වික්ටෝරියානු යුගයේ සෞඛ්‍යාරක්ෂාව පැවතුණු හැටි 

අතීත ශ්‍රී විභූතිය ගැන කියවෙන ගොඩක් තැන්වල අතීතයේ තිබුණ අපිරිසිදුකම ගැන සඳහන් වෙන්නේ අඩුවෙන්. ලංකාවේ වැද්දන් ගැන කියන ස්පිට්ල්, එවකට වැද්දන් ඈත සිටම හඳුනාගැනීමට ඔවුන්ගෙන් හමන හඩු ගඳ හේතු වුණු බව සඳහන් කර තිබෙනවා. ඉතින් වික්ටෝරියානු යුගය… එනම් 1830-1900 කාලය තුළ එවකට දියුණු ලෝකයේ පිරිසිදුකම ගැන තිබුණු අරුම පුදුම පුරුදු ගැන අපි ටිකක් සොයා බලමු.

 

1. නානකාමර සහ වැසිකිළි

නානකාමර වල නාන එකටත් වික්ටෝරියානු යුගයේදි ක්‍රමවේද තිබුණා. ඒ ක්‍රම වලට අනුව නාන්න ගොඩක් අය පෙළඹුණා. නාන විට අඳින්න ඕන ඇඳුම් පවා ගැහැනු අයට එකල නියම කෙරුණා. මුල් කාලයේ නිවස ඇතුළත නානකාමර තිබුණේ නැහැ. ඒ නිසා නාන එකත් තවත් එක අවස්ථාවක් විදිහට දක්වලා නාන අවස්ථාවට ඇඳුම් නියම වෙලා තිබුණා. ඒවා දැන් වගේ කොට, පහසු ඒවා නම් නෙමෙයි. දැන් බටහිර වැසිකිළි වල බොහෝවිට ටොයිලට් පේපර් තිබෙනවා. මුලින්ම ටොයිලට් පේපර් ආවේ 1870 දී. ඉන් පස්සේ 1914 දී ටොයිලට් පේපර් රෝල් ආවා. එතෙක් වැසිකිළි දැඩි දුගඳක් හමන සහ ඒ දුගඳ නසන්නට තවත් රසායනයන් දාන තත්ත්වයක තමයි තිබුණේ.

 

 

2.සුවඳ කාරක භාවිතය සහ පිරිසිදු කිරීම්

 

දැන් නම් සිරුරේ විවිධ තැන්වලට ආලේප කරන විවිධ ආකාරයේ සුවඳකාරක තිබෙනවා. ඒත් වික්ටෝරියා යුගයේ ඒ වැනි ආලේප තිබුණේ සුළුවෙන්. ඒවා පවා ලබාගත හැකි වුණේ ඇති හැකි සුළුතරයක් කාන්තාවන්ට පමණයි. ඒ නිසා ඔවුන් සිරුරෙන් හමන දුගඳ නැතිකරගන්නට රම් වැනි මධ්‍යසාර පාවිච්චි කළා. රම් මුලින්ම ජනප්‍රිය වෙලා තියෙන්නෙත් දීර්ඝ කාලයක් මුහුදේ යාත්‍රා කරන යාත්‍රිකයින්ගේ ඇඟෙන් හමන දුගඳ නැතිකරන්න. ඒ වුණත් එකල ජනයා උඩ ඇඳුම් පිරිසිදු කළේ ඉතාම කලාතුරකින්. යට ඇඳුම් නම් ගඳ ගහන නිසා සතියකට වරක් දෙකක් පිරිසිදු කරගත් බව සඳහන් වෙනවා.

 

 

3. දත් ගැලවීම

 

දත් ගලවන්නට නිර්වින්දනය ජනප්‍රිය වන්නට පෙර දත් ගැලවීම මහත් වේදනා දෙන සිදුවීමක් වුණා. එකල ජනයා දත් මදින්නට ලුණු, අඟුරු වැනි ද්‍රව්‍ය පාවිච්චි කළා. අද පාවිච්චි වන දත් බුරුසුව මුලින්ම හඳුන්වා දී ඇත්තේ 1857 දී. ඒත් නයිලෝන් කෙඳි වලින් අද දකින දත් බුරුසු එන්නේ 1930න් පසුවයි. එම කාලයේදී ලංකාවේ ජනයා නම් විවිධ දැහැටි කූරු වැනි දෑ භාවිතයෙන් දත් පිරිසිදු කරගත්තා. ඒත් එකල යුරෝපීය ජනයා ලුණු අඟුරු වලින් දත් ඇඟිල්ලෙන් පිරිසිදු කරගැනීමට හුරු වෙලා තිබුණා.

 

 

4. මකුණන්ගෙන් ගැලවීම

 

මකුණන් දැන් ගෙවල් වල අඩු වුණත් කොටුව මරදාන රේල්වේ ස්ටේශන් වල බංකු වලනම් තාමත් යහතින් ඉන්නවා. මේ මකුණු කරදරය ඉස්සර අපේ ගෙවල් වල අයත් මූණ දීපු ලොකු ගැටළුවක්. මේකෙන් ගැලවෙන්න ඉස්සර වික්ටෝරියානු යුගයේදි ජනයා භූමිතෙල් වලින් මුළු ඇඳම හෝදලා තියෙනවා. 1900ට පෙර කාලයේදී අශ්ව කරත්ත පාවිච්චි වුණා. ඒ නිසා ලන්ඩන්, නිව්යෝක් ආදී එවකට ජනාකීර්ණ නගර වල පිරිසිදුකම අභියෝගයට ලක් වුණා. අශ්ව කරත්ත වලින් දුමක් පිට නොවුණත් අශ්වයින්ගේ මළ පහ වලින් මග දෙපස පිරී ගියා. ඒ වැනි කාරණාත් මකුණන්, කැරපොත්තන් සහ මැස්සන් වැඩිපුර බිහිවෙන්නට හේතු වන්නට ඇති.

 

 

5. මේකප් කට්ටල

දැන්නම් ඊයම් සහ ආසනික් වැනි බැරලෝහ අඩංගු රූපලාවණ්‍ය ක්‍රීම් වර්ග ආදිය වැඩි පාවිච්චියක් නැහැ. මොකද මේවායෙන් සමට හානි වෙනවා. ඒ වගේම තල්මසුන්ගෙන් ගන්න තෙල් මුහුණේ ආලේප කිරීමත් එකල ජනප්‍රිය වුණා. ඇස් වල පිහාටු කළුපාට කරන්නට එකල දැන් පාරට යොදන තාර පාවිච්චි කරලා තියෙනවා.

 

 

6. අපද්‍රව්‍ය

 

මිනිස් අපද්‍රව්‍ය ඒ කියන්නේ මළ ද්‍රව්‍ය ඉවත් කරන්නට එකල තිබුණේ අප්‍රසන්න ක්‍රමවේදයක්. එකල ඇතැම්විට ගේ ඇතුළේම වැසිකිළි තිබුණත් ඒ වැසිකිළි අපද්‍රව්‍ය ගියේ වලකට හෝ නල වලට නෙමෙයි, කෙළින්ම තැනකට එකතු වූ ඒවා පසුව මිනිසුන් විසින් ඉවත් කරගත්තා. මෙය කොතරම් අප්‍රසන්න වැඩක්ද කිවහොත් පස්සේ කාලෙක මේ මළ ද්‍රව්‍ය ඉවත් කළේ රාත්‍රී කාලයේදී පමණයි. ගෙදර දොර අපද්‍රව්‍ය ගෙනියන්න එකල දැන් මෙන් දියුණු කසල කළමනාකරණ ක්‍රමවේද දියුණු රටවල තිබුණේත් නෑ. ඔවුන් සිය කසල යාබද වූ පාළු ඉඩමකට සිරිත් පරිදි බැහැර කරන්නට පුරුදුව සිටියා.

 

 

7. ෂැම්පෝ වෙනුවට විනාකිරි

 

ඔළුව මුලින්ම බිත්තර සාරු වලින් හෝදලා පසුව නැවත විනාකිරි වලින් සෝදාගැනීම එකල ජනප්‍රිය හිස සේදීමේ ක්‍රමයක් වුණා. දැන් නම් බිත්තර වලටත් වඩා මිල අඩුවෙන් බිත්තර සාරු ඇතුළත් ෂැම්පෝ ජනප්‍රිය වෙලා තියෙනවා. එකල බිත්තර සහ විනාකිරි ඔළුවේ දමලා හේදුවාට පස්සේ ඒ ඔළු වලින් හැමූ සුවඳ නම් ලේසි එකක් වෙන්න නැතුව ඇති.

 

 

සබන් වර්ග, පිරිසිදුකාරක, ටයිල් ක්ලීනර්, කුස්සියේ ක්ලීනින් දේවල් වගේ විවිධාකාර පිරිසිදුකාරක අද ලෝකයේ තියෙනවා. සබන් ෂැම්පෝ වැනි දේවල් පාවිච්චි නොකරන ගෙයක් දැකගන්නත් අපහසුයි. නොදියුණුම රටවල හැර දැන් මිනිස් මළ පහ බැහැර කිරීම වැනි දේවල් වඩාත් පිළිවෙලක් වී තිබෙනවා. ඉතින් අතීතයේ තිබුණ ලොකු දේවල් වගේම අතීතයේ තිබුණ අඩුපාඩුකම් ගැන ඉගෙන ගන්න එකත් අපිට එක්තරා විදිහකින් වැදගත් වෙයි නේද?

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *