කාලයක් ආශ්‍රය නොකරපු යාළුවෙක් එකපාරම අපිව හොයාගෙන එන්න බලපාන හේතු මේවා තමයි

ඔය නෑයෝ හරියට වේයෝ වගේ කියල කතාවක් තියෙනවනේ. සමහර නෑයෝ අපි කියන්නේ. ඒ වගේම තමයි යාළුවෝ ගත්තත්. සමහරු නිතර කතාබහ නොකළත් ඇත්තටම, බොක්කෙන්ම යාළුවෝ. එහෙම අය අපිව ආශ්‍රය කරන්නේ යටි අරමුණු තියාගෙන, උදවු උපකාර බලාගෙන නෙවෙයි. හැබැයි තව සමහර යාළුවෝ ඉන්නවා, උන් යාළුවන්ට වඩා කූට්ටාලිකාරයෝ තමයි. ආයෙ ලඟින් ගියොත් ඇහැක් නෑ. කතාකළොත් මොකක් හරි උදවුවක් ඉල්ලගන්න. හැබැයි ඉතින් සමහර වෙලාවට කතා කරන්නේ අපිට දාහක් උදවු කරලා තියෙන ගාණට.

ඉතින් අපි හිතුවා එහෙම යාළු මාළුවෝ ගැනත් ටිකක් කියන්න. අඩු තරමින් පරිස්සම් වෙන්න හරි හැකිවෙයිනේ!

 

1. සැබෑ යාළුකමට මතක් වෙලා

ඔව්, මුලින්ම මේක කියන්නේ, අපි මොකක් හරි දේක නරක දකින්න කලින් හොඳත් පොඩ්ඩක් බලලා එන්න ඕන නිසා! සමහර විට යාළුවට මනෝපාරක් ගහගෙන ඉන්නකොට ඇත්තටම අපිව මතක් වෙලා බලලා යන්න ආවා වෙන්නත් පුළුවනිනේ. මොකුත් ගේන්න නැත්තේ ලෝබකමට නෙවෙයි, සමාජ දුරස්ථභාවය ගැන හිතලා. ඒ ඇරෙන්න ඉතින් බලන්න ආපු එකම මදැයි! එහෙම නැතිනම් කෝල් එකක්, චැට් එකක් දාලා “හායි මචෝ, ඉතින් කොහොමද?” කියලා අහන්න ඇත්තේ අවංක, පිරිසිදු චේතනාවෙන්, යාළුකම නිසාම වෙන්න පුළුවන්. හා බැරිද?

හැබැයි එහෙම කියලත් හිත හදාගන්න බැරි තරමට සතාව ෂුවර් නැත්තං, ගොඩක් වෙලාවට මනුස්සයා එන්න ඇත්තේ පල්ලෙහා තියෙන දේවලින් එකකට වෙන්නත් පුළුවන් ඉතින්! අපි හිත හොඳ අයියගේ චරිතේ පොඩ්ඩක් කළාට හාවටම ඇඳගන්න හොඳත් නෑනේ!    

 

2. ඉන්ෂුවරන්ස් විකුණන්න

“මචන් දැන් හිතලා බලන්න, ඔයාට ලෙඩ කීයක් තියෙනවද? ඩයබිටිස්, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්? එහෙම ලෙඩ මොකුත් නෑ? හරි, ඒත් ඉතින් දැන් කාලේ හතලිහ පනිනකොටම ඔය ලෙඩදුක් එහෙමත් එනවනේ. අනික දැන් කාටද කොරෝනා නැත්තේ? කොරෝනා වලින් බේරුණත්, දවසක ගොනෝරියා හරි හැදෙන්න පුළුවන්, හා නැද්ද? ඉතින් මචන්, ජීවිතං අනිතයං, මරණං නියතං, අපි හැමදාම ජීවත් වෙන්න ආවෙ නෑනේ. ඒ නිසා අපි අනාගතේ සැලසුම් කරල තියන්න ඕන. හා නැද්ද? ආන්න ඒ නිසා තමයි අපිට ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් තියෙන්න ඕන. ආයෙ ෂුවර් ඇන්ඩ් ෂොට් අම්බානෙක ප්‍රතිලාභ තියෙනවා! මොකද්ද ඇහුවේ? ආ, ඉන්ෂුවරන්ස් එකේ මේ ගාණ හම්බුවෙන්න එක්කෝ අතකුයි කකුලකුයි, එක්කෝ අත් දෙකම, එක්කෝ කකුල් දෙකම, එක්කෝ ඉණෙන් පල්ලෙහා චකබ්ලාස් වෙන්න ඕන. එහෙම වුණොත් ආයෙ බයවෙන්න දෙයක් නෑ, සල්ලි අතේ. ඇහ්? අතක් කැඩුණොත්? අතක් කැඩුණා කියලා ඉන්ෂුවරන්ස් එකෙන් සල්ලි දෙන්න බෑනේ මචං, ඒකට අත් දෙකම කඩාගන්න තමයි වෙන්නේ!”

ආන්න එහෙම ඉන්ෂුවරන්ස් ලයින් එකක් ඇඟේ ගහන්න ඕන නිසා යාළුවට අපිව මතක් වුණා වෙන්න පුළුවන්! 

 

3. පිරමීඩ් ස්කීම්

සමහර යාළුවෝ අපි බලන්න එන්නේ වෙනද වගේ සීටී හන්ඩ්‍රඩ් එකේ නෙවෙයි. ජැන්ඩියට ඇඳලා, පැළඳලා, සන්ග්ලාසස් එහෙම දාලා කෙළින්ම සුපිරි වණ්ඩියක පැසෙන්ජර් සීට් එකේ ඇවිත් ගෙදරට ගොඩබහිනවා. කාලෙකින් දැකපු යාළුවට හරි ගිහින් තියෙන නිසා අපිටත් සන්තෝසයි. ඔන්න ඉතින් ආගිය කතා අතරේ පොර හෙමිහිට මාතෘකාවට බහිනවා. “ඉතින් මේ දවස් වල ජොබ් එකෙන් එහෙමත් ලොකු ආදායමක් ලැබෙන්නෙ නැතුව ඇති නේද? ඇත්තටම මෙයා ජොබ් කර කර හිටියට දියුණු වෙන්න බෑ. තමන්ගෙම දෙයක්, සල්ලි සං සං ගාලා එන වැඩක් පටන් ගන්න ඕන. දැං මං කොහොමද හිටියේ, දැන් කොහොමද ඉන්නෙ බලන්න. ආයෙ දියුණු වෙන මිනිහට දෙයියොත් උදවු කරනවා මචං. උඹටත් ඕන නං මම පොඩි චාන්ස් එකක් සෙට් කරන්නං. ඇත්තටම මේකට විස්වාසවන්ත මනුස්සයෙක් මිසක් වෙන ඇච්චො බැච්චො හරියන්නෙ නැති නිසයි උඹට මේක කියන්නේ. අනික මචං, ගෙදර ඉඳන් බෑන්ක් එකවුන්ට් එක දිහා බලගෙන ඉන්න විතරයි තියෙන්නේ. මේම මේම සල්ලි වැටෙන්නේ. උඹට තියෙන්නේ ගෙදර ඉඳන් ෆෝන් එකෙන් දන්න කියන අයට මාකටින් වැඩ ටිකක් කරන්න විතරයි. පස් දෙනෙක්ව සෙට් කරල දුන්නනං ඇති. පටන් ගැන්මට පොඩි ආයෝජනයක් කරන්න වෙනවා, හැබැයි සතියෙන් ඒක ඩබල් වෙයි, සතියෙන්. මොකක් කිව්වා? පිරමිඩ්? පිස්සුද මචං, මේවා නීත්‍යානුකූල බිස්නස්” ඔහොම පටන් අරගෙන ඉතින් කොහොම හරි අපිව මෝරා කරලා, රුපියල් පන්දාහේ චයිනීස් සෝලර් ලයිට් සෙට්‍ එක ලක්සෙකට කර ගස්සන්න තමයි පොරගේ ට්‍රයි එක. ඕං යාළුවෝ!

 

4. අහල පහල කෑල්ලකට ටෝක් කරන්න

මෙව්ව ඉතින් ලොකු අවුලක් තියෙන ප්‍රශ්න නෙවෙයි, හැබැයි අපිට කවදාහරි ප්‍රශ්න වෙන්න පුළුවන් ප්‍රශ්න. ඔය සමහර ඩයල් ඉන්නවා, කොහෙන් හරි ගෑණු ළමයෙක්ව එහෙම රේඩාර් එකට වැටුණට පස්සේ පොඩ්ඩක් මතක් කරලා බලනවා ඔය අවට ඉන්නේ කවුද කියලා. එතකොට ඒ අවට ඉන්නවා කියලා මීටරේට වැටෙන එකාට මීට කලින් කතා කරලවත් නැති වුණාට, කෝල් එකක් දීලා මුලින් සැපදුක් අහලා බලනවා. ඊට පස්සේ හෙමිහිට එන්ටර් වෙනවා මාතෘකාවට. “අර අහවල් ලේන් එකේ ඉන්න අහවල් බැංකුවෙ වැඩ කරන නංකි උඹ අඳුනනවද මචං?” කියලා. ඔව් කිවුවොත් ඉතින් ආයෙ මගුලම සෙට් කරලා තමයි අපිට අවසානයක් දකින්න වෙන්නේ. ඕකේ ප්‍රශ්නේ වෙන්නේ, අපි ඕකට මැදිහත් වෙලා, අර යාළුවා කෙල්ලටත් බූට් එක තියලා මාරු වුණු දවසට, ආයෙ යාළුකම් හොයන්න ලැබෙන්නෙත් නෑ.

ඒ ඇරෙන්න ඉතින් එහා ලේන් එකේ හිත ගියපු කෙල්ල එනකල් ලගා ගහන්න, එතකල් උදේට දවල්ට කෑම වේල පිරිමහගන්න එහෙමත් ඔය යාළුවා අපිට කාලෙකට පස්සේ කතා කරලා සෙට් කරගන්න පුළුවන්. එහෙව් යාළුවෝ අපි හැමෝටම ඉන්නවනේ!

 

5. ණයක් ඉල්ලගන්න

මේක ඉතින් ජනප්‍රියම කාරණාවනේ. අපි ඉන්නවද මළාද කියලා නොදන්න යාළුවන්ට අපිව මතක් වෙනවා සල්ලි කීයක් හරි ඕන වුණහම. ඇත්තටම ඔය සල්ලි සහ යාළුවෝ කියන්නේ මළාට එකට ගාව ගන්න හොඳ නැති සබ්ජෙක්ට් දෙකක්. අපිට ෂුවර්ම ෂුවර් බොක්කේ යාළුවෙක්ට හදිසි අතමාරුවකට කීයක් හරි දෙන එක වෙනම දෙයක්. විශේෂයෙන්ම ඒ දෙන එක ආයෙමත් ගෙවනවා කියලා දන්නවා නං, හිතේ සැකයක් නැතුව සල්ලි දෙන්න පුළුවන්. හැබැයි එක්කෝ අපිව අවුරුදු ගාණකට මතක් වුණේ නැති යාළුවෙක්, එහෙම නැතිනම් “අර අහවල් යාළුවගෙත් යාළුවගේ පාටියේදී තව යාළුවෙක් එක්ක බොන්න සෙට් වුණේ මං, මතකද?” කියලා අහන ලොවෙත් නැති ඩයල් එකක් ඇවිත් අපෙන් දුක් අඳෝනා ටිකක් කියලා, නැතිනම් හදිසි ප්‍රශ්නයක් ගැන කියලා සල්ලි ඉල්ලනකොට දෙන්න පුළුවන්ද? පුළුවන්, හැබැයි ඒ සල්ලි ගැන අදහස අතෑරලා දීලා දාන්න ඕන.

 

6. උපදේශන සේවා

මේක ටිකක් සංවේදී කාරණාවක්. දැන් අපි හැමෝටම ප්‍රශ්න ගැටළු තියෙනවනේ. සමහර වෙලාවට ඒ අපිට එන ප්‍රශ්න ගැටළු එක්ක තනියෙන් ගේම ගහන්න අමාරුයි. ජීවිතේ පවා එපා වෙන්න පුළුවන්. දැන් ඔය වගේ වෙලාවට මොකද කරන්නේ? ඕන නම් උපදේශන සේවාවකට යොමුවෙන්න පුළුවන්. හැබැයි උපදේශන සේවා ගැන දන්නෙ නැති, එහෙම නැතිනම් නොදන්න උපදේශකවරයෙක් එක්ක තමන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න පැකිළෙන කෙනෙක් නම්, ඊලඟට කරන්නේ තමන්ගේ විශ්වාසවන්ත යාළුමිත්‍රයෙක්ට කතා කරන එක. එහෙම කතා කරලා තමන්ගේ ප්‍රශ්නේ කියන එක. ඒකට කිසිම අවුලක් නෑ. අපි මිනිස්සු විදියට හැකි උපරිමයෙන් ඒ උදවුව කරන්න ඕන.

හැබැයි සමහරු ඉන්නවා, මේ අයට තියෙන ප්‍රශ්න මේවා: “අඥී මගෙ ජොබ් එකෙන් ගෙවන ගාණ මදි”, අඥී මට කෙල්ලෙක්වත් නෑ, එදා ඉඳන් අද වෙනකල් තනියට ඉන්නේ අත විතරයි”, “අඥී මගෙ කොල්ලා නිදාගන්න යන්න කලින් ඊයෙ කතා කරේ නෑ”! ඉතින් ඔන්න ඔය වගේ මෙලෝ රහක් නැති ප්‍රශ්නෙකට අපි පැය හතර පහ නාස්ති කරගෙන ඇහුම්කන් දෙන්න ඕන.

තවත් සමහරු ඉන්නවා, ප්‍රශ්නයක් ආවහම, හොඳින් සවන්දෙන යාළුවෙක්ට කතා කරනවා. යාළුවත් තමන්ගේ කාලය ගැන හිතනනේ නැතුව ප්‍රශ්නේ විසඳෙනකල් තමන්ගේ යාළුවත් එක්ක ඉන්නවා. ඊට පස්සේ ප්‍රශ්නේ විසඳුනාට පස්සේ? යාළුවා ආගිය අතක් නෑ. හැබැයි මාස කීපෙකින් වෙන වෙන යාළුවොත් එක්ක වෙඩින් එකේ ගත්තු ෆොටෝස් ටික උපදේශක යාළුවට ෆේස්බුක් එකේ දකින්න පුළුවන්!

 

7. අරක මේක ඉල්ලගන්න

සමහර යාළුවෝ ඉන්නවා, ගෙදර බ්ලෙන්ඩරේ කැඩිලා කියලා උදේ පාන්දරින්ම ගාපු පොල් ටිකත් අරගෙන එනවා කිරි මිරිකගන්න. ආයෙ දවල් වෙලා ඇවිත් අහනවා කාර් එක දවස් දෙකකට දෙන්න පුළුවන්ද කියලා, කෑල්ලත් එක්ක කතරගම යන්න. ඔන්න ඔහොම නියනේ ඉඳලා කාර් එක දක්වා ඉල්ලන යාළුවෝ අපි ඕන කෙනෙක්ට ඉන්න පුළුවන්. ඇත්තටම යාළු ෆිට් එකේ ඉන්න එකෙක්ට, බඩුවක් පරිස්සම් කරල පාවිච්චි කරන එකෙක්ට ඇත්තටම දෙයක් දෙන්න පුළුවන්. හැබැයි ඉතින් මුන්ගේ යාළුකම තියෙන්නේ අරක මේක ඉල්ලන්න කියලා දැන දැනම කොහොමද බඩු දෙන්නේ?

 

තව දෙයක්. දැන් එහෙම යාළුවෙක් උදවුවක් ඉල්ලුවහම අපි නොතකා හරින්න ඕනෙද? නෑ, ඒක මෙහෙමයි. යාළුවා ඉල්ලන උදවුව අපිට ඇත්තටම පහසු තැනක ඉඳලා, අපිට කරදරයක් නැතුව කරන්න පුළුවන් නම්, අපිට ඒ උදවුව කරන එකේ හිතට අවුලකුත් නැතිනම් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම හිත නිදහසෙන් උදවු කරන්න බැරි නම්, කෙලින්ම බැහැ කියලා කියන්න. එච්චරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *