අපේ පුංචි කාලේ පොත් කියවන්න ආස පොත් ගුල්ලො හැමෝගෙම හිත් සොරාගත් පොත් ටිකක් ගැන කියන්නයි හදන්නෙ. දැන් කාලෙ ළමයින්ට වගේ ටැබ්, ස්මාට් ෆෝන් නැති නිසා අපිට තිබුණ එක් ප්‍රධානම විනෝදාංශයක් තමා පොත් කියවන එක. එක මොහොතකින් වෙනස්ම ලෝකයකට අපිව අරන් යන්න පොත් සමත් වුණා. ඒ කාලෙ පාඩම් පොත් අස්සෙ, ඉස්කෝලේ ඩෙස්ක් අස්සෙ තියාගෙන කියෙව්ව මේ පොත් ඔයාගෙ ළමා කාලෙත් හැඩ කරාද බලන්න?
1. හරි අපූරු ඉස්කෝලේ
Enid Blyton සහ Pamela Cox එකමුතුවෙන් ලිව්ව St. Clare’s කතා මාලාව සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කරලා තියනවා. කතා පොත් 9කින් සමන්විත මේ කතා මාලාවෙ Enid Blyton පොත් 6කුත් Pamela Cox පොත් 3කුත් ලියල තියෙනව. අපි පොඩි කාලෙ හරි ආසාවෙන් තියන් කියවපු කතා මාලාවක්. එක පාරක් නෙවෙයි කීප වතාවක්ම මේ පොත් සෙට් එක කියවපු අය තමා ගොඩක් ඉන්නෙ. නිවුන් සහෝදරියෝ වන පැට්, ඉසබෙල් දෙන්න එක්ක ඉස්කෝලෙ අනික් අය එකතු වෙලා කරන පුදුම සහගත වැඩ ගැනයි එයාලගෙ ඉස්කෝලේ ගුරුවරු ගැනයි කතාව කියවගෙන යද්දි අපි හිතින් ඉන්නෙ ඒ ඉස්කෝලෙමයි. දඟ වැඩ වගේම යහපත්කම ගැන අපූරු පාඩම් අපිට මේ පොත් පෙළෙන් ලැබුණා කිව්වොත් නිවැරදියි. ඉතින් අපේ ළමා කාලෙ සුන්දර කරපු මේ පොත් සෙට් එකම ඕනම පොත් සාප්පුවකින් ඔයාලට තවමත් ගන්න පුළුවන්.
2. මඩොල් දූව
උපාලි, ජින්නා හා මඩොල් දූපත වටා ගෙතුණු මාටින් වික්‍රමසිංහයන්ගේ අද්විතීය නිර්මාණය අපි පොඩි කාලේ සෑහෙන්න රස වින්දා. මේ දෙන්නා මඩොල් දූවට ගිහින් වගා කරගෙන ජීවිතේ ජයගත් මේ කතාව අපේ විෂය නිර්දේෂයන් වලත් තිබ්බා. අපේ පොඩිකාලෙ තිබ්බ පොත් අතර උඩින්ම තිබ්බ පොතක් තමයි මේ. මඩොල් දූව පොත නිකුත් වුණ මුල් කාලෙදි මේ පොතේ කතාව ආදර්ශෙට අරගෙන වගා කරන්න කියල ගෙදරින් යන්න හදපු පොඩි ළමයි ගැනත් අපූරු ඉතිහාස කතා ගම් පළාත් වල තියෙනව. ඒ තරම් රසවත් සහ ආශ්වාදජනක අත්දැකීමක් මඩොල් දූව පොත හරහා මාටින් වික්‍රමසිංහයන් අපිට ලබාදෙනව. ජින්නා සහ උපාලිගෙ වික්‍රමයන් අපි පොත ඇතුළට රිංගල බලන් ඉන්නව කියල දැනෙන තරම් අපූරු අත්දැකීමක් ඒක. ඉතින් ඔයාලට මතකය ආවර්ජනය කරගන්න ඕනෙනම් අදටත් ගොඩක් ජනප්‍රිය මේ පොත හොයාගෙන කියවන්න.
3. පාළු දූපත
අපේ ළමාකාලේ ත්‍රාසජනක අත්දැකීමක් ගෙනාපු පාළු දූපත පොත නොකියවපු කෙනෙක් නැති තරම්. එච්. ජී. ජයසුමන මහතා තමා මේ අධ්‍යාපනික නවකතාව ලිව්වෙ. ඉස්කෝලෙ යන ළමයෙක්ව අල්ලගෙන කරවල වාඩියකට ගෙනියනවා. ඔහුට එතනදි හිතවත් වෙන තවත් ළමයෙක් එක්ක එක අවස්ථාවකදි දූපතේ තනි වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සෙ එයාලගෙ ජීවිතේ තනියම පවත්වගෙන යන්න එයාලා ඉස්කෝලෙ ඉගෙනගත්තු විද්‍යා පරීක්ෂණ අත් හදා බලන ගමන් දූපතෙන් බේරිලා යන්න ක්‍රම හොයන කතාවක් තමා මේකෙ තියෙන්නෙ. ඇත්තටම මේක ත්‍රාසය, භීතිය වගේම විනෝදය කැටිවුණු කුතුහලය දනවන කතාවක්. කියවපු නැති අය අනිවාර්යෙන්ම කියවන්න මේක කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නැති කතාවක්.
4. සත් සුමිතුරන්ගේ කතා
Enid blyton ගේ Secret seven කතා මාලාවේ සුදත් රොහාන්ගේ සිංහල පරිවර්තනය වෙන සත් සුමිතුරෝ කියන්නෙ නොඉවසිල්ලෙන් කියවන් ගිය පොත් සෙට් එකක්. පීටර් ඔහුගේ සහෝදරී ජැනට්, ජැක්, ජෝර්ජ්, පෑම්, බාබ්රා, කොලින් හා සුරතල් බලු පැටියා ස්කැම්පර් එක්ක එකතු වෙලා සමාජයට යහපත් දෙයක් කරන්න, නැත්නම් මොකක් හරි අභිරහසක් විසඳන්න සාකච්ඡා කරන සහ ඒ දේවල් ක්‍රියාත්මක කරන විදිය ගැනයි මේ කතාවල තියෙන්නෙ. පීටර් තමා මේ සෙට් එකේ හෙඩ්. ඇත්තටම කියවන් යද්දි හරිම ආස හිතෙන කතා සෙට් එකක් තමයි මේ. මේක පොත් 17කින් සමන්විත කතා පෙළක්.
5. ෂර්ලොක් හෝම්ස්
එදා විතරක් නෙමෙයි අදටත් අපි ෂර්ලොක් හෝම්ස් පොත් කියවන්න මාර ආසයිනෙ. සර් ආතර් කොනන් ඩොයිල් ලියපු අති විශිෂ්ට නිර්මාණ චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තන පොත් විදියට තමා අපිට ලංකාවෙ කියවන්න තියෙන්නෙ. ෂර්ලොක් ගැටළු විසඳන්න භාවිතා කරන ශිල්ප ක්‍රම දැක්කම නිතැතින්ම අපිටත් රහස් පරීක්ෂකයන් වෙන්න ආස හිතුණෙ නැත්තන් පුදුමයක්. ෂර්ලොක් හෝම්ස් පොත් කියවල පුංචි පුංචි රහස් පරීක්ෂණ අපි නොකළාමත් නෙවෙයි නේද? ඇත්තටම මේක විශිෂ්ට නිර්මාණයක්.
6. චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ට්‍රි
රෝල් ඩාල් විසින් රචිත Charlie and the Chocolate factory පොතේ චන්දන මෙන්ඩිස් විසින් කළ සිංහල පරිවර්තනය වන චාලි හා අරුම පුදුම චොක්ලට් කම්හල කියන්නෙත් හරිම රසවත් කතා පොතක්. මේක ටිකක් ලොකු පොතක් උනත් ඒ කාලෙ එක හුස්මට කියවන් ගියපු පොතක්. අපූරු මායාමය ගතියක් දනවන හීන ලෝකෙක ඇවිදින හැඟීම දෙන විලී වොන්කාගෙ චොක්ලට් ෆැක්ටරි එක මේ පොත කියෙව්වට පස්සෙ හීනෙනුත් පේන තරම්. චාලි බකට්ගෙ සත්‍යවාදී බව සහ අවංකකම ගැන අපූරු පාඩම් කියල දෙන මේකෙ එන චරිත ඔයාලට මතකද? මතක නැති අය වහාම මේ පොත හොයන් කියවන්න ඕනෙ ඔන්න.
7. හයිඩි
Johanna Spyri විසින් රචිත හයිඩි කතාවේ පරිවර්තනය කරල තියෙන්නෙ සේනානි ධර්මරත්න. ළමා කාලෙ අපේ සිත් බැඳලා තියාගත්තු කතාවක්. මුලින්ම 1880 ජර්මන් භාෂාවෙන් කොටස් දෙකකට ලියවුණු මේ කතාව භාෂා ගණනාවකටම පරිවර්තනය වෙලා අදටත් මුද්‍රණ ලක්ෂ ගණනින් විකිණෙන පොතක්. ස්විට්සර්ලන්තයේ ඉන්න සොබාදහමට වගේම සතුන්ට ආදරේ පුංචි හයිඩිගෙ කතාව කියවන්න අපි ඒ කාලේ හරිම ආස කළා. හයිඩිගෙ එළු පට්ටිය, සීයා, ග්‍රැනී, ක්ලාරා එක්ක ගලාගෙන යන මේ කතාව කියවන ඕනම කෙනෙක්ට හිතින් ලස්සන චිත්‍රයක් මවාගන්න පුළුවන්.
Leave a Reply