වර්තමානය වෙද්දී බොක්සින් ක්‍රීඩාවේ හෙවිවේට් (Heavyweight) බර පන්තිය අභිබවා වෙනත් බර පන්ති ඉදිරියට ඇවිත්, ජනප්‍රිය වෙලා තියනවා අපිට දකින්න පුළුවන්. ඒත් අදටත් හෙවිවේට් සටන්කරුවන් ගැන තියන අවධානය නම් අඩුවෙලා නැහැ. ලෝක බොක්සිං ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයින් ගැන කතා කරද්දිත් අපිට වැඩි වශයෙන්ම හෙවිවේට් ක්‍රීඩකයෝ රැසක් ගැන සඳහන් කරන්න වෙනවා. ඉතින් අපි හිතුවා එතෙක් මෙතෙක් බොක්සින් ක්‍රීඩාවේ හෙවිවේට් බරපන්තියෙන් බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් 7 දෙනෙක් ගැන ඔබට කියන්න.
1. මොහොමඩ් අලී (Muhammad Ali)
කැෂියස් මාසේලස් ක්ලේ, එහෙමත් නැත්නම් කවුරුත් දන්න මොහොමඩ් අලී කියන්නේ බහුතරයකට අනුව බොක්සිං ලෝකේ එතෙක් මෙතෙක් බිහිවුණු ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා. “සමනළයෙක් වගේ පාවෙලා මීමැස්සෙක් වගේ රිදෙන්න පහර දෙන්න (float like a butterfly sting like a bee)” කියන එක තමයි අලීගේ තේමා පාඨය වුණේ. ඉතාම වේගවත් සටන් විලාසයක් සහිත වුණු අලී බොහොම උපක්‍රමශීලී ක්‍රීඩකයෙක්. ඒ වගේම බොක්සින් වළල්ල ඇතුළේ ප්‍රතිවාදියාගේ මනසට ඇතුළුවෙලා ඔහුව අපහසුවට පත් වෙන විදිහේ මයින්ඩ් ගේම්ස් ගහන්නත් අලී බොහොම දක්ෂයි. සමකාලීන හෙවිවේට් ශූරයන්ට සාපේක්ෂව අලීට ලොකු නොකවුට් කිරීමේ බලයක් තිබ්බේ නැහැ. ඒත් ඔහු තමන්ගේ ප්‍රතිවාදියාගේ පහරට ලක්වෙන සීමාවෙන් පිටත ඉඳන් දක්ෂ විදිහට ප්‍රතිවාදියාව මෙල්ල කරන්නටත්, අවසානයේදී ඔහුව වෙහෙසට පත් කරලා, උපක්රමශීලීව නොකවුට් කරන්නටත් තරම් අති දක්ෂ වුණා. අලී තමන්ගේ බොක්සින් දිවිය අවසාන කරන්නේ තරඟ 56ක් ජයගෙන තරඟ 5ක් පමණක් පරාජයට පත් වෙලායි.
2. ජෝ ලුයිස් (Joe Louis)
සමහරු ජෝ ලුයිස්ව හඳුන්වන්නේ එතෙක් මෙතෙක් බිහිවුණු හොඳම හෙවිවේට් බොක්සින් ශූරයා හැටියටයි. ‘බ්‍රවුන් බොම්බර්’ නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු ජෝ ලුයිස් වේගය, බලය සහ නිරවද්‍යතාවය අතින් ඉතා ඉහළ මට්ටමක හිටපු සටන්කරුවෙක්. නිසි කල්යල් බලා නිවැරදිව එල්ල කරන පහරවල් සඳහා ලුයිස් ප්‍රසිද්ධයි. ඒ වගේම තමන්ට පහර එල්ල කරන්න ප්‍රතිවාදියාව පොළඹවලා, ප්‍රතිවාදියාට දරුණු හානි කරන්න සමත් උපක්‍රමශීලීත්වයක් ලුයිස් සතු වුණා.1937 දී ඔහු ලෝක හෙවිවේට් බොක්සින් කිරුළ හිමිකරගන්නවා. ඉන් පස්සේ අවුරුදු 11ක් තිස්සේ අපරාජිතව මේ කිරුළ රැකගන්න ජෝ ලුයිස් තමත් වෙනවා. තරඟ 25ක් තිස්සේ හෙවිවේට් කිරුළ රැකගනිමින් සටන් කරන ජෝ ලුයිස් 1949 දී තාවකාලිකව විශ්‍රාම යන්නේ අපරාජිත ශූරයෙක් හැටියටයි. ඉන් පස්සේ නැවත බොක්සින් තරඟ බිමට පිවිසෙන ලුයිස්, සටන් 68ක් ජයගෙන 3ක් පමණක් පරාජිතව තමන්ගේ බොක්සින් දිවිය නිමා කරනවා.
3. රොකී මාසියානෝ (Rocky Marciano)
හෙවිවේට් සටන්කරුවෙක් හැටියට ඉතාම කුඩා ශරීරයකින් හෙබි ක්‍රීඩකයෙක් තමයි රොකී මාසියානෝ කියන්නේ. ඔහුගේ උස අඩි 5කුත් අඟල් 10ක් පමණයි. නමුත් රොකී බොක්සින් වළල්ලෙන් විශ්‍රාම යන්නේ හෙවිවේට් තරඟ බිමේ දීර්ඝතම අපරාජිත වාර්තාවට හිමිකම් කියමින්. ඒ තරඟ 49-0 හැටියට සුවිශේෂී වාර්තාවක් තබමින්. දැඩි කැපවීමකින් යුතුව පුරුදු පුහුණු වන සටන්කරුවෙක් හැටියටයි රොකී මාසියානෝ ප්‍රසිද්ධ. ඔහු සෑම දිනකම අවම වශයෙන් හැතැප්ම 5ක් වත් දුවන බවත්, තවත් සාමාන්‍ය ක්‍රීඩකයෙක්ට කළ නොහැකි තරම් දුෂ්කර ව්‍යායාම ක්‍රමයන්වල නිරත වෙන බවටත් පැවසෙනවා. මේ නිසාම බොක්සින් වළල්ල තුළ රොකීට කිසිම දවසක මහන්සියක් නොදැනුණු බවට කතාවක් තියනවා. ඒ නිසා දිගින් දිගටම තම ප්‍රතිවාදියාට පහර පිට පහර එල්ල කරමින් ඔවුන්ව අඩපණ කරන්න රොකීට හැකියාව ලැබිල තියනවා. විශේෂයෙන්ම ඔහුගේ වේගවත් පහරවලට ලක්වෙලා තියෙන්නේ ප්‍රතිවාදියාගේ අත්. ඒ මගින් ප්‍රතිවාදියාගේ සටන් දැඩි ලෙස අඩාල කරන්න රොකීට හැකිවෙලා තියනවා. ඉතාම හොඳ ‘චින්’ එකක් සහිත බව පැවසෙන රොකී කිසිම දවසක බිමට වැටෙන්න පහරක්වත් කාල නැහැ කියලයි ප්‍රවීණ ක්‍රීඩා විචාරකයෝ කියන්නේ
4. ජෝ ෆ්‍රේසියර් (Joe Frazier)
‘ස්මෝකින් ජෝ’ ෆ්‍රේසියර් කියන්නෙත් ලෝක හෙවිවේට් බොක්සින් තරඟ බිමේ ඉහළින්ම කියවෙන නමක්. අමුතුම සටන් විලාශයකට උරුමකම් කියපු ජෝ ෆ්‍රේසියර් ප්‍රතිවාදියා ඉදිරිපිට බිමටම නැමෙමින්, ඉදිරියට විත් පීඩනය එල්ල කරමින්, ආක්‍රමණශීලී සටන් විලාසයකට තමයි සටන් කළේ. මේ සටන් ක්‍රමය නිසා ප්‍රතිවාදියාගේ පහර කෑම් වලටත් ෆ්‍රේසියර් නොමදව ලක් වුණා. නමුත් ඔහු සතුව තිබුණු ශක්තිය නිසා එමගින් ෆ්‍රේසියර්ට ලොකු හානියක් නම් වුණේ නැහැ. මොහමඩ් අලී සමග පැවැත්වුණු ෆ්‍රේසියර්ගේ පළමු සටන ‘සියවසේ සටන (Fight of the Century) නමිනුයි හැඳින්වුණේ. ඒ සටනින් මොහමඩ් අලීට තමන්ගේ පළමු පරාජය උරුම කරන්න ෆ්‍රේසියර් සමත් වුණා. අලී එක්ක පැවත්වුව අනිත් තරඟ දෙකෙන් ජෝ ෆ්‍රේසියර් පරාජයට පත්වුණත් ඒවා අති උද්වේගකර තරඟ වුණා. තරඟ 32ක් ජයගෙන 4ක් පමණක් පරාජයට පත්වී තම බොක්සිං දිවිය නිමා කරපු ෆ්‍රේසියර්ව පරාජයට පත් කරන්න සමත් වුණේ ක්‍රීඩකයින් දෙදෙනෙක් පමණයි. ඉන් එක් අයෙක් තමයි මොහමඩ් අලී. අනෙක් ක්‍රීඩකයා ගැන අපි අපේ ඊළඟ උප මාතෘකාවෙන් කියන්නම්…
5. ජෝර්ජ් ෆෝමන් (George Foreman)
සමහරු කියනවා බොක්සිං ලෝකයෙන් බිහිවුණු දරුණුම ප්‍රහාරකයා ජෝර්ජ් ෆෝමන් කියලා. ජෝර්ජ් ෆෝමන්ට තිබ්බේ අසහාය ශක්තියක්. අඩි 6.3ක් උස මේ දැවැන්තයාට එක පහරකින් තරඟයක් අවසන් කිරීමේ හැකියාව තිබ්බා. ඒ වෙද්දී මොහමඩ් අලීවත් පරද්දලා අපරාජිත ශූරයෙක් හැටියට හිටපු ජෝ ෆ්‍රේසියර්ව තමන්ගේ මේ බලය හරහා නොකවුට් කරලා ලෝක හෙවිවේට් ශූරයා වෙන්න ෆෝමන්ට හැකියාව ලැබෙනවා. ෆෝමන් ඔලිම්පික් තරඟාවලියේ බොක්සිං රන් පදක්කම් ලාභියෙක්ද වනවා. ලෝකයේම අවධානයට ලක්වුණු ‘රම්බල් ඉන්ද ජන්ගල්’ සටනේදී මොහොමඩ් අලී අතින් පරාජය වන ෆෝමන්ට තම හෙවිවේට් කිරුළ අහිමි වනවා. නමුත් ඊට දශක දෙකකට විතර පස්සේ වයස අවුරුදු 45 දී මයිකල් මූරර්ව පරදවමින් නැවත ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා වෙන්න ෆෝමන් සමත් වෙනවා. ඒ කාලය වෙද්දී ලෝකයේ වයස්ගතම බොක්සින් ශූරයා යන වාර්තාව හෙබවුවෙත් ජෝර්ජ් ෆෝමන් තමයි. පසු කාලෙකදී මේ වාර්තාව බර්නාර්ඩ් හොප්කින්ස් අතින් බිඳිල ගියත්, අදටත් බොක්සිං ඉතිහාසයේ වයස්ගතම හෙවිවේට් ශූරයා වාර්තාව හොබවන්නේ ජෝර්ජ් ෆෝමන් විසිනුයි. තරඟ 76ක් ජයගෙන 5ක් පරාජය වුණු හැටියට සටහන් වන ෆෝමන්ගේ බොක්සිං වාර්තාවේ ඔහු ජයගත් තරඟ 76න් 68ක්ම නොකවුට් ජයග්‍රහණ වනවා. එයම ප්‍රමාණවත් ජෝර්ජ් ෆෝර්මන් සතුවූ බිහිසුණු බලය ගැන තේරුම් ගන්නට.
6. ලැරී හෝම්ස් (Larry Holmes)
ඉතාම හොඳ ක්‍රීඩා බුද්ධියක් තිබුණ සටන්කරුවෙක් වන ලැරී හෝම්ස් සද්දන්ත ශරීරයක් හිමි සටන් කරුවෙක් හැටියට ඉතාම හොඳ චලන කුසලතාවයන් තිබුණු සටන්කරුවෙක්. ඉතාම හොඳ ආරක්ෂාකාරී සටන් හැකියාවක් වගේම සුපිරි පාද චලනයක් ඔහු සතුව තිබුණා. කාලයක් මොහමඩ් අලීගේ සටන් පුහුණු සඟයෙක් හැටියටත් කටයුතු කරපු ලැරී හෝම්ස්ට පසු කාලීනව අලී සමග සටන් කරන්නත් අවස්ථාව උදාවෙනවා. ඒ සටනින් ලැරී හෝම්ස් ජය ගන්නවා. නමුත් ඒ වෙද්දී අලී තමන්ගේ සටන් දිවියේ අවසන් කාලය ගත කරමින් හිටපු නිසා ඒ ජය ලැරී හෝම්ස්ගේ ඉහළ දක්ෂතාවයක් හැටියට වැඩි දෙනෙක් සළකන්නෙ නැහැ. බොක්සිං දිවියේ එක් අවස්ථාවක තරඟ 48ක් අපරාජිතව, රොකී මාසියානෝගේ වාර්තාව අසලම හිටියත් තමන්ගේ 49 වන සටන ඔහු මයිකල් ස්පින්ක්ස්ට පරාජය වෙනවා. 20 වතාවක් තමන්ගේ හෙවිවේට් කිරුළ රැකගෙන සටන් වැදී ඇති හෝම්ස් තමන්ගේ බොක්සිං සටන් දිවිය නිමා කරන්නේ තරඟ 69ක් ජයගෙන 6ක් පරාජය වූ හැටියටයි.
7. ජැක් ඩෙම්ප්සි (Jack Dempsey)
1920 ගණන්වල බොක්සිං ලෝකයේ අතිමහත් ජනප්‍රියත්වයට පත් වුණු ක්‍රීඩකයෙක් වන ජැක් ඩෙම්ප්සි බොක්සිං ක්‍රීඩාව ඇමරිකාවේ ප්‍රචලිත කරන්න මූලික හේතුවක් වුණු ක්‍රීඩකයෙක්. 1916 සිට 1926 දක්වා කාලයේදී ලෝක හෙවිවේට් ශූරතාවය අපරාජිතව රැකගන්න ජැක් ඩෙම්ප්සි සමත් වනවා. බොහොම බලවත් ප්‍රහාරකයෙක් වන ජැක් ඩෙම්ප්සි තරමක් දුරට මයික් ටයිසන්ගේ සටන් විලාසයට සමාන සටන් විලාසයකින් හෙබි ක්‍රීඩකයෙක්. පහත්වෙමින්, පැත්තට පැද්දෙමින් ප්‍රතිවාදියාගේ පහර වළක්වමින් දරුණු ප්‍රහාර එල්ල කිරීම ඩෙම්ප්සිගේ සටන් ක්‍රමයේ විශේෂ ලක්ෂණයක්. නොකවුට් විශේෂඥයෙක් හැටියට වගේම පිට පිට අති වේගවත් මුෂ්ටි පහර (Punches) එල්ල කිරීමේ සුවිශේෂි හැකියාවක් තිබ්බ ක්‍රීඩකයෙක් හැටියටත් ඩෙම්ප්සි ප්‍රසිද්ධයි. ඩෙම්ප්සි හා සටන් වැදුණු ප්‍රතිවාදීන්ගේ ඉල ඇට, හකු බිඳුණු අවස්ථාත් යහමින් වාර්තා වෙන්නේ ඔහු සතු ඒ වේගවත් සහ ප්‍රචණ්ඩ සටන් විලාසය නිසයි.
දැන් සමහරු බලනවා ඇති ලංකාවෙ අපි අතරත් අති ජනප්‍රිය සටන්කරුවෙක් වුණු මයික් ටයිසන් මේ ලැයිස්තුවට ඇතුළත් වෙලා නැත්තේ ඇයි කියලා. ඒකට හේතු බොහොමයක් තියනවා. ඒ නිසා අපි මයික් ටයිසන් ගැන මෙහෙම කියලා ආටිකල් එක නිමා කරන්නම්. ඒ තමයි, මයික් ටයිසන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වුණේ මයික් ටයිසන්ම බව. එසේ නොවන්නට මයික් ටයිසන්ට ලෝකයේ ශ්‍රේෂ්ඨතම බොක්සිං ක්‍රීඩකයෙක් හැටියට විශ්‍රාම යන්න ඉඩ තිබ්බා…
Leave a Reply