පාර්ලිමේන්තුව ඇතුළේ ඇහෙන අමුතු වචනවල තේරුම් දැනගනිමු

පාර්ලිමේන්තුව කියන්නේ රටක නීති හදන තැන. අනිත් රටවල වගේම අපේ රටෙත් නීති හදන තැන තමයි පාර්ලිමේන්තුව. අපේ රටේ පාර්ලිමේන්තුව ගැන නම් රටේ ජනතාවගේ ඒ හැටි කැමත්තක් නැති බව තමයි සමාජ මාධ්‍ය වල කතා වෙන දේවල් වලින් පේන්න තියෙන්නේ. අපේ රටට යටත් විජිතවාදීන් පැමිණීමට පෙර රාජාණ්ඩු ක්‍රමයක්  තමයි තිබුණේ. ඉන් පස්සේ තමයි ටිකෙන් ටික පාර්ලිමේන්තු ක්‍රමයට ලංකාව පරිවර්තනය උනේ. ඉතින් ඔන්න ඔය පාර්ලිමේන්තුව ඇතුළේ තියෙන සම්ප්‍රදායන් එහෙම ටිකක් විශේෂ ඒවා. ඒ වගේම තමයි ඕක ඇතුළේ කතාවෙන සමහර වචන එහෙමත් ටිකක් විශේෂයි. ඉතින් අන්න ඒ විශේෂ වචන කිහිපයක් ගැන කතා කරන්නයි අපි අද ලෑස්ති වෙන්නේ.

 

 

1. විසර්ජන පනත

විසර්ජන පනත කියන වචනේ වැඩිය හුරුපුරුදු නැති උනාට ‘අයවැය’ කියල කිව්වොත් හැමෝම මේ ගැන දන්නවා. ඉතින් විසර්ජන පනත එහෙම නැත්නම් අයවැය කියල සරලව කියන්නේ රටේ මුදල් පාලනය සම්බන්ධව ආණ්ඩුවේ සැලැස්ම කියන එකයි. අපේ රටේ මුදල් පාලනය සම්බන්ධව බලතල ආණ්ඩුවට ලැබෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දාහත් වෙනි පරිච්ජේදය අනුවයි. විශේෂයෙන් ආණ්ඩුව ඊළඟ මුදල් වර්ෂයට මුදල් වියදම් කරන්නේ කොහොමද, ඒ වියදම් වලට මුදල් හොයාගන්නේ කොහොමද වගේ කාරණා ගොඩක් විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වෙනවා. ඒ නිසා අනිත් හැම පනතකටම වඩා මේ පනත විශේෂයි. හැබැයි අනෙක් පනත් වගේම මේකෙදිත් පළමුවර කියවීම, දෙවෙනි වර කියවීම සහ තුන්වෙනි වර කියවීම කියන අවස්ථා තුනම අනුගමනය කරන්න ඕනේ. ඉන් පස්සේ ජන්දය විමසීම සිදු වෙනවා. ඒකේදී වැඩි ජන්දයෙන් සම්මත උනොත් එය පනතක් ලෙස නීතියක් බවට පත් වෙනවා. යම් හෙයකින් මේ විසර්ජන පනත් කෙටුම්පතක් ජන්ද විමසීමෙන් පරාජය උනොත් ව්‍යවස්ථාවේ 48(2) වගන්තිය අනුව ඇමති මණ්ඩලය විසිරෙනවා. 

 

 

2. පනත් කෙටුම්පත, පනත

අපි කිව්වනේ පාර්ලිමේන්තුව කියන්නේ රටේ නීති හදන තැන කියල. ඉතින් පාර්ලිමේන්තුවේ හදන නීති වලට තමයි පනත් කියන්නේ. අපිට පනත කියනකොට තව වචනයක් මතකෙට එනවා. ඒ තමයි ආඥා පනත කියන වචනේ. අපි මුලින්ම ඒ ගැන කතා කරමු. ඉස්සර අපි බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වෙලා ඉඳිද්දී අපිට නීති හදන පාර්ලිමේන්තුවක් තිබුණේ නෑ. ඒ කාලේ මෙහෙ ඉන්න ආණ්ඩුකාරයා හරහා මහා බ්‍රිතාන්‍යයේ රැජිනගේ අත්සනින් එවන නීති තමයි තිබුණේ. ඒවා තමයි අපි ආඥා පනත් කියල හඳුන්වන්නේ. හැබැයි නිදහසෙන් පස්සේ අපේ නීති අපිමයි හදාගත්තේ. ඒවා කාගෙවත් ආඥාවල් නෙමෙයි. ඒවා සාමාන්‍ය විදිහට පනත් කියල හඳුන්වනවා. ඒ වගේම ඕනෑම පනතක් පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න කලින් නීතියක් වෙන්නේ නෑ. ඒ නිසා ඒකට නිකන්ම පනත් කෙටුම්පතක් කියල කියනවා. හැබැයි පාර්ලිමේන්තුවේ සම්මත උනාට පස්සේ එක පනතක් (නීතියක්) වෙනවා.

 

 

3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

මෙහෙම කියමුකෝ. ඕනෑම රටක් කියන්නේ රාජ්‍යයක් නේ. ඒ රාජ්‍යය පවත්වාගෙන යන්න ආණ්ඩුවක් ඕනෙනේ. ඒ ආණ්ඩුව කියන්නේ රාජ්‍යයේ වැඩි බහුතර ජනතාවගේ කැමැත්ත දිනාගත්තු පාලකයන් පිරිසෙන් සමන්විත මොඩලයක්. අන්න ඒ ආණ්ඩුවට, අදාළ රාජ්‍යය කරගෙන යා යුත්තේ කොහොමද කියන එක සඳහන් කරපු ලියවිල්ල සහ එකී රටේ ජනතාවගේ අයිතිවාසිකම් දැක්වෙන ලියවිල්ල තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ. කෙළින්ම කිව්වොත් රාජ්‍යය පාලනයට අදාළ සියලු දේ සඳහන් වෙන ලියවිල්ල තමයි ව්‍යවස්ථාව. ඕනෑම රටක මුලික නීතිය වෙන්නේ ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ඉතින් ඒක වෙනස් කරනවානම් ඒ වෙනස් කරන කාරණාවේ වැදගත්කම අනුව පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර කැමැත්ත හෝ ජනමත විචාරණයකින් ඒ දේවල් වෙනස් කරගත හැකියි. 

 

 

4. හැන්සාර්ඩ් වාර්තාව

ඉස්සර එංගලන්තයේ ජීවත් උනා මනුස්සයෙක්. එයාගේ නම ලුක් හැන්සාඩ්. ඉතින් එයාගේ රස්සාව උනේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කෙරෙන වාද විවාද මුද්‍රණය කිරීමයි. ඔය ටික කිව්වම තේරෙනවා නේද මොකක්ද හැන්සාඩ් කියන්නේ කියල. හැබැයි හැන්සාඩ් ගේ නම ඕකට වැටුනට ඔය වැඩේ ඊට කලින් ඉඳල කලේ ලුක් ගේ බොස් වෙච්ච ජෝන් හියුස්. කොහොමෙන් කොහොම හරි නම ගියේ හැන්සාඩ් ගේ. ඔය විදිහට එංගලන්තයේ ඔය නම රෙජිස්ටර් උනාට පස්සේ අනිත් රටවලුත් ඔය වාර්තාවට හැන්සාර්ඩ් වාර්තාව කියල භාවිතා කරන්න ගත්තා. කොහොමහරි හැන්සාඩ් කියන්නේ පාර්ලිමේන්තුවේ සභා වාර වලදී කරන ප්‍රකාශ සහ කතා වාර්තා කරන ලියවිල්ලට. අපේ රටේ හැන්සාඩ් එකේ සිංහල ඉංග්‍රීසි සහ දෙමළ කියන භාෂා තුනම මුද්‍රණය වෙනවා. මේ වාර්තාවේ සමහර දේවල් කතානායකවරයාගේ නියෝගයෙන් ඉවත් කෙරෙන අවස්ථා දකින්න ලැබෙනවා. විශේෂයෙන් පරුෂ වචන එහෙම ඒ විදිහට හැන්සාඩ් එකෙන් ඉවත් කෙරෙනවා. මේ සියළු කටයුතු වලට පාර්ලිමේන්තුවේ වෙනම අංශයක් පවා ඉන්නවා. ඒ හැන්සාඩ් දෙපාර්තමේන්තුව.

 

 

5. ස්ථාවර නියෝග

ස්ථාවර නියෝග කියල කියන්නේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුන් සභා ගැ‌බේදී පිළිපැදිය යුතු හැසිරීම් රටාව සහ විවාදයන්හිදී පිළිපැදිය යුතු ක්‍රියා පිළි‌වෙත් නියාමනය කිරීම සඳහා එකඟ වූ නීති සමුදාය කියල කියන්න පුළුවන්. මේ ස්ථාවර නියෝග වල මූලික අරමුණ වෙන්නේ පාර්ලිමේන්තුව විනයානුකූලවත්, අර්ථාන්විතවත් පවත්වාගෙන යන්න අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. ඉතින් මේ ස්ථාවර නියෝග වෙනස් කරගන්න එක, අලුතින් නියෝග ඇතුළත් කරගන්න එක වගේ දේවල් පාර්ලිමේන්තුවේ ඉන්න උදවියටම කරගන්න පුළුවන්. හැබැයි ඒකට මුලින්ම ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවක් පත් කරලා ඒ හරහා තමයි ඒ වෙනස් කිරීම් කරගන්න ඕනේ. ඒකත් ස්ථාවර නියෝග 116 සඳහන් වෙනවා කරන්න ඕනේ විදිහ.

 

 

6. සෙංකෝලය

ගොඩක් අය දන්නවා ඇති පාර්ලිමේන්තුවේ කටයුතු පටන් ගන්නේ මේ සෙංකෝලය කියන සංකේතය සභාවේ තැන්පත් කිරීමෙන් කියල. ඒකෙන් සංකේතවත් වෙන්නේ පාර්ලිමේන්තුවේ බලය සහ අභිමානය කියලයි පොත් පත් වල තියෙන්නේ.  ඒ වගේම සෙංකෝලය කතානායකවරයාගේත් බලාධිකාරය පෙන්වන සංකේතයක් විදිහට සැළකෙනවා. ඉතින් ඒ නිසා සෙංකෝලය නොමැතිව පාර්ලිමේන්තුව රැස් වෙන්න බැහැ කියල කියනවා. දැන් තියෙන සෙංකෝලයේ ආකෘතිය නිර්මාණය කරලා තියෙන්නේ එස් පී චාර්ලිස් කියන චිත්‍ර ශිල්පියා. ටිකක් හොයල  බැලුවොත් ඔයාලට තේරෙයි මේ නිර්මාණය කොයි තරම් සංකීර්ණ එකක්ද කියල. විශේෂ කාරණාව තමයි කතානායකවරයා ආසනයේ ඉන්න වෙලාවට සෙංකෝලයේ පලිඟුව ආණ්ඩු පක්ෂය පැත්තට හරවල තමයි තියන්නේ. කතානායක කෙනෙක් තෝරන වෙලාවට සෙංකෝලය මුලාසන මේසය උඩ තැන්පත් කරනවා. 

 

 

7. ඒකාබද්ධ අරමුදල

පහුගිය කාලෙත් මෙන්න මේ ඒකාබද්ධ අරමුදල ගැන ගොඩක් දෙනෙක් කතා උනා. ඒ පාර්ලිමේන්තුව පත්වෙන්න කලින් මේ අරමුදලෙන් ජනාධිපතිවරයා මුදල් භාවිතා කරපු සිද්ධියක් නිසා. යම් නිශ්චිත කාර්යයක් සඳහා වෙන් නොකරනු ලැබූ සහ රජය සතු සියළුම අරමුදල් වලට තමයි ඒකාබද්ධ අරමුදල කියන්නේ. විසර්ජන පනතක් සම්මත කරන්න කළින් පාර්ලිමේන්තුව විසුරුවා හැරපු අවස්ථාවක නැවත පාර්ලිමේන්තුවක් පත්වන තුරු සහ එම පාර්ලිමේන්තුව පත් වෙලා මාස තුනක් යනකන් මේ අරමුදලෙන් මුදල් නිදහස් කරගන්න ජනාධිපතිවරයාට බලය ලබාදීලා තියෙනවා. හැබැයි ඒ රජයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන්නත්, මහා මැතිවරණයක් සඳහා මුදල් වෙන් කරලා නැත්නම් ඒ වෙනුවෙනුත් විතරයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *