ගෙදරට අමුත්තෝ ඇවිත් ඉන්නකොට හැසිරෙන්න ඕන මෙහෙමයි!

දැන් ඔය ගොඩක් දෙනෙක් ඒ තරම් ගණන් ගත්තේ නැතුවට, යහපත් ආචාර විධි කියන්නේ ශිෂ්ට සම්පන්න මනුස්සයෙක්ගේ ජීවිතේ තියෙන්නම ඕන පුහුණුවක්. සමහරු අහයි මොකටද බොරුවට විනීත කම්, යහපත් ආචාර විධි පිළිපදින්නේ, ඉන්න විදියටම ඉන්නේ නැතුව කියලා. ඒකට හේතුව සරලයි. යහපත් ආචාර විධි පිළිපැදීමෙන් තමන්ටත්, තමන් වටේ ඉන්න අනික් අයටත් සිද්ධ වෙන්න පුළුවන් අපහසුතාවයන්, කරදරයන් වළක්වා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, බස් එකකදී ස්පීකර් ෆෝන් ඔන් කරලා කතා කිරීමෙන් බස් එකේ අනික් අයට කරදරයක් වෙනවා වගේම, තමන්ගේ පුද්ගලික සංවාදයක් බස් එකේ අනික් අයට අහන්නත් සලස්වනවා. ඒකෙන් විවිධ පාර්ශවයන්ට හානි පැමිණෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි එහෙම කරන්න එපා කියලා ආචාර විධියක් තියෙන්නේ. 

 

දැන් පැහැදිළියිනේ ඇයි යහපත් ආචාර විධි ලෝකේ තියෙන්නේ කියලා? රෑ කෑම මේසේ ඉඳලා, බස් එකේ යන එක, ඔන්ලයින් මීටින්ස් වල ඉන්න එක වගේ දේවල් විතරක් නෙවෙයි, ටොයිලට් යන එකටත් ඇත්තට හොඳ පුරුදු නැතිනම් හොඳ ආචාර විධි තියෙනවා. එතකොට ගෙදරට අමුත්තෝ ආවහම හැසිරෙන්න ඕන යහපත් ආචාර විධි සහ හොඳ පුරුදු තියෙනවද? අනිවාර්යයෙන්ම ඔව්. ආන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ.

 

අනුන්ගේ ගෙදරකට ගියාම හැසිරෙන විදිහ ගැනත් අපි ආටිකල් එකක් ඔබට ගෙන ආවා. ඒක පහතින් කියවන්න.

අනුන්ගේ ගෙදරකට ගිහින් හරි විදිහට හැසිරෙන්නේ මෙහෙමයි!

 

 

 

1. හරියට පිළිගමු!

අපි කොහොමද ගෙදරට එන අමුත්තෙක්ව හරියට පිළිගන්නේ? සරලයි. නැගිටලා ගිහින් “ආයුබෝවන්” කියලා හරි, “හලෝ කොහොමද?” කියලා හරි, “අම්මෝ දැක්ක කල්” කියලා හරි කියලා සුහදව පිළිගන්නවා. ඇත්තටම මෙතනදී අවශ්‍ය වෙන්නේ සුහදත්වය සහ අදාළත්වය විතරයි. හැබැයි එතනදී අර ගරුත්වය කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ කියන්නේ ගෙදරට කෙනෙක් එනකොට, නිකම් ඉන්න පුටුවෙම වාඩිවෙලා ටීවී එක බල බලා ගෙදරට ආපු කෙනා දිහා බැල්මක් දාලා “ආං කොහොමද” කියලා ආයෙමත් ටීවි එකටම ඇස් අලවගන්නවා කියන්නේ අපි ඒ ආපු කෙනාට කිසිම ගෞරවයක් දක්වන්නේ නැහැයි කියන එක තමයි. ආන්න ඒක අප්සට්. ගෙදර එන කෙනා අපිට වඩා බාල වුණත්, වැඩිමහලු වුණත්, පෝසත් වුණත්, දුප්පත් වුණත්, උස වුණත්, මිටි වුණත්, අපි කැමති කෙනෙක් වුණත්, අපි අකමැති කෙනෙක් වුණත් එයා ගෙදරට එන අමුත්තා. අන්න එතකොට ඒ කෙනාට අපි කොහොම වුණත් ගරුත්වයක් දෙන්න ඕන. එච්චරයි.

 

2. කාමරේ වවුලා!

දැන් ඔය සමහර ළමයි එහෙම ඉන්නවා තනිකරම තමන්ගෙ කාමරේ එල්ලිච්ච වවුලෙක් වගේ. ආයෙ කන්නෙත් ඒකෙ ඉඳන්, කාමරේම ඉඳන් එළිබහින්න බැරි කමට ඒ වැඩේට විතරක් එළියට එනවා. හරි, ඒක තමන්ගේ ලයිෆ් ස්ටයිල් එකනේ. දැන් ඔන්න ගෙදරට අමුත්තෙක් හරි අමුත්තෝ කණ්ඩායමක් හරි එනවා. එතකොට ඒ අයව පිළිගන්න කවුරුහරි එළියේ ඉන්නවා නම් තමන් කාමරෙන් එළියට එන්න ඕන කියලා නියමයක් නෑ. හැබැයි නිකමට හිතන්න ඒ අමුත්තෙක් අපි ගැන අහනවා. ඒක නෝමල් දෙයක්නේ. එතකොට ඔන්න අම්මා හරි තාත්තා හරි වෙන එළියේ ඉන්න කවුරු හරි අපේ නම කියලා කතා කරනවා. එතකොට අපි ආයෙ කාමරෙන් එළියට එන්නෙ නැතුව නෑහුණා වගේ ඉන්නවා. ආන්න ඒක සෑහෙන්න අවුල්. අපි ඒ වෙලාවට කරන්න ඕන පොඩ්ඩක් එළියට ගිහිල්ලා හිනා වෙලා කරලා, සුහද කතාබහක නිරත වෙලා, ඕන නම් හෙමිහිට ආයෙමත් කාමරේට එන එක!

 

3. සාලේ මැදින් බඩුත් අරං!

දැන් සමහර වෙලාවට ගෙදරට අමුත්තෝ ඇවිදින් සාලේ වාඩිවෙලා ඉන්න අතරතුරදී අපිට මොනවා හරි ගේන්න කඩේට යන්න සිද්ධ වෙනවා. එක්කෝ ඒ යන්නේ අමුත්තන්ටම කන්න බොන්න දෙයක් ගේන්න වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අමුත්තන්ට අදාළම නැති දෙයක්, ඒ කියන්නේ ගෙදරට බඩුමුට්ටු වගේ දෙයක් ගේන්න වෙන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් අමුත්තෝ ඉන්න වෙලාවක ගේනවා නම්, හරි විදිය තමයි සාලේ මැදින් අමුත්තෝ ඉන්න තැනින් බඩු මල්ල වන වනා එන්නෙ නැතුව, ෂේප් එකේ කුස්සිය පැත්තෙන් හරි ගෙදර වෙන පැත්තකින් හරි ඇතුළු වෙන එක. ඕනම ගෙදරක ඉස්සරහින් වගේම පිටිපස්සෙනුත් එන්න දොරක් තියෙනවනේ. විශේෂයෙන්ම අමුත්තන්ට කන්න බොන්න දෙන්න මොනවා හරි ගේනවා නම්, ඒක ඒ අයට පේන්නම ගේන එකෙන් අමුත්තෝ සෑහෙන්න අපහසුතාවයකට පත් වෙනවා. ඒක කැතයි.

 

4. ටීවී එකේ මට ඕන එක!

සාමාන්‍යයෙන් ගෙදරට අමුත්තෝ ඇවිදින් ඉන්නකොට, අපි එයාලත් එක්ක පිළිසඳරේ යෙදිලත් නැති නම්, එයාලා එක්ක පිළිසඳරේ යෙදිලා ඉන්න ගෙදර කට්ටියත් එතන ඉන්නවා නම්, අපි සාලේ ඉඳන් එයාලට ඩිස්ටර්බ් වෙන්නෙ නැති වෙන්න වෙන වැඩක් කරන එකේ ගැටළුවක් නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, එයාලගේ කතාවට ඩිස්ටර්බ් වෙන්නෙ නැති ලෙවල් එකකින් ටීවී එක දැම්මට කිසිම ගැටළුවක් නෑ. හැබැයි අර කතාබහට බාධා වෙන විදියට මහ හයියෙන් ටීවී එක දාගෙන ඉන්න එක සෑහෙන්න අවුල්. ඒ විතරක් නෙවෙයි. සමහර වෙලාවට ඔන්න අම්මා අමුත්තෝ එක්ක කතා කර කර ඉඳලා කුස්සියට යනවා තේ එකක් හදාගෙන එන්න. අපි බිල්ලො වගේ ඇවිල්ලා අර උදවියව ගණන් වත් ගන්නෙ නැතුව ටීවී එක දාගෙන බලනවා නම් ඒක අප්සට්. ඒ වගේම, අමුත්තෝ ඒ වෙලාවේ ටීවී එකේ යන මොකක් හරි දෙයක් බලනවා හෝ බලාගෙන ඉන්නවා කියලා හිතමු. අන්න එතකොට අපි පැනලා අපිට ඕන එකක් ටීවී එකේ දාගෙන හරියන්නෙ නෑ. අපි මුලින් අහන්න ඕන “මේක බලනවද? අහවල් එක දැම්මට කමක් නැද්ද?” කියලාවත්.

 

5. දාර වලි!

මේක ඉතින් ගෙදරට අමුත්තෝ ඇවිල්ලා ඉන්නකොට ඒ අයව සෑහෙන්න අපහසුතාවයට පත් කරන්න පුළුවන් දෙයක්. ඒ තමයි ගෙදර අමුත්තෝ ඉන්න අතරේ ඩොමෙස්ටික් වලි පටන් ගන්න එක. ගෙදරට අමුත්තෝ ඇවිත් ඉන්න වෙලාවේ දෙන්නා දෙමහල්ලෝ කාමරයක් ඇතුළේ දාර වලියක් පටන් ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි වලිය දාරයි කියන්නේ ෂුවර් එකටම බැණ අඬගහගන්න එව්වා කාමරෙන් එළියටත් ඇහෙනවා කියන එකනේ. ආන්න එතකොට අර මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැති වෙනවා. එහෙම නැතුව ෆෝන් එකෙන් මහ හයියෙන් කාට හරි බණින එකත් අප්සට්. ඒ වගේම අමුත්තන්ටත් ඇනෙන විදියට ගෙදර කාටහරි ඇනුම්පද කියන එක, වගපල කියන එක එහෙමත් අප්සට්. එතකොට ඉතින් අමුත්තෝ ඉස්සරහම ගෙදර කෙනෙක් එක්ක වලියක් ඇදගන්න එක කොහොමත් අප්සට් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!

 

6. අමුත්තන්ට පෙර මම!

දැන් ගෙදරට අමුත්තෙක් ආවහම අපි තේ එකක් දීලා, බිස්කට් එකක්, කේක් කෑල්ලක්, කෙසෙල් ඇවරියක් එහෙම අල්ලලා එහෙම සංග්‍රහ කරනවනේ. එතනදී තමන් කොයි තරම් දේවල් ප්‍රමාණයකින් හරි, ඒ දේවල් කොයි තරම් ප්‍රමාණයකින් හරි සංග්‍රහ කරන්න ගෙනැත් තියෙනවද කියන එක නෙවෙයි ඇත්තටම වැදගත් වෙන්නේ. අමුත්තෙක්ට සුළු දේකින් හරි සංග්‍රහ කරන එක. හැබැයි ඉතින් අමුත්තන්ට තේ බොන්න කේක් කෑලි තසිමකුයි කෙසෙල් ඇවරියකුයි ගෙනැල්ලා තිබ්බට පස්සේ, ඔක්කොටම කලින් අපි ගිහින් එතනින් කේක් කෑල්ලකුයි කෙහෙල් ගෙඩියකුයි අරගෙන කන එක සෑහෙන්න අප්සට් වැඩක්. අඩු ගාණේ අපි එහෙම අරගෙන “කන්න ඔයාලත් කන්න” කියලා අමුත්තන්ට කිව්වත් වැඩක් නෑ. හරි විදිය වෙන්නේ අමුත්තන්ට කන්න දෙන එක. එයාලා කන අතරේ ඕන නම් අපිත් පොඩ්ඩක් කේක් කෑල්ලක රස බැලුවට කමක් නෑ.

 

ඒ වගේම, අමුත්තන්ට තේ විතරක් දීලා, අපි එයාලා ඉන්න තැනටම ඇවිත් රස කර කර කේක් කෑල්ලක් කන එක හොඳටම අප්සට්. ඒ වගේ දේවල් ඉතින් සිහිමොලේ තියෙන මනුස්සයෙක් නං කරන්නෙ නෑ!

 

7. ගෙනාවෙ මොනවද?

දැන් ඔය ගෙදරට ගේන තෑග්ගකට මොකද්ද කරන්නේ කියන එක ඇත්තටම එක එක රටවල සංස්කෘතියත් එක්ක එන දෙයක්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, බටහිර රටක ගෙදරට එන අමුත්තෙක් අපිට විතරක් විශේෂයෙන් තෑග්ගක් ගෙනැල්ලා දුන්නහම ඒක එවෙලේම කඩලා බලලා සතුටු වෙලා අමුත්තට ස්තුති කරන එක තමයි හොඳ විදිය. හැබැයි පොදුවේ ගෙදරට තෑග්ගක් ගෙනාවා කියලා ඒක එවෙලෙම කඩලා බලන්නෙ නෑ. එතකොට ලංකාවේ විදිය ගත්තොත්, අමුත්තෝ ඉස්සරහම තෑගි කඩලා බලන සිරිතක් අපේ නෑ. ආන්න ඒ නිසා, ගෙදරට එන අමුත්තෙක් ගෙදරට පොදුවේ තෑග්ගක් ගෙනාවහම ඒක කඩලා ගෙනාවේ මොනවද කියලා බලන්න යන්නෙ නැතුව ඒක ඒ අය යනකල් පැත්තකින් තියලා තියන්න ඕන. විශේෂයෙන්ම තමන්‍ට තෑග්ගක් ගෙනැල්ලා දුන්නොත් ස්තුති කරලා අරගෙන පැත්තකින් තියන්නත් පුළුවන් . ඕන නම් “මම මේක කඩලා බලන්නද?” කියලා අමුත්තගෙන් අහලා, එයා හා කිවුවොත් කඩලා බලලා ආයෙමත් ස්තුති කරන්නත් පුළුවන්. 

 

පැහැදිළියි නේද? මේ විදියට ගෙදරට අමුත්තෙක් ආවහම පොඩ්ඩක් කොමන් සෙන්ස් පාවිච්චි කරලා හැසිරුණොත්, ඇත්තටම ඒක අපිට හොඳයි. එහෙම නැතුව උඩ කියලා තියෙන ඒවා වැරදි විදියට කළොත් වෙන්නේ, අපි ගැන ගෙදරට එන අය කළකිරෙන එකයි. ඒ වගේම ඒ අය අපහසුතාවයට පත් වෙන එකයි තමයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *