බස් රථ දුම්රියවලදී සිදුවන ලිංගික හිංසාවෙන් ගැලවීමක් නැති කාන්තාවෝ

ප්‍රශ්නයක් ඇති යැයි දන්නා මුත් කලක පටන් නොවිසඳුණු ගැටළුවක් තමයි පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන හිංසාවන්. පිරිමින් ඇතැම් අය සිතාගෙන සිටින්නේ කාන්තාවන් ද දැඩි කැමැත්තකින් මේ අත්දැකීම් වලට මුහුණදෙන බවක්. ඒත් එවැනි අවස්ථා තිබිය හැක්කේ ඉතා අඩුවෙන්. එතැන කළබල කරගෙන, කෑ ගහලා රණ්ඩු වෙන්න ඇතැම් කාන්තාවන් කැමති නැහැ. ඒ නිසාම නිහඬව සිට එතැනින් යන්තම් ගැලවී යන්න තමයි පොදු ප්‍රවාහනයේ පීඩනයට ලක් වෙන කාන්තාවන් උත්සාහ ගන්නේ.

 

1. පොලිසියට වාර්තා වීම අඩු වීම

ජැක් ගැසීම නැතිනම් බස් දුම්රිය වල සිදුවන ලිංගික හිංසා ගැන කොපමණ අපිට අහන්නට ලැබුණත් එයින් ඉතා ස්වල්පයක් පමණයි පොලිසියට යන්නේ. පොලිසිය වෙත යන ක්‍රමය දීර්ඝ සහ කාලය නාස්තිකරන ක්‍රමවේදයක්. ඒ වගේම එවැනි කාරණාවකට පොලිසිය වෙත ගියත් කාන්තාවන්ට පොලිසිය ගැන තිබෙන විශ්වාසය අඩුයි. ඇරත් කාන්තාව කියන්නෙත් හුදෙක් ගෙදරට වී බත් පිසින කෙනෙක් නෙමෙයි. ඇයත් නොයෙක් වැඩ රාජකාරි දාහක් මැද තමයි බසයක, දුම්රියක ගමන් පහසුව ගන්නේ. ඉතින් තමුන්ට අසාධාරණයක් වුණත් විරුද්ධ වී එය එතැනින් ඉවර කරගන්නවා හැර ඔවුන් දීර්ඝ නීතිමය කාර්යයන්ට යොමු වෙනවා අඩුයි.

 

2. ලංකාවේ විතරයිද?

නැහැ. අපි අයිති දකුණු ආසියානු කලාපයේ වගේම ජපානය වගේ දියුණු රටවල පවා කලාතුරකින් මේ වගේ පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට නොයෙක් හිංසා සිදුවීම් වර්තා වෙනවා. කාන්තාවන් රකින්නට යම් යම් තද නීති රෙගුලාසි තිබුණත් ඒ රටවල පවා කාන්තාවන්ට සිදුවන පීඩාවන් ඉඳහිට හෝ වාර්තා වෙනවා. ඉන්දියාවේ දිල්ලියේදී බස් රියක් තුළදී සිදුවූ එවැනි එක් අමානුෂික ලිංගික අපරාධයකට දරුණු දඬුවම් ලැබුණා. ඒ එක්ක ඇතිවුණු කාන්තා හිංසනයට විරුද්ධ රැල්ල ඉතා වේගයෙන් ඉන්දියාව සහ ලොව පුරා ජනප්‍රිය වීමත් එක්ක මේ කාන්තා හිංසා ගැන අවධානය වැඩි වුණා.

 

3. ප්‍රවාහනයේ ඇති දුබලතා

අපේ රට ගත්තොත් අපේ රටේ පොදු ප්‍රවාහනයේදි පුද්ගලික අවකාශය පවත්වාගන්න එක අමාරුයි. කොහෙන් කෙහොම ඈත් වෙන්න හිතුවත් අපිට තවත් කෙනෙකුගේ ඇඟේ ගෑවෙන්නේ නැතුව ගමනක් යන්න පොදු ප්‍රවාහනයේදී ඉඩ ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් මේ ප්‍රවාහනයේ තිබෙන දුබලතාත් ලිංගික හිංසාකරුවන්ව උසිගන්වනවා. හොඳින් බස් දුම්රිය ඇතුළත තෙරපෙන විට එය හිංසාකරුවන්ට හොඳ අවකාශයක්.

 

4. ගත් පියවර සහ දැන්

කාර්යාල වෙලාවන් වලට කාන්තාවන්ට වෙනමම බස් දැමීමක් සිදු කෙරුණා කලකට ඉස්සර. ඒ බස් පසුකාලීනව එතරම් සාර්ථක වුණේ නැහැ. පොදු ප්‍රවාහනයේදී වෙන මේ හිංසන නිසාම කාන්තාවන්ට වෙනමම දුම්රිය මැදිරි නියම වුණා. ඒ දුම්රිය මැදිරිත් පසුව අසාර්ථක වුණා. වෙනමම සළකනවාට වඩා පොදු ප්‍රවාහනය තුළ ඉඩකඩ වැඩි වුණොත්, තදබද අඩු වුණොත් කාන්තාවන්ට නිදහසේ යන්නට තිබෙන ඉඩ තවත් වැඩි වෙනවා. කාන්තාවන්ට සිදුවන හිංසා වලට ලැබෙන දඬුවම් ගැන දැන්වීම් පොදු ප්‍රවාහන රථ වල ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒවායෙන් දැනුවත් වුණත් වාර්තාවෙන සිද්ධිවල නම් අඩුවක් නැහැ.

 

5. පොදු ප්‍රවාහන භාවිතය අඩුවීම සහ ප්‍රශ්න

පොදු ප්‍රවාහනය කියන්නේ නාගරික ප්‍රවාහනයේදී කාර්යක්ෂම ක්‍රමයක්. කාර් රිය, කැබ් රිය බොහෝ ගණනක් පාරේ යනවාට වඩා දුම්රියක්, බස් රිය ගණනාවක් ගමන් කිරීම කාර්යක්ෂමයි. එසේම පරිසර හිතකාමීයි. එහෙත් පොදු ප්‍රවාහනය භාවිතය තුළ සිදුවන හිංසා නිසාම කර්යාල වල වැඩකරන කාන්තාවන් වැඩි මිලක් ගෙවා හෝ කාර්යාල ප්‍රවාහන සේවා වලට යොමු වෙනවා. තවත් අය තමුන්ගේ ස්කූටර් එකකින්, කාර් රියකින් වැඩට එනවා.

 

6. දෙබිඩි මිනිසුන් සහ කතා

බස් රියෙන් බැසයන බොහෝ දෙනෙක් කාන්තාවන්ට සිදුවන හිරිහැර හිංසන වලට දැඩි සේ විරුද්ධයි. ඒත් බස්රියකට නැග ගත් විට කාන්තාවන් හඹායන අසහනකාරයන් විවිධ ස්වරූප වලින් හමු වෙනවා. බීමතින් සිටින අපිරිසිදු පුද්ගලයින් විතරක් නෙමෙයි කාන්තාවන්ට හිරිහැර කරන්න පෙළඹෙන්නේ. අඩු වයසේ තරුණයින් වගේම හොඳට ඇඳ පැළඳගෙන කාර්යාල වල වැඩට යන වැදගත් පෙනුම සහිත අයත් කාන්තා හිංසන වලට පෙළඹෙනවා. ඇතැම් විට දරුවන් සිටින, වගකීම් වැඩි පුරුෂයිනුත් මේ නොමනා වැඩට පෙළඹෙනවා.

 

7. කාන්තාවන්ට පිහිට

බස් රිය තුළ බොහෝවිට රියදුරු සහ කොන්දොස්තර මහතුන් මගී කාන්තාවන්ට සිදුවන මේ හිරිහැර ගැන දන්නවා. බහුතරයක් අවස්ථාවලදී මේ වගේ දේවල් වළක්වන්න ඔවුන් ක්‍රියාකරනවා. ඒත් ඇතැම් විට ඔවුන්ට පවා මගීන් වැඩි අවස්ථාවල මේ තත්ත්වය පාලනය කරගන්න අමාරුයි. දුම්රිය වලදී නම් කාන්තාවන්ට හිංසා කිරීමටම පතල වුණු, වචන වලින්, ක්‍රියා වලින් කාන්තාවන් පීඩනයට පත් කරන කණ්ඩායම් යනවා. ඒ අයගෙන් බේරිලා නිදහසේ දුම්රියේ යන්නට අවස්ථා ලැබෙන්නේ කලාතුරකින්.

 

මෙය සමාජ විද්‍යාත්මක ගැටළුවක්. මේ සඳහා ජනප්‍රිය විසඳුම් මොනවාද යන්න ගැන වගේම සමාජයේ මෙවැනි අසහනකාරයින් වැඩි වෙන්නේ ඇයි? මෙවැනි හිංසාවකට යොමු වන්නේ ඇයි? යන්න ගැනත් හොඳින් කතාබහ විය යුතු වනවා. කාන්තාවන් කාන්තා එකතු හරහා යම් යම් පිළියම් ගත්තා වුණත් ඒවා ඇත්තටම බස් දුම්රිය වල යන කාන්තා වන්ට හමු වන්නේ නැතිම තරම්.

 

 

Leave a Reply

Your email address will not be published.