දැන් ඔය ටීවී ආපු මුල් දශකය දෙක ඇතුළත අපිට බලන්න ටීවී චැනල් බරගාණක් තිබුණෙ නැහැනේ. ඒ වගේම තමයි, පිටරට ටීවී සීරීස් එහෙමත් අතේ ඇඟිලි ගාණට තමයි තිබුණේ. හැබැයි ඉතින් ඒ තිබුණු ටීවී සීරීස් ටික නම් ඒ කාලේ මාරයි. සමහර විට ඒකට හේතුව ඒ කාලේ අපි පොඩි පහේ වයසක හිටපු එකද දන්නෙ නෑ. හැබැයි මේ වෙනකොට මාරම කන්සෙප්ට්, මාරම ග්‍රැෆික්, මාරම කොලිටියක් එක්ක එන ටීවී සීරීස් වැහි වැහැලා තිබුණත්, අදටත් ඒ ඉස්සර ටීවී සීරීස් ගැන මතක් කරන එකත් රහයි. ඒකට හොඳම උදාහරණයක් තමයි “නයිට් රයිඩර්” ටීවී සීරීස් එක. ඊට පස්සෙත් නයිට් රයිඩර් සීරීස් දෙකක්ම ආවත්, අර ඔරිජිනල් නයිට් රයිඩර් එකේ තියෙන කොලිටි ෆීලින්ග් එක අදටත් අමතක වෙන්නෙ නෑ!
ඉතින් ඒ අතීත ටීවී සීරීස් ගැන තියෙන මතක මිහිරියාවත් එක්ක අපි හිතුවා, ඒ කාලේ අපිට අල්ලලම ගියපු ටීවී සීරීස් කීපයක් ගැන ආයෙමත් මතක් කරන්න.
1.Viper
අපි පටන් ගන්නකොටම නයිට් රයිඩර් ගැන මතක් කරපු නිසා, තවත් කාර් සම්බන්ධ ටීවී සීරීස් එකක් වුණු වයිපර් ගැනත් කතා කරන්න හිතුවා. මේක ඇත්තටම 90 දශකයට අයත්, ඒ කියන්නේ 1996 පටන් අරගෙන 1999 න් ඉවර වුණු ටීවී සීරීස් එකක්. ඇත්තටම නයිට් රයිඩර් තරමට පිස්සුවක් නොවුණත්, සම්පූර්ණයෙන්ම කාර් එක වෙනස් කරන්න පුළුවන් වුණු නැනෝ තාක්ෂණයත් එක්ක ආපු වයිපර් කාර් එක සහ ඒකේ රියැදුරා විදියට ඉන්න, බ්‍රේන් වොෂ් කරපු පරණ අපරාධකරුවෙක් වෙන ජෝ ඇස්ටර් වත් අමතක කරන්න බෑ. ඇත්තටම වයිපර් කාර් එකේ තියෙන වැඩ කෑලි නයිට් රයිඩර් කාර් එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් එව්වා. ඩ්‍රෝන් කියලා දෙයක් අහලවත් නොතිබුණු ඒ කාලෙත් වයිපර් කාර් එකේ ඩ්‍රෝන් එකක් තිබුණා. එතකොට වෙඩි නොවදින නැනෝ ස්කින් වල ඉඳලා විවිධ වෙපන්ස් දක්වා වයිපර් එකේ තිබුණු වැඩ කිඩ නම් අමතක කරන්න බෑ.
2. Kung fu
ඇත්තටම ගොඩක් අයට මුලින්ම මතක ඇත්තේ කුන්ග්-ෆූ ටීවී සීරීස් එක නෙවෙයි. ඒකෙම ස්පින්-ඕෆ් එකක් විදියට ආපු කුන්ග්-ෆූ-ද ලෙජන්ඩ් කන්ටිනුඅස් එක තමයි ගොඩක් දෙනෙක්ට මතක තියෙනවා ඇත්තේ. හැබැයි ඊට සැහෙන්න කලින්, අපිත් ඉපදෙන්න තියා ලංකාවේ ගෙවල් වලට ටීවී එන්නත් සෑහෙන්න කාලෙකට කලින් – ඒ කියන්නේ 1972 ඉඳලා 1975 කාලේ දක්වා- ඔරිජිනලි තිරගත වුණු කුන්ග්ෆූ ටීවී සීරීස් එක ඇත්තටම ආධ්‍යාත්මික භාවනාවක් වගේ එකක්. ඒකේ තියෙන්නේ ඇමරිකානු පියෙකුගේ අනාථ දරුවෙක් වුණු ක්වායි චෑන් කේන් පූජකවරයට සූදානම් වෙමින් ෂැඕලින් ආරාමයෙන් සටන් කලාව සහ ධර්මය ඉගෙන ගැනීමත්, පස්සේ ෂැඔලීන් පංසල විනාශ වීමත් එක්ක ඇමරිකාව හරහා ගිය දීර්ඝ ගමනත් සම්බන්ධයෙන් තමයි. නම කුන්ග්ෆූ වුණාට මේක හැරෙන හැරෙන පැත්තට ෆයිට් තියෙන සීරීස් එකක් නම් නෙවෙයි. ඒ වෙනුවට ඉතාම ලගන්නා සුළු ආකාරයකින් දාර්ශනික අදහස් කැටි කරගෙන ගලාගෙන යන ටීවී සීරීස් එකක්. ඩේවිඩ් කැරඩින් අපිට වීරයෙක් වෙන්නෙත් කුන්ග්ෆූ බැලුවට පස්සේ තමයි.
3. Robocop
රොබෝ කොප් කියන්නේ අනූව දශකයේ ටීවී බලපු අපිට අමතක කරන්න පුළුවන් චරිතයක් නෙවෙයිනේ. ඇලෙක්ස් මර්ෆි කියන දීප්තිමත් අනාගතයක් තිබුණු පොලිස් නිලධාරියා අපරාධකරුවන්ගේ ප්‍රහාරයකින් ජීවිතයත් මරණයත් අතර සටන් කරන තැනකට ගියත්, රොබෝ තාක්ෂණය එක්ක රොබෝ පොලිස් නිලධාරියෙක් වෙන කතන්දරේ අපි රොබෝකොප් ෆිල්ම්ස් වලින් දැක්කා. ඊට පස්සේ ආපු දෙවෙනි රොබෝකොප් ටීවී සීරීස් එක ගැන තමයි මේ කියන්නේ. පළවෙනි රොබෝකොප් ටීවී සීරීස් එක කාටුන් සීරීස් එකක්නේ. අපි කතා කරන දෙවෙනි ටීවී සීරීස් එක කැනේඩියන් එකක්. මේකේ රොබෝකොප්ගේ උත්පත්ති කතාවේ ඉඳලා යන්නෙ නෑ. මර්ෆි රොබෝකොප් වුණාට පස්සේ සීන් ටික තමයි මේකේ තියෙන්නේ.
4. Brisco County Jr.
දැන් ඉන්න ගොඩක් අය බෘස් කැම්ප්බෙල්ව දන්නේ අර ඊවිල් ඩෙඩ් ෆිල්ම් සීරීස් එකේ හිටපු හාදයා විදියටනේ. හැබැයි අපි ඇත්තටම මනුස්සයව අඳුනගන්නේ බ්‍රිස්කෝ කවුන්ටි ජූනියර් විදියට. ඒ ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් බ්‍රිස්කෝ කවුන්ටි ජූනියර් ටීවී සීරීස් එකේ. මේක 1993 විකාශය වුණු ටීවී සීරීස් එකක්. අසූ ගණන් වල ඇමරිකානු වයිල්ඩ් වයිල්ඩ් වෙස්ට් තැනිතලාවල නියම කව්බෝයි තීම් එකක ගියපු මේ ටීවී සීරීස් එකේ, වේගවත් අශ්ව ලුහුබැඳීම්, වේගවත් රිවෝල්වර සටන් වගේම වේගවත් දුම්රිය වික්‍රමයන් වගේ අසූ ගණන් වල අගභාගයේ ඇමරිකාව නිරූපණය කරන ඕනම කව්බෝයි සීරීස් එකකින් බලන්න පුළුවන් ක්‍රියාදාම හැමදෙයක්ම තියෙනවා. හැබැයි ඊට වඩා දේකුත් ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් බ්‍රිස්කෝ කවුන්ටි ජූනියර් ටීවී සීරීස් එකේ තියෙනවා. ඒ තමයි කාලය හරහා ගමන් කරන්න හැකියාව ලබාදෙන, අනාගතයෙන් ආපු අද්භූත වස්තූන් සහ කාල තරණය වගේ තේමාවන්. ඒවාත් එක්ක මේක නියම කව්බෝයි/සයි-ෆයි බ්ලෙන්ඩ් එකක් බවට පත් වෙලා තියෙනවා.
5. Water margin
වෝටර් මාර්ජින් කිව්වට ඇත්තටම ගොඩක් දෙනා මේ ටීවී සීරීස් එක දන්නේ දිය කඩඉම කියලා තමයි. මොකද, ජාතික රූපවාහිනියේ මේ ටෙලි සීරීස් එක ගියේ දිය කඩඉම කියන නමෙන්. ඇත්තටම ගත්තොත්, ඉංග්‍රීසියෙන් වෝටර් මාර්ජින් කියන මේ චීන ටීවී සීරීස් එක, 14 වෙනි ශතවර්ෂයේ ලියැවුණු චීන වෘතාන්ත නවකථාවක්. මේක චීන සාහිත්‍යයේ එදාමෙදා තුර ලියැවුණු විශිෂ්ටතම ක්ලැසික් නවකතා හතරෙන් එකක් විදියට සැලකෙනවලු. මේකේ කතාව තියෙන්නේ ඒ කාලේ තිබුණු අධිරාජ්‍යයේ ප්‍රබලයන්, ප්‍රාදේශීය නායකයන් වගේ අයගේ විවිධ නොපනත්කම් නිසාත්, තමන්ගේ අතින් වුණු යම් යම් වැරදි තීරණ නිසාත් පිටුවහල් වෙන්න සිද්ධ වෙන මිනිස්සු ගැන. එකිනෙකාව නොදන්න මේ මිනිස්සු එකම තැනකදී එකතු වෙනවා. ඒ තමයි ලියන්ග්ෂාන් වගුරු බිම. මේකට ලේසියෙන් හමුදාවකටවත් එන්න බෑ. ඊටත්, මේ මිනිස්සු හැමෝම විවිධ පැති වලින් අතිදක්ෂයෝ. බොහෝ දෙනෙක් යුද්ධ ශිල්පයේ, සටන් කලාවේ සහ වෙනත් විවිධ සටන් ක්‍රම වල අතිදක්ෂයෝ. ඉතින් මේ අයගේ කතාව තමයි දිය කඩඉම කතාවේ ගලාගෙන යන්නේ. ඇත්තටම වෝටර් මාර්ජින් කතාවෙන් හැදුණු ටීවී සීරීස් කිහිපයක් අතරින් මේක එකක් විතරයි.
6. The X Files
මේක නම් ටිකක් හුරුපුරුදු චොයිස් එකක්. ඒත් අපි 90 දශකයේ පිස්සු වැටිලා හිටපු ටීවී සීරීස් එකක් කියන එක අමතක කරන්නම බැරි නිසා, ද එක්ස් ෆයිල්ස් සීරීස් එකත් අපි මේ ලිස්ට් එකට ගන්නවා. විශේෂයෙන්ම අපිට ඒලියන්ස්ලා ගැන එහෙම අමුතුවෙන් හිතන්න, ලෝකේ සිද්ධ වෙන පැරනෝමල් දේවලුත් ඇත්තටම ඇති කියලා හිතවන්න එහෙම දායක වුණෙත් මේ ද එක්ස් ෆයිල්ස් සීරීස් එක තමයි. ඒ නිසාම ෆොක්ස් මෝල්ඩර් සහ ඩේනා ස්කලී කියන්නේ අපේ හිත් වලින් සදා නොමැකෙන චරිත බවට පත් වෙලා තියෙනවා. ද ටෘත් ඊස් අවුට් දෙයාර් කියන මේ සීරීස් එකේ ස්ලෝගන් එක අපිට කටපාඩම් වෙලා තියෙනවා. ඒ වගේම, අදටත් අහුවෙන වෙලාවක ද එක්ස් ෆයිල්ස් ආයෙ ආයෙත් බලන්නෙත් ඒ අතීත මතකයන් එක්ක හිතේ රැඳිලා තියෙන කුතුහලය මුසු රසය නිසාමයි.
7. Beverly Hills, 90210
මෙන්න ඒ කාලේ හොරෙන් හොරෙන් බලපු ටීවී සීරීස්. දැන් කාලේ අපි බලන නෙට්ෆ්ලික්ස් සීරීස් වල එහෙම විදියට නම් මේකේ ඇති දෙයක් නෑ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඒ කාලේ නම් අපිට මේකේ තිබුණු හොට් හොට් පොඩි කෑලි මාරම ආතල්. මේකේ තියෙන්නේ බෙවර්ලි හිල්ස් වල ජීවත් වුණු හයි ස්කූල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කණ්ඩායමකගේ ජීවිතේ ගතවෙන විදිය ගැන. මේ සෙට් එකේ ලව් ඉලව් සීන්, හාට්බ්‍රේක්, ක්‍රෂ් අනං මනං ඔක්කොම මික්ස් එකේ අරගෙන ආපු බෙවර්ලි හිල්ස් එක්ක අපේ හයිස්කූල් ජීවිතේ ගැනත් ඒ විදියටම හීන දැක්කා කියන්ඩකො.
මේ සමහර ටීවී සීරීස් අදටත් ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න තියෙනවා. සමහර ඒවා ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න නැතත්, ඔය ටීවී සීරීස් විකුණන හාදයෝ ගාව තියෙන්න ලොකු ඉඩක් තියෙනවා. අනවසරයෙන්, හොරෙන් බාගත්තු එව්වා තමයි ඉතින්. හැබැයි හොයාගෙන බලන්න තියෙනවා නම් ලොකු දෙයක්නේ.
Leave a Reply