ඔබට මතක ඇති මීට ටික කාලෙකට කලින් අපි මේ මාතෘකාව යටතේම ලිපියක් ඔබ වෙතට ගෙන ආවා. හැබැයි අපි ඒ ලිපියට වැඩි වශයෙන් නම් ඇතුළත් කරලා තිබ්බේ මේ වෙනකොට අපවත් වෙලා ඉන්න හිමිවරු කීපදෙනෙක් පිළිබඳව. මේ නිසා අපි හිතුවා ඒ ලිපියේම දිගුවක් විදිහට අද වෙනකොටත් විදෙස් රටවල වැඩවාසය කරමින් ධර්ම ප්‍රචාරයේ යෙදෙන අපේ භික්ෂූන් වහන්සේලාට වැඩි ඉඩකඩක් දෙමින් ලිපියක් ලියන්න. නමුත් මේ ලිපිය තුළත් මේ වෙනකොට අපවත් වෙලා ඉන්න භික්ෂූන් වහන්සේ නමක් (දික්වෙල පියනන්ද හාමුදුරුවෝ) ගැන ඇතුළත් කරලා තියෙනවා. මොකද විදේශ රටවල ධර්ම ප්‍රචාරයේ ගැන කතා කරද්දී උන්වහන්සේ පිළිබඳව කතා නොකර මඟ අරින්න බැරි නිසා.
1. බෝදාගම චන්දිම හාමුදුරුවෝ
දීර්ඝ කාලයක් තායිවානයේ ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදෙන චන්දිම හාමුදුරුවෝ ඒ කටයුතු කරන ගමන්ම අපේ රටටත් විශාල වැඩ කොටසක් ඉෂ්ට කරලා තියෙනවා. ධර්මචක්‍ර පදනම හරහා උන්වහන්සේ විසින් සිදුකරගෙන යන සේවය සියළු දෙනාගේම අගය කිරීමට ලක් වෙනවා. විශේෂයෙන්ම අද වෙනකොට නාගානන්ද සරසවිය ආරම්භ කරන්න උන් වහන්සේ පුරෝගාමී වෙලා ඉන්නවා. ඒ වගේම විවිධ භාෂාවලින් ලියැවුණු ධර්ම ග්‍රන්ථ නොමිලේම ලෝ පුරා බෙදා හරින්න උන්වහන්සේ දරන දායකත්වය අති විශිෂ්ටයි.
2. පරවාහැර චන්දරතන හාමුදුරුවෝ
වසර තිහකට අධික පමණ කාලයක් ප්‍රංශයේ වැඩ වාසය කරමින් ධර්ම ප්‍රචාරයේ යෙදෙන පරවාහැර චන්දරතන හාමුදුරුවන්ව ප්‍රංශයේ නිල නොවන ලංකාවේ තානාපතිවරයා විදිහට හැඳින්වුවත් වරදක් නැහැ. උන්වහන්සේ විසින් ප්‍රංශ භාෂාවට ධර්ම ග්‍රන්ථ ගණනාවක් පරිවර්තනය කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ බොහෝ කටයුතු සඳහා උන්වහන්සේ තමන්ගේ නොමසුරු දායකත්වය ලබා දෙනවා. විශේෂයෙන්ම ජාතික සහ ආගමික ප්‍රශ්නවලදී උන්වහන්සේ විසින් සිදුකරනු ලබන මැදිහත්වීම සුවිශේෂීයි.
3. මුරුංගස්යායේ ඤාණීස්සර හාමුදුරුවෝ
ප්‍රංශයේ වැඩවාසය කරන මුන්වහන්සේත් ප්‍රංශය තුළ ධර්ම ප්‍රචාරය කිරීම සඳහා තමන්ගේ මුළු ජීවිතයම කැප කරලා ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. ලංකාවේ බෞද්ධයන්ගේ වගේම ලෝකයේ විවිධ රටවලින් ප්‍රංශය වෙත පැමිණිලා ජීවත්වෙන බෞද්ධයන්ගේ ආගමික කටයුතුවලදීත් පිහිටට උන්වහන්සේ වඩිනවා. ඒ වගේම ලංකාවේ දිළිඳු දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනමන්න වගේම තවත් විවිධ සත්කාරක වැඩසටහන් උන්වහන්සේ විසින් දියත් කරනු ලබනවා.
4. වල්පොල පියනන්ද හාමුදුරුවෝ
දීර්ඝ කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ වැඩවාසය කරමින් එරට තුළ ධර්ම ප්‍රචාරයේ යෙදෙන පියනන්ද හාමුදුරුවෝ විවිධ අභියෝග මැද්දේ තමන්ගේ කටයුතු සාර්ථකව ඉෂ්ට කරගත් හිමිනමක්. උන්වහන්සේගේ චරිත කථාව කියවද්දී පැහැදිළි වෙන දේ තමයි ඇමරිකා එක්සත් ජනපදය තුළ පවතින සමාජ සහ ආර්ථික වටපිටාව තුළ ඒ පුද්ගලයන්ට ගෝචර වන විදිහට බුදු දහමේ පණිවිඩය ගෙන යන්න උන්වහන්සේ සමත් වෙලා තියෙනවා කියන එක. ඒ වගේම ලංකාවේ විවිධ ප්‍රශ්න සම්බන්ධයෙනුත් උන්වහන්සේ සිය මතය ප්‍රකාශ කරන භික්ෂූන් වහන්සේ නමක් විදිහට ප්‍රසිද්ධියක් උසුලනවා.
5. දික්වෙල පියනන්ද හාමුදුරුවෝ
දික්වෙල පියනන්ද හාමුදුරුවෝ ලංකාවේ වැඩ වාසය කරද්දිත් විවිධ ක්ෂේත්‍රවලින් දක්ෂතා දැක්වූ හිමිනමක්. උන්වහන්සේ පස්සෙ කාලෙකදි වොෂින්ටන් බෞද්ධ විහාරයේ විහාරාධිපති ධූරය ලැබිලා වසර ගණනාවක් සේවය කරද්දී තවත් රටකට ධර්ම ප්‍රචාරයේ සුවඳ ගෙන යන්න කටයුතු කරනවා. ඒ උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් කැනඩාවේ පළවෙනි ලාංකික බෞද්ධ විහාරය ආරම්භ කිරීමත් එක්ක.
6. හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ
බටහිර ලෝකයේ පළවෙනි ආරණ්‍ය සේනාසනය පිහිටුවීමේ ගෞරවය හිමි වන්නේ හේනේපොළ ගුණරතන හාමුදුරුවන්ට. ප්‍රථම වතාවට අමෙරිකානු ජාතිකයෙකු මහණ වෙන්නෙත් උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේයි. උන්වහන්සේ බටහිර ලෝකය තුළ භාවනා ගුරුවරයකු විදිහට අතිශයින් ජනප්‍රියත්වයට පත්ව සිටිනවා.
7. මාරතුගොඩ උපරතන හාමුදුරුවෝ
ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන්හි විහාරයේ විහාරාධිපති විදිහට වැඩකටයුතු කරන උපරතන හාමුදුරුවෝ ඩෙන්මාර්කයේ පදිංචියට පැමිණිලා ඉන්න ලංකාවේ බෞද්ධයන්ට වගේම ඩෙන්මාර්ක ජාතිකයන්ටත් බෞද්ධ කටයුතු සඳහා උදව් උපකාර කරනවා. යුරෝපයේ අනෙකුත් විහාරාරාම සමඟ මනා සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබෙන උන්වහන්සේ විවිධ පිංකම් සංවිධානය කිරීමත් සිද්ධ කරනවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අද වෙනකොට භික්ෂූන් වහන්සේලා බොහොමයක් විවිධ රටවල ධර්ම ප්‍රචාරයේ යෙදෙනවා. උන්වහන්සේලා ගැනත් ඔබ දන්නා තොරතුරු අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.
Leave a Reply