආහාරය ලබාගන්නේ නැහැ. උදේ ආහාරය විදිහට මෘදු ලෙස තම්බන ලද  බිත්තරයක් ආහාරයට ගන්නවා. ඒ වගේම කාබනික ප්‍රතිපත්ති ප්‍රචලිත කරන පුද්ගලයකු විදිහට ලෝකය පුරා නමක් දිනාගෙන ඉන්න චාල්ස් කුමාරයා මේ බිත්තර ගැනත් වැඩි සැළකිල්ලක් දක්වනවා. ස්වභාවික ආහාර ලබා දෙන කිකිළියන් දමන ලද බිත්තර පමණයි ඔහු ආහාර වේලට එක්කර ගන්නේ.

 

4. කෑම වලට මුල්තැන දුන්න පිලිප් කුමාරයා 

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයන් අතරින් තමන්ගේ කෑම වේල පිළිබඳව  වැඩි අවධානයක් දුන්න සාමාජිකයා විදිහට  පිලිප් කුමාරයාව හඳුන්වන්න පුළුවන්. රාජකීය මුළුතැන්ගෙයි  නිලධාරීන්ට අනුව රජ පවුලේ හොඳටම කන බොන පුද්ගලයා වන්නේත් පිලිප් කුමාරයායි. දවසක් තමන්ගේ රාත්‍රී ආහාර වේල ගැන විමසූ පිලිප් කුමාරයාට දැනගන්න ලැබෙන්නේ සිහින් තීරු ලෙස කැපූ බැටළු මස් සකස් කෙරෙමින් තිබෙන බවයි. මුළුතැන් ගෙට ආපු ඔහු දකින්නෙ මුළුතැන්ගෙයි සාමාජිකයන් සඳහා පුෂ්ටිමත් බැටළු මස් කැබලි සකස් වන ආකාරයයි. එහිදී ඔහු සේවකයන්ට ලබා දෙන ආකාරයෙන් තමන්ටත් මස් සකස් කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

 

5. මව් රැජිනට කළ බොරුව 

දෙවැනි එළිසබත් රැජිනගේ මව වන එළිසබෙත් බිසව නිරන්තරයෙන් ප්‍රමාද වීම පිළිබඳව නම් දරා සිටි අයෙක්. මේ නිසාම රජ පවුලේ සාමාජිකයන්ට පවා රාජකීය භෝජන සංග්‍රහ වලදී  ඇය එනතෙක් බලා බලා සිටීමට සිදු වුණා. මේ නිසා අවසානයේ දී රජ පවුලේ සාමාජිකයන් තීරණය කළේ භෝජන සංග්‍රහවල වෙලාව පිළිබඳව ඇයට වෙනස් අයුරින් දැනුම් දීමටයි. උදාහරණයක් විදිහට භෝජන සංග්‍රහය ඇරඹෙන්නේ 8:30 ට නම් ඇයට ඔවුන් පවසන්නේ එය 8.15ට ඇරඹෙන බවයි. නමුත්  එවැනි තත්ත්වයකදී වුවත් භෝජන සංග්‍රහය සඳහා අවසානයටම පැමිණෙන තැනැත්තිය වූයේ ද ඇයයි.

 

6. දෙවැනි එළිසබත් රැජින වෙනුවෙන් සැකසෙන මෙනුපත 

අපිට මෙනූ එකක් ලැබෙන්නේ හෝටලයකදී පමණක් වුණාට රජ පවුලේ සාමාජිකයන්ට තමන්ගේ එදිනෙදා ආහාර වේල් ගැනීම සඳහා මෙනූ පොතක් ලැබෙනවා. නමුත් ඒ අතරින් හදිසියේම තමන්ගේ ආහාර පුරුදු වෙනස් නොකරන රාජකීයයන් අතර මුල්තැනෙහි දෙවැනි එළිසබත් රැජින සිටිනවා. තම ආහාර වේල් පිළිබඳව මෙනූ පොත ඇසුරින් දින කිහිපයකට කලින් ඇය මුළුතැන්ගෙයි නිලධාරීන් දැනුවත් කිරීමට වගබලා ගන්නවා. එසේම ඇය හිත වෙනස්වීම මත හදිසියේම ආහාර වේල් වෙනස් කරන්නේ නැහැ.

 

7. දෙවැනි එළිසබෙත් රැජනගේ ප්‍රියතම ආහාරය

ලෝකයේ හැමෝම චොක්ලට් වලට ආසයි. රැජිනක් වුණත් මේ දේ වෙනස් වෙන්නේ නැහැ. දෙවැනි එළිසබෙත් රැජන චොක්ලට් වලට විශේෂයෙන්ම ඩාර්ක් චොක්ලට්වලට අතිශයින් ප්‍රියතාවයක් දක්වනවා. මීට අමතරව චොක්ලට් කේක්වලටත් ඇය අතිශයින් ප්‍රිය කරනවා.

 

රජ පවුලේ ආහාර පුරුදු ගැන දැනගත්ත එකේ ඒ ගැන ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *