අපේ කලා ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් අතර ඇතිවුණු ගැටුම් – 3 කොටස

අපේ කලා ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් අතර ඇතිවුණු ගැටුම් – 1 කොටස

 

අපේ කලා ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් අතර ඇතිවුණු ගැටුම් – 2 කොටස

 

ඔබට මතක ඇති මේ ලිපි පෙළේ පළමු කොටස් දෙකට ඔබගෙන් ඉතාමත් ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැබිලා තිබ්බා කියලා. ඒ නිසා යම් ප්‍රමාදයකින් පසුව වුණත් මේ ලිපි පෙළේ තුන්වැනි කොටස ඔබ වෙත ගෙන ඒමට අප තීරණය කළා. හැබැයි මේ ගැටුම් අතරට ප්‍රධාන පෙළේ මාධ්‍ය වලින් පමණක් නොනැවතී සමාජ මාධ්‍ය ජාලාවල තරු අතර සිද්ධ වුණු ගැටුම් කිහිපයකුත් ඇතුළත් කරන්න අපි තීරණය කළා.

 

1. සනත් නන්දසිරි සහ දයාරත්න අමරා යුවළ

ආචාර්ය අමරදේවයන්ගේ අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය සඳහා රජය විසින් මහාචාර්ය සනත් නන්දසිරි මහතාව පත් කරනු ලැබුවා. ඉන් සති කිහිපයකට පසුව පුවත්පතක් සඳහා සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් දයාරත්න අමරා යුවළ ජේෂ්ඨත්වය පිළිබඳව සළකා බලද්දි එම තනතුර ලැබිය යුත්තේ දයාරත්න රණතුංග මහතාට බව ප්‍රකාශ කළා. ඉන්පසුව සනත් නන්දසිරි මහතා ඒ පිළිබඳව පැහැදිළි කිරීමක් කර තිබුණා. කෙසේ නමුත් අතිශයින්ම සංවේදී කලා පවුල් දෙකක් වුණු ඔවුන් මේ සියළු ප්‍රශ්න සාකච්ඡා කර විසඳගෙන තිබුණා. අමරා රණතුංග මැතිණියගේ අවමඟුල් උළෙලේදී පවා මල්කාන්ති නන්දසිරි මහත්මිය අතිශයින් සංවේදී වුණා.

 

2. භාතිය සන්තුෂ් සහ රෝහණ වීරසිංහ, සුනිල් ආරියරත්න

මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කරන ලද සහ රෝහණ වීරසිංහ විසින් සංගීතවත් කරන ලද “ඇඩ්‍රස් නෑ” ගීතය නිසි දැනුවත් කිරීමකින් තොරව භාතිය සහ සන්තුෂ් විසින් වාණිජ කටයුත්තක් සඳහා යොදා ගැනීම පිළිබඳව විරෝධය පළ කරමින් සුනිල් ආරියරත්න සහ රෝහණ වීරසිංහ ඔස්කා සංවිධානයෙන් ඉවත්වීමට තීරණය කළා. ඉන් නොනැවතුණු ඔවුන් දෙදෙනා පැවසුවේ තමන් ඉදිරියේදී මේ පිළිබඳව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.

 

3. ජගත් වික්‍රමසිංහ සහ කුමාර ලියනගේ

ජගත් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සභාපති ධූරයට පත් වෙද්දී එම සංස්ථාවේ උපදේශක තනතුරක් සඳහා ප්‍රවීණ ගීත රචක කුමාර ලියනගේවද පත් කරනු ලැබුවා. ඊට පෙර සමීප මිතුරන්ව සිටි මේ දෙදෙනා කාලයක් එම තනතුරු දෙකෙහි කටයුතු කරද්දී දරුණු ප්‍රතිවාදීන් බවට පත්වුණා. ගුවන් විදුලි සංස්ථාව තුළ ජගත් වික්‍රමසිංහ විසින් දූෂණ සහ අපචාරවල යෙදෙන බවට කුමාර ලියනගේ සමාජ මාධ්‍ය ජාලා හරහා චෝදනා කළා. අවසානයේදී  මේ ගැටළු නීතිය ඉදිරියට ගිය බවද කියවෙනවා. කෙසේ වෙතත් මේ වන විට ජගත් වික්‍රමසිංහව එම ධූරයෙන් ඉවත් කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

 

4. නඩරාජා මනිවානන් සහ සෝමරත්න දිසානායක

නඩරාජා මනිවානන් කියන්නේ තිර රචකයෙක් විදිහට නමක් දිනාගෙන ඉන්න, චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වෙන්න පෙරුම් පුරන කෙනෙක්. ඔහුගේ නම මීට කාලෙකට කලින් මාධ්‍යවල ප්‍රචාරය වෙන්න පටන් ගත්තේ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායකට සහ නිෂ්පාදිකා රේණුකා බාලසූරියට බුද්ධිමය දේපළ කොල්ලකෑම පිළිබඳව චෝදනා එල්ල කිරීම නිසයි. ඔහුට අනුව සුනාමි චිත්‍රපටයේ තිර තිරපිටපත ඔහු විසින් ලියන ලද්දක්. එම තිරපිටපත ඔහු ආයතනයකට ලබා දී ඇති අතර අවසානයේදී එය චිත්‍රපටයකට නැගී තිරගතව තිබෙන්නේ ඔහු ගැන සඳහනක් හෝ නොමැතිවයි. එහෙත් සෝමරත්න රේණුකා යුවළ මේ චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කළ අතර මනිවානන්  ප්‍රසිද්ධියේ මේ පිළිබඳව සමාව නොගන්නේනම් තමන් ඔහුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවටත් ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවා.

 

5. ලකයි සිකයි

මීට වසරකට පමණ පෙර යූටියුබ් ඇතුළු සියළුම සමාජ මාධ්‍ය ජාලා පාහේ කැළඹීමට ලක් කිරීමට සමත් වුණු පුවතක් වූයේ අතිශයින්ම ජනප්‍රිය ලකයි සිකයි යූ ටියුබ් නාලිකාවේ සියළු කටයුතුවලින් සිකා ලෙස හැඳින්වුණු දුමින්ද ශ්‍රී කාන්ත හදිසියේම ඉවත් කිරීම නිසයි. කෙසේ නමුත් අදාළ යූටියුබ් චැනල් එකේ ප්‍රධාන අයිතිය හිමිව තිබුණ ලකා හෙවත් ලක්මාල් වීරසිරි ප්‍රකාශ කළේ එය අසීරු තීරණයක් වුවත් ගත යුතු තීරණයක්ව තිබූ බවයි. අවසානයේ දී දුමින්ද සිකාමයි නමින් නව යූටියුබ් නාලිකාවක් ආරම්භ කළ අතර ලකා සිය ඥාති සහෝදරයෙකු එක්කර ගනිමින් ලකයි සිකයි නාලිකාව අදටත් පවත්වාගෙන යනවා.

 

6. කුප්ප සිනමා

කෙටි කාලයක් තුළ යූටියුබ් එකේ ජනප්‍රිය වෙන්න සමත්වුණු කුප්ප සිනමා  නාලිකාවේ ප්‍රධාන චරිත තුන වෙන්වීම කිසිවෙක් අපේක්ෂා කළ දෙයක් වුණේ නැහැ. විශේෂයෙන්ම ඔවුන් තිදෙනා සමීප මිතුරන් වීම ඊට හේතුවයි. කොහොම නමුත් මේ පිළිබඳව දෙපාර්ශ්වයෙන්ම විවිධ අදහස් කරළියට ආවා. මේ වන විට සජිත් අනිත් දෙදෙනා රඟපෑ සියළුම  වීඩියෝ පාහේ නාළිකාවෙන් ඉවත් කරමින් කුප්ප සිනමා නාලිකාව පවත්වාගෙන යන අතර, ඉන් ඉවත් වුණ අරුන්, තීවක සහ ගිහාන් සොකරි සිනමා නමින් නාලිකාවක් පවත්වාගෙන යනවා.

 

7. අපි මචන්

යූටියුබ් තුළ කවර් සෝන්ග්ස් කිරීම නිසා තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගෙන හිටපු “අපි මචන්” නාලිකාවත් විවිධ හේතු නිසා දෙදරා ගියා. එහි ප්‍රතිඵලය වුණේ කීප දෙනෙක් අපි මචන් මුල් නාලිකාවේ රැඳිලා ඉද්දි වැඩි පිරිසක් යක්කු නමින් තවත් අලුත් නාලිකාවක් පටන්ගැනීමයි. කොහොම වුණත් මේ වෙන්වීම නිසා රසිකයන්ට වඩාත් හොඳ නිර්මාණ රැසක් රසවිඳින්න අවස්ථාව ලැබුණා කිව්වොත් වැරැද්දක් නැහැ.

 

එහෙමනම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගම න් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *