දරන්න බැරි දුකකින් පිරුණු හිතක් සුවපත් කරගන්නේ මෙහෙමයි

බුදුහාමුදුරුවන්ගේ ඉඳලා ගොඩක් දාර්ශනිකයෝ කියපු කතාවක් තමයි, ජීවිතේ කියන්නේ හරි දුකක් කියන එක. ඒක ඇත්ත. සතුටු වෙන්නත් ගොඩක් දේවල් තියෙන මේ ජීවිතේ අපිට දුක් වෙන්නත් දේවල් සෑහෙන්න ලැබෙනවා. ගොඩක් වෙලාවට කෙනෙක්ගේ හිතකට දරාගන්න බැරි තරමේ දුකක් ලැබෙන ෂුවර් විදියක් තමයි ලව් එකක් කියන්නේ. නොලැබෙන ආදරයක්, වෙනත් විදියකට කිවුවොත්, අපි පැලෙන්න ආදරෙන් හිටියත්, අපිට ඒ ආදරේ පෙරළා ලැබෙන්නෙ නැති අවස්ථාවක් කියන්නේ ඒකට උදාහරණයක්. එහෙම අවස්ථාවකදී ඒ දුක තුනී කරගන්නේ කොහොමද කියලත් අපි කියලා තියෙනවා. හැබැයි සමහර වෙලාවට, ඒ කියපු ක්‍රමවේද කරන්න බැරි අවස්ථාවන් එනවා. උදාහරණයක් විදියට කිවුවොත්, අපිට මේ ගැන කියන්න කිසිම විශ්වාසවන්තයෙක් නැතිවෙන්න පුළුවන්. ඒ වගේම අපිට ආදරේ නොලැබුණත්, ඒ කෙනාව අතඇරලා යන්න බැරි තත්ත්වයක් තියෙන්න පුළුවන්. ආන්න එහෙම වෙලාවක වුණත් අපිට හිතින් විඳවමින් ඉන්න බැහැනේ. මේ හිත බර කරන දුකෙන් පිටතට එන්න ක්‍රමයක් හොයාගන්න ඕන. හිත සැහැල්ලුවෙන්, හිත සතුටින් ජීවත් වෙන්න විදියක් හොයාගන්න ඕන.

 

ආන්න ඒකට සමහර විට මේ කියන දේවල් උපකාරී වෙයි…

 

1. තමන් වෙනුවෙන් පොඩි කාලයක් ගන්න

මේක අනිවාර්යයි. අපිට කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන ආදරේ නොලැබෙනවා කියන කටුක සත්‍යය පිළිගන්න වුනාට පස්සේ, ඒ සිත්තැවුලෙන් අත්මිදෙන්න නම්, ඒ කෙනා එක්ක තියෙන සම්බන්ධකම් පොඩ්ඩක් ඈත් කරන්න වෙනවා. ඒක තමයි පහසු ක්‍රමය. හැබැයි දැන් මෙතනදී මොකක් හරි හේතුවක් උඩ ඒ සම්බන්ධකම් ඈත් කරන්නත් බැහැනේ. ආන්න ඒ නිසා හොඳම දේ එයාටත් කියලා ඔයා වෙනුවෙන් පොඩි කාලයක් ගන්න එක. ඒ පොඩි කාලය ඇතුළතදී ඔයා සම්පූර්ණයෙන්ම සෝෂල් මීඩියා වලින් සහ එයා එක්ක සම්බන්ධ වෙන පොදු ප්ලැට්ෆෝම් වලින් අයින් වෙලා හිටියත් කමක් නෑ. එතකොට එයාව විතරක් බ්ලොක් කළා වෙන්නෙ නැහැනේ. ඒ වගේම ඒ කාලය පොඩ්ඩක් තනියෙන් ගත කරන්න උත්සාහ කරන එකත් ඉතාම හොඳයි.

හැබැයි මේ කාලය ගත කරන්න ඕන ඔහේ හිත හිතා, දුක් වෙවී, ලතැවෙමින්, ආත්මානුකම්පාවේ ගැලෙමින් ජීවත් වෙන්න නෙවෙයි. ඊට වඩා ප්‍රතිඵලදායක දේවල් තියෙනවා කරන්න. පහළට කියවගෙන යනකොට ඒවා පැහැදිළි වෙයි.

 

2. ශරීර චලන

පුංචි කාලේ අපි ඇහෙන ඕන සීපදේකට ඔහේ අපේ ආතල් එකේ නටනවා. හා නැද්ද? හැබැයි අපි ටික ටික ලොකු වෙනකොට, මේ ඕනම දේකට ඩාන්ස් එකක් දාලා අපේ ආතල් එක ගන්න පුළුවන් හැකියාව නැති වෙලා යනවා. ඇත්තම කිවුවොත් ඒක මාරම අපරාදයක්. දැන් අපි කිව්වනේ මේ විදියේ හිත්තැවුලකට පස්සේ පොඩ්ඩක් තනියෙන් ඉන්න පුළුවන් නම් හොඳයි කියලා. ආන්න එතකොට කරන්න පුළුවන් දෙයක් තමයි අපේ මේ කියපු පුංචි කාලෙට යන එක. ඒ කියන්නේ ආතල් ට්‍රැක් එකක් දාලා, තනියම ඩාන්ස් කරන්න. දැන් මෙතනදී චාචාචා, ජයිව්, සල්සා හරි බෝල්රූම් හරි, උඩරට පහතරට හරි නැටුම් හදාරලා තියෙන්න ඕන නෑ. නිකම්ම හිතෙන විදියට හිතෙන හිතෙන විදියට චලනය වෙන්න, දඟලන්න, පිස්සු නටන්න. හිතේ තියෙන හැම දුක්සංකාවක්ම ඇඟෙන් එලියට විසි වෙලා යනකල්ම දඟලන්න.

 

ආයෙ කවුරුවත් පිස්සු කියලා හිතයිද කියලා වොරි වෙන්න දේකුත් නෑ. තමන් තනියමනේ ඉන්නේ.

 

3. මොකක් හරි දෙයක් එක්ක ඒකාත්මික වෙමු

මෙන්න මේක හිත් සෝ ලතැවුල් වලට කියාපු බෙහෙත. මොකක් හෝ දෙයක් එක්ක බැඳෙන එක, ඒකාත්මික වෙන එක. හැබැයි ඒක පුද්ගලයෙක් එක්ක බැඳීමක් කරගන්න එපා. අපි හිත් තැවුල් වල ඉන්නකොට වෙනත් පුද්ගලයෙක් එක්ක ප්‍රේමයට සමාන හෝ බැඳීමක් ඇතිකරගන්න යන එක නුවණට හුරු නෑ. හැබැයි සොබාවදර්මය එක්ක ඒකාත්මික වුණාට, බැඳීමක් ඇතිකරගත්තට කිසිම ගැටළුවක් නෑ. යන්න තනියම ට්‍රිප් එකක්. ගස් කොළං පිරුණු ක්ෂේමයකට, එහෙම නැතිනම් නිරන්තරයෙන් මුහුදු රළ පෙරළීගෙන එන වෙරළතකට. ගිහින් ඒ තැන් වල තියෙන නිස්කලංකත්වය, ඒ තැන් වල ඇහෙන සද්ද, ඒ තැන් වල දැනෙන ෆීල් එක, මේ හැමදෙයක්ම එන්ජෝයි කරන්න.

 

එහෙම නැතිනම් සංගීතයත් එක්ක බැඳීමක් ඇති කරගන්න. තමන්ගේ හිතට සතුට ගෙනෙන සංගීතය අහන්න. ඒ සංගීතයත් එක්ක එකතු වෙන්න උත්සාහ කරන්න. සංගීතයත් එක්ක ගායනා කරන්න. ඒ විදියට මොකක් හරි දෙයක් එක්ක ඒකාත්මික වෙන්න.

 

4. ශරීර සුවතා

අපි මේ විදියේ හැම ආටිකල් එකකම අනිවාර්යයෙන්ම සඳහන් කරන දෙයක් තමයි ශරීර සුවතාවය. ඇයි ඒ? ඒක තමන් ගැන හොඳ හැඟීමක් ඇති කරවන්න, බලහත්කාරයකින් තොරව කරන්න පුළුවන් දෙයක් නිසා. ඒකට ජොගින් යන එක, ජිම් එකට යන එක, ස්විමින් කරන එක, සයිකල් පදින එක වගේ ඕනම ශරීරය වෙහෙස කරවන, ශරීරයට සුවතාවය ගෙන එන දෙයක් කරන්න පුළුවන්. හැබැයි හොර බොරු කරන්න බෑ. අවංකවම ඒකේ ප්‍රතිඵල ලැබෙන විදියට ශරීරය වෙහෙසවන්න ඕන. එහෙම ශරීරය වෙහෙසෙන කොට අපිට අමුතු ප්‍රබෝධජනක හැඟීමක් ඇතිවෙනවා. ඒ වගේම, අපි ගැන හොඳ හැඟීමක් දන්නෙම නැතුව ඇතිවෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම මේ ආටිකල් එකේ කතාකරන විදියේ අවුලක් නිසා තමන්ගේ ආත්ම විශ්වාසය, ආත්ම සම්මානය බිඳවැටිලා තියෙන කෙනෙක්ට හොඳ ආත්ම විශ්වාසයක්, ආත්ම සම්මානයක් ලබාදෙන්නත් මේක ඉවහල් වෙනවා.

 

5. හිතත් එක්ක කතා කරන්න

අපි ඇත්තටම කවදද අන්තිමට අපි එක්කම කතාබහ කළේ? ඒ කියන්නේ තනියම කතා කරන එකට තමයි. ඇයි ඉතින් ඒකේ වැරැද්ද මොකද්ද? උදාහරණයක් විදියට අපි හිතමු අපේ හිතට ඔන්න දුක ඇතිවේගෙන එනවා කියලා. ඒකට හේතුව මොකක් හරි ස්මරණයක්, මතක සටහනක් වෙන්න පුළුවන්. අන්න එතකොට ඒක යටපත් කරන්න උත්සාහ කරනවා වෙනුවට අපිට පුළුවන් අපේ හිතත් එක්ක කතා කරන්න. “ඇයි දැන් මොකද්ද අවුල? අවුලක් ගන්න එපා, අපි කතා කරමු. හරි, පරණ දේවල් මතක් වෙනකොට හිත රිදෙනවා තමයි. ඒත් අපිත් සතුටින් ඉන්න ඕන නේද? අපි සතුටු වෙන්න පුළුවන්, ආස හිතෙන දේවල් කරමු.” මෙන්න මේ විදියට හිතත් එක්ක කතා කරන්න පුළුවන්. එතකොට හිත අපිට රිප්ලයි කරයිද? දන්නෙ නෑ. හැබැයි හිත රිප්ලයි කළත් නොකළත් කමක් නෑ. අපි හිතත් එක්ක කතා කරනකොට හිත සැහැල්ලු වෙනවා. ආන්න ඒක තමයි අපිට ඕන කරන්නේ.

 

6. මානුෂීය සුහද හැඟීම්

ඇත්තටම අවංක, හොඳ යාළුවෝ ජීවිතේට ඉන්න එක ලොකු දෙයක්. දැන් අපි හර්ට් වෙලා තියෙන්නේ කවුරු හරි හින්දනේ. දැන් ඒ කෙනාට අපිව එයාගෙ ජීවිතෙන් ඈත් කරන්න අවශ්‍යත් නැහැනේ. එතකොට අපි දැනගන්න ඕන එතනදී අපිට යාළුවෙක් විදියට හරි ඉන්න කියන්නේ අවංකවම අපිව අවශ්‍ය නිසාද, එහෙම නැතිනම් අපිව පාවිච්චි කරන්න, අපිව හාවා කරන්න තියෙන පවිටු අරමුණකින්ද කියලා. එහෙම පවිටු, පටු අරමුණු නැති නම්, අපිට පුළුවන් අවංකත්වය එක්ක බැඳුණු මිත්‍රකමක් ජීවිතේට ලැබීම සම්බන්ධව. එතනදී අපිට පරාර්ථකාමීත්වයෙන්, විශාල හදවතකින් යුතුව, මානව භක්තියෙන් යුතුව හිතන්න පුළුවන් නම්, අපේ හදවත ගොඩක් දුරට සැහැල්ලු වෙයි. ඇත්තටම එහෙම හිතන්න සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා විශාල හදවතක් තියෙන්න ඕන. අපිට එහෙම ප්‍රමාණයට වඩා විශාල හදවතක් තියෙනවා කියලා අපිටම දැනෙන එකෙනුත් ඇත්තටම අපේ ජීවිතේ තවත් සැහැල්ලු වෙනවා.

 

7. ඔබ විශිෂ්ටයි

අපිට මේ විදියේ ඉමෝෂනල් පහරක් වැදුණහම වෙන දෙයක් තමයි අපේ ආත්ම විශ්වාසය සහ ආත්ම සම්මානය නැති වෙන එක. ඒ කියන්නේ, අපිට එයාගෙ ආදරේ ලැබුණේ නැත්තේ අපේ මොකක් හරි අඩුපාඩුවක් නිසාය, එහෙම නැතිනම් අපි පරාජිතයෙක්ය වගේ අදහස් අපිට එන්න පුළුවන්. ආන්න ඒක අපි කඩාගන්න ඕන. විශේෂයෙන්ම අපි ශරීර සුවතාවය පිළිබඳව සඳහන් කළෙත් ඒකයි. හැබැයි ඒ මදි. මේ වෙලාවේ තමයි අපි ඇත්තටම හිතලා බලන්න ඕන අපි ගැන සහ අපේ අනාගතය ගැන. අපි කරන දේක එක්ස්පර්ට් කෙනෙක් වෙන්නේ කොහොමද, අපි ඉස්සරහට යන්නේ කොහොමද, අපි අපිවම ගොඩනංවාගන්නේ කොහොමද කියන කාරණා දිහා තමයි මේ වෙලාවේ බලන්න ඕන. හැබැයි ඒ දිහා බලලා විතරක් මදි, ඒ විදියටම අපි ගොඩනැඟෙන්නත් ඕන. එහෙම ගොඩනැඟුණට විතරකුත් මදි, අපි විශිෂ්ටයි කියන එක අපි අපිටම මතක් කරගන්න ඕන. ආන්න ඒක අත්‍යාවශ්‍යයි.