ටෙස්ලා සහ එඩිසන් අතරින් ශ්‍රේෂ්ඨතමයා කවුද?

ලංකාවේ වගේම ලෝකය පුරාම සමාජ මාධ්‍ය ජාලාවල නිකොලා ටෙස්ලා සහ තෝමස් එඩිසන් ගැන විවිධ සටහන් සංසරණය වෙනවා. සමහරු එඩිසන් පල් හොරෙක් කියද්දි ටෙස්ලා කියන්නේ මානසික රෝගියෙක් හැටියට හංවඩු ගහන්නත් උත්සාහ දරලා තියෙනවා. අපි ඔය අන්ත දෙකටම නොවැටී ටෙස්ලා සහ එඩිසන් ගැන පොඩි සංසන්දනයක් කරන්න උත්සාහ කරනවා. සමහර විට මේ සංසන්දනය සාර්ථක නොවෙන්නත් පුළුවන්. ඒ පිළිබඳව ඔබේ විරෝධතා දක්වන්න කියන එකත් මතක් කරන්න ඕන. සමහර විටදී අපිට ඔබේ විරෝධතාවලින් මේ ලිපිය වැඩිදියුණු කරන්න හෝ තවත් අලුත් ලිපියක් ලියන්න අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්.

 

1. කවුද මේ දෙන්නගෙන් සුපිරිම? 

ටෙස්ලාව දැන හැඳිනගෙන හිටපු කට්ටිය කියන දෙයක් තමයි ඔහුට විචිත්‍රවත් මතකයක් තිබ්බා කියන එක. ඒ කියන්නේ ඔහු ගොඩක් දේවල් මතක තියාගෙන තියෙන්නෙ රූපමය ස්වභාවයකින්. මේ නිසාම ඔහුට තමන්ගෙ නිර්මාණ සකස් කරද්දී රූප සටහන් ඇඳීම අවශ්‍ය වෙලා තියෙන්නේ අවම මට්ටමෙන්. නමුත් එඩිසන්ට තමන්ගේ වැඩ කටයුතු කරද්දී රූප සටහන් ඇඳීම අත්‍යවශ්‍ය කර්තව්‍යයක් වෙලා තියෙනවා. නමුත් පුදුමෙකට වගේ  එඩිසන් දාහකට අධික පේටන්ට් ප්‍රමාණයක් ලබා ගනිද්දී ටෙස්ලා ලබාගන්න සමත් වෙන්නේ පේටන්ට් තුන්සීයක් පමණ‍යි. 

 

2. දෙදෙනාගේ අනාගත දැක්ම 

එඩිසන්ව විවේචනය කරන ඕනෑම පුද්ගලයකුට වුණත් පිළිගන්න වෙන දේ තමයි විදුලි බල්බය, ඡායාරූප ශිල්පය වැනි එඩිසන්ගේ නිර්මාණ නොවන්න අද අපේ ලෝකය මීට වඩා වෙනස් තැනක් වෙන්න පුළුවන් කියන එක. ඇත්ත වශයෙන්ම ගත්තොත් වඩා නොදියුණු තැනක් කිව්වොත් වඩාත් නිවැරදියි. නමුත් සමහරු නම් කියන්නේ ඒ නිර්මාණ හොයාගත්තේ නැත්තන් වෙන කෙනෙක් උනත් ඒවා හොයාගන්න පුළුවන් කියලා. හැබැයි එඩිසන් ටෙස්ලාගේ සොයා ගැනීමක් වුණ ප්‍රත්‍යාවර්ථ ධාරාව සංකල්පය බැහැර කර ඍජු ධාරා සංකල්පය ප්‍රවර්ධනය කිරීම මේ විශිෂ්ඨයින් දෙදෙනා අතරින් වඩාත් විශිෂ්ටයා සොයා ගන්න පහසු වෙනවා කියලයි අපි හිතන්නේ.

 

3. වඩාත්ම බලපෑමක් කළ තැනැත්තා

ටෙස්ලාගේ සොයාගැනීම්  අද වෙනකොට සන්නිවේදන සහ බලශක්ති ක්ෂේත්‍ර වල  ප්‍රගමනය සඳහා දායක වෙලා තියෙද්දි එඩිසන් ගේ භූමිකාව පිළිබඳව නැවත නැවතත් ප්‍රශ්න කෙරෙනවා.බොහෝ දෙනෙක් කියන්නේ එඩිසන්ගේ විශිෂ්ටත්වය රඳා පවතින්නේ  ඔහුගේ සොයා ගැනීම් වල නොව ඒ සොයා ගැනීම සිදුකිරීමට ඔහුව අනුගමනය කළ ක්‍රමවේදය තුළයි කියලා. ඔහුට නව නිර්මාණයක් පිළිබඳව අදහසක් අහපුවාම ඔහු සිදු කරලා තියෙන්නේ ඔහුගේ සහායකයන්ට ඒ පිළිබඳව පර්යේෂණ පැවැත්වීම කොටස් වශයෙන් පවරලා.මේ ක්‍රමය වඩාත් කාර්යක්ෂම ක්‍රමයක්.

 

4. වඩාත්ම සමාජශීලී පුද්ගලයා 

තමන්ගේ ජීවිතයේ අවසාන කාලයේදී තනිව ජීවිතයක් ගත කළත් ටෙස්ලා මුල් කාලයේ දී අතිශයින්ම සමාජශීලීය පුද්ගලයෙකු විදිහට සැලකෙනවා.විශේෂයෙන්ම ඔහුගේ පෞරුෂය අතිශයින් ආකර්ශනීය එකක් වනු අතර භාෂා ගණනාවක් කතා කිරීමේ හැකියාව ඔහුට තිබිලා තියෙනවා.මේ නිසාම ඔහු ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත් වුණා.නමුත් ඊට සාපේක්ෂව එඩිසන් තෝරාගෙන තිබුණේ මිත්‍රයින් අල්ප ප්‍රමාණයක්.වැඩිපුර සමාජශීලී වීමට ඔහු කැමැත්තක් දක්වා තිබුණේ නැහැ.

 

5. රේඩාර් සොයාගැනීම

ගොඩක් දෙනෙක් විශ්වාස කරන්න කැමති දෙයක් තමයි රේඩාර් පිළිබඳ මූලික සංකල්පය ගෙන ආවේ ටෙස්ලා කියන එක.ඒ අය කියන විදිහට එඩිසන්  මෙතනදිත් ටෙස්ලාගේ ද්‍රෝහියා වෙලා තියෙනවා.නමුත් ඇත්ත කතාව වෙන්නේ ටෙස්ලා යුද අවි පිළිබඳව නිපැයුම් කමිටුවකට සබ්මැරීන්වල ගමන්මාර්ග ග්‍රහණය කරගත හැකි රේඩාර් වැනි පද්ධතියක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා.නමුත් ඒ අදහසේ තිබුණ ප්‍රායෝගික නොවන ස්වභාවය නිසා ප්‍රතික්ෂේප වෙලා තියෙනවා.

 

6. ටෙස්ලා එඩිසන්ට දැක්වූ ගෞරවය

එක්තරා කාල පරිච්ඡේදයකදී දැඩි හතුරන් වෙලා හිටියත් පස්සෙ කාලෙකදි එඩිසන් විසින් ප්රත්යාවර්ත ධාරා සංකල්පය පිළිගන්නවා.ඒ වගේම ඒ සංකල්පය අගය කරනවා.පස්සෙ කාලෙකදි ටෙස්ලා තමන්ට පිරිනැමෙන  එඩිසන් පදක්කම පිළිගන්නවා.ඒ අවස්ථාවේදී ඔහු කරන කතාවෙන් එඩිසන් තමන්ගේ ජීවිතයට බලපාපු ධනාත්මක ආකාරය පිළිබඳව ඔහු දීර්ඝව විස්තර කරනවා.

 

7. එඩිසන්ගේ ආඩම්බරය

බොහෝ දෙනෙක් අමතක කරන දෙයක් තමයි ටෙස්ලා විවිධ අවස්ථාවල අවිආයුධ නිර්මාණය කිරීම සඳහා අදහස් දක්වා තිබෙන බව.එක්තරා අවස්ථාවක ඔහු මරණීය කිරණ නමින් විනාශකාරී කිරණ වර්ගයක් හඳුන්වා දීමේ උත්සාහයක යෙදීලා තිබුණා.මේ නිසා ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවා පවා ටෙස්ලා පසුපස කාලයක් හඹා ගොස් තිබෙන බව රහසක් නෙවෙයි.නමුත් එඩිසන් වරක් ප්‍රකාශ කර තිබුණේ සංහාරක අවි නිර්මාණය කිරීමට තමන් කිසිදිනෙක උත්සුක නොවීම පිළිබඳව තමන් ආඩම්බරයට පත් වන බවයි.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැනත් ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *