අවුන් සාන් සුකී කියන නම දැනට දශක කිහිපයක ඉඳන් අපිට හොඳින් කනට හුරු පුරුදුයි. ඒකට හේතුව ඇය ඉතාම පෙරළිකාරී දේශපාලන භූමිකාවක් රඟ දැක්වීමයි. ඇය ඉතාම දුෂ්කර ජීවිත ගමනක් ගෙවමින් නොයෙක් අවස්ථාවල සිර අඩස්සියේ පසුවෙමින් නැවත නැවත ශක්තිමත් වෙමින් අද වෙනතුරු ඉතාම අරගලකාරී චරිතයක් වෙමින් ඉන්නවා. ඉතින් බොහෝ දුරට ඇය මියන්මාරයේ අගමැතිනිය ලෙස පමණක් අපිට දකින්නට ලැබුණත් ඇයගේ ජීවිත කතාව තුළ අපිට ලබාගන්න පුළුවන් ආදර්ශ බොහෝයි. ඒ නිසා අපි අද මියන්මාරයේ අගමැතිනිය වන අවුන් සාන් සුකී ගේ ජීවිත කතාව ගැන පොඩ්ඩක් හොයල බලමු.
1. උපත
ඇය උපත ලබන්නේ 1945 වර්ෂයේ ජූනි මස 19 වෙනිදා බුරුමයේ රැන්ගුන් නගරයේයි. බුරුමය අද හඳුන්වන්නේ මියන්මාරය කියලයි. ඒ වගේම රැන්ගුන් අද හඳුන්වන්නේ යැන්ගුන් කියලයි. ඇය නූතන මියන්මාරයේ පියා වශයෙන් හඳුන්වන මේජර් ජෙනරාල් බෝග්යෝකි අවුන්ග් සාන් ගේ දියණියයි. ඔහුත් මියන්මාරයේ ඉතා ප්‍රබල දේශපාලන චරිතයක්. සුකී මැතිනියට ඇයගේ නම ලැබී ඇත්තේ ඇගේ ඥාතීන් තුන්දෙනෙකුගේ නම් වල කොටස් වල එකතුවෙන්. අවුන්ග් සාන් යන නම ඇයගේ පියගෙනුත්, ‘සු‘ යන නම ඇයගේ මිත්තනියගෙනුත්, ‘කී‘ යන නම ඇයගේ මවගෙනුත් වශයෙන් තමයි ලැබිල තියෙන්නේ.
2. අධ්‍යාපනය
අවුන්ග් සාන් කුඩා කාලයේ අධ්‍යාපනය ලබන්නේ මෙතෝදිස්ත ඉංග්‍රීසි උසස් විද්‍යාලයෙන්. ඒ කාලයේ ඉඳන්ම ඇයගේ වැඩි නැඹුරුවක් විවිධ භාෂා ඉගෙන ගැනීම සඳහා තිබිලා තියෙනවා. 1960 දී අවුන්ග් සාන් ගේ මව ඉන්දියාවේ සහ නේපාලයේ බුරුම (මියන්මාර) තානාපතිනිය ලෙස පත්වීම් ලබනවා. ඉතින් තමන්ගේ මව එක්කම අවුන්ග් සාන් දැරියත් ඉන්දියාවට පැමිණෙනවා. ඉන් පස්සේ ඇය නව දිල්ලියේ ශ්‍රී රාම් විද්‍යාලයෙන් දේශපාලන විද්යාව පිළිබඳ උපාධිය ලබාගන්නවා. ඊටත් පස්සේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වන අවුන්ග් සාන් 1969 දී දර්ශනය, දේශපාලන විද්යාව සහ ආර්ථික විද්යාව පිළිබඳ ශාස්ත්රවේදී උපාධිය හිමිකරගන්නවා. ඇය තමන්ගේ ආචාර්ය උපාධිය 1985 දී ලන්ඩන් සරසවියෙන් ලබාගන්නවා.
3. විවාහය
ශාස්ත්රවේදී උපාධිය සම්පුර්ණ කළාට පස්සේ ඇයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා ඇය ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට යනවා. ඒ කාලය තුළ දී තමයි ඇයට ආචාර්ය මයිකල් අරිස් මුණගැහෙන්නේ. අවුන්ග් සාන් 1972 වර්ෂයේදී ආචාර්ය අරිස් සමඟ විවාහ වෙනවා. ඉන් පසු දරුවන් දෙදෙනෙකුට උපත ලබාදෙනවා,
4. දේශපාලනයට පිවිසීම
තමන්ගේ පියාත් මවත් දේශපාලන චරිත වශයෙන් මියන්මාරය තුළ ප්රසිද්ධ චරිත උනත් අවුන්ග් සාන් තුළ දේශපාලනයට පිවිසීමේ අදහසක් නොතිබුණු බව තමයි විවාහය වෙනකල්ම පේන්න තියෙන්නේ. හැබැයි මේ තත්ත්වය වෙනස් වෙන්නේ ඇය නැවත ලන්ඩනයේ ඉඳන් බුරුමයට පැමිණීමත් එක්ක. ඇයට නැවත බුරුමයට එන්න වෙන්නේ රෝගී තත්ත්වයෙන් පසු වෙච්ච ඇගේ මව රැකබලා ගැනීම වෙනුවෙන්. ඒ විදිහට 1988 පැමිණීමෙන් පස්සේ ඇය බුරුමයේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ සංවිධානයකට නායකත්වය ලබා දෙනවා. එවකට බුරුමයේ පැවතුණු හමුදා පාලනය පෙරළා දමා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කිරීම වෙනුවෙනුයි ඇය පෙනීහිටියේ. නමුත් ඇයව එම වසරේදීම නිවාස අඩස්සියට පත් කෙරෙනවා. ඔය අතරතුර 1995 වසරේ ඇගේ සැමියා බුරුමයට ඇවිත් ඇය මුණගැහෙනවා. නමුත් ඉන් පස්සේ ඇයගේ සැමියාට බුරුමයට පැමිණීමට බුරුමයේ පාලනය වීසා බලපත්‍ර නිකුත් කළේ නැහැ. වීසා ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් කොෆී අන්නන්, එවකට පාප් තුමා සහ නොයෙකුත් ජාත්යන්තර සංවිධාන ඉල්ලීම් කළත් බුරුම පාලනාධිකාරය ඒ ඉල්ලීම් වලට ඇහුන්කම් දුන්නේ නෑ. ඔවුන් කියා හිටියේ ඇයට රටින් පිටට ගොස් නැවත පැමිණෙන ලෙසත් ඒ සඳහා අවසර ලබා දිය හැකි බවත්. නමුත් ඇය ඒවා විශ්වාස කලේ නෑ. යම්හෙයකින් ඇය රටින් පිටට ගියා නම් ඇයට නැවත බුරුමයට පැමිණීමට නොහැකිවන ලෙස කටයුතු සිදු වන බව ඇය දැන හිටියා. ඔය අතරේදී ඇයගේ සැමියා රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය යනවා. ඉතින් ඔන්න ඔය වගේ ගොඩක් ලොකු ප්රශ්න මැද්දේ තමයි අවුන්ග් සාන් දේශපාලනය තෝරාගත්තේ.
5. 8888 නැගීසිටීම
අවුන්ග් සාන් තමන්ගේ මව රැකබලාගන්න බුරුමයට 1988 එද්දී ඒ වෙනකොටත් දීර්ඝ කාලයක් බුරුමයේ ඒකාධිපති පාලනයක් ගෙනියපු, බුරුම සමාජවාදී පක්ෂයේ නායක ජෙනරාල් ‘නේ වින්‘ සිය තනතුරෙන් ඉල්ලා අස් වුණා. ඒ ඉල්ලා අස් වීමත් එක්ක බුරුම ජනතාව විශාල වශයෙන් පාරට බසිමින් ප්රජාතන්ත්රවාදය ඉල්ලමින් උද්ඝෝෂණ වල නිරත වෙන්න පටන් ගත්තා. බුරුම වැසියන්ගේ විශ්වාසයක් තියෙනවා 8.8.88 දිනය ඉතා සුබ දිනයක් බවට. ඉතින් ඒ දිනයේදී ඉතා විශාල ජනකායක් මේ උද්ඝෝෂණ වලට එකතු වෙලා හිටියා. ඒ උද්ඝෝෂණ වලින් එහාට ගිහින් ප්රචණ්ඩත්වයට පවා පෙරළෙමින් තිබුණා. ඒ හේතුවෙන් ඒ දිනය (88.8.8) 8888 නැගී සිටීම ලෙස හඳුන්වනවා. කොහොම උනත් මේ නැගීසිටීම අවුන්ග් සාන් ටත් විශේෂ සිද්දියක් උනා. ඒ 1988 අගෝස්තු 26 වෙනිදා චිතගොන්ග් නගරයේ පැවතුණු විශාල රැළියක් ඇමතීමට හැකි වීම නිසයි. ඇය එහිදී තමන්ගේ රටට ප්රජාතන්ත්රවාදී රජයක් අවශ්‍ය බව කියා සිටියා. කෙසේ නමුත් නැවත නව හමුදා ජුන්ටාවක් විසින් එරට පාලන බලය ලබාගත්තා. එයින් අධෛර්යමත් නොවුණු අවුන්ග් සාන් එම මාසයේම ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගය පිහිටුවනවා.
6. මැතිවරණ ජය
8888 නැගී සිටීමත් එක්ක අවුන්ග් සාන් තමන්ගේ රටට ප්රජාතන්ත්රවාදී පාලනයක් ලබාගැනීම වෙනුවෙන් නොබියව සටන් කළා. බුරුම වැසියන්ගේත් සිවිල් සංවිධානවලත් මැදිහත්වීම නිසා බුරුම හමුදා පාලනය 1990 දී මහා මැතිවරණය ප්රකාශයට පත් කළා. එහිදී ප්රජාතන්ත්රවාදය සඳහා ජාතික ලීගය 59% බහුතර ජන්ද ප්රතිශතයක් ලබාගනිමින් පාලන බලය ලබාගන්නවා. සම්මතය අනුව එහිදී අගමැති විය යුතුව තිබුනේ අවුන්ග් සාන් වුවත් හමුදා ජුන්ටාව බලය ඇත නොහැර සිටින්නට උනා. ඒ අතරේම අවුන්ග් සාන් ව නිවාස අඩස්සියට පත් කරනවා. එසේ තිබියදී පවා නොබියව අදහස් ප්රකාශ කිරීම වෙනුවෙන් ඇයට ශාකරෝව් සම්මානය හිමි වෙනවා.1991දී නොබෙල් සාම ත්යාගය පිරිනැමුණා. එයින් ලද මුදල් පවා ඇය ජනතාව වෙනුවෙන් අරමුදලකට යොමු කළා. ඔය විදිහට ජිවිතයේ සැළකිය යුතු කාලයක් ඇයට නිවාස අඩස්සියේ සිටින්නට උනා. අවසානයේ 2010 සි ඇයට නිදහස ලැබෙනවා. නිදහසින් පසුවත් විශාල ජීවිත අවදානම් ප්රමාණයකට ඇයට මුහුණදෙන්න සිද්ද උනා.
7. අගමැතිනිය බවට පත්වීම
2010 වසරේ ඇය නිවාස අඩස්සියෙන් නිදහස් වීමත් සමඟ ඇයට තමන්ගේ දේශපාලන කටයුතු වඩා පුළුල්ව කරගෙන යන්නට හැකියාව ලැබුණා. ඒ අනුව විදේශ සම්බන්ධතා දැඩි කරගනිමින් තම දේශපාලන ගමන ඇය දැඩිව ගෙන ගියා. මුලින් මන්ත්රී ධුරයක්ද, පසුව විපක්ෂ නායක ධුරය දරන්නටද ඇයට හැකියාව ලැබුණා. පසුව මියන්මාරයේ අගමැති තනතුරක් නැති නමුත් ඒ හා සමාන විශේෂ ධුරයක් නිර්මාණය කොට අවුන්ග් සාන් ඒ ධුරයට ඔසවා තැබුණා. 2020 දී මහා මැතිවරණ ප්රතිඵල වංචනික යැයි මියන්මාර හමුදාව ප්රකාශයට පත් කළා. ඒ අනුව අවුන්ග් සාන් සුකී අත්අඩංගුවට ගැනෙනවා. නමුත් විධිමත්ව චෝදනාවක් ලෙස ගොනු කළේ නීති විරෝධිව වෝකි ටෝකි උපකරණ දහයක් ආනයනය කිරීම යි. ඒ සඳහා ඇයට වසර තුනක සිර දඬුවම් නියම වෙනවා.
Leave a Reply