ජන්ක් ජර්නල්ස් හදන්න ආසාවක් තියෙනවද? එහෙමනම් මේ විදියට ජන්ක් ජර්නල්ස් හදන්න ඉගෙන ගමු

අපි හැමෝටම විනෝදාංශ අවශ්‍යයි. අපි ගොඩක් දෙනෙක්ට ඇත්තටම විනෝදාංශ තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, සමහරු යම් යම් ගෙත්තම් අත්කම් ලී වැඩ වගේ ක්‍රාෆ්ටි නිර්මාණ කරනවා. ඒවා විකුණලා මුදල් උපයාගන්නවත් එක්ක. එතකොට තවත් සමහරු ඉන්නවා පොත් කියවන එක, හොඳ චිත්‍රපටි බලන එක, මුද්දර එකතු කරන එක එහෙම විනෝදාංශ විදියට කරන. ඒ අයට ඒ විනෝදාංශ වලින් දැනුමට දෙයක්, බුද්ධියට දෙයක් එකතු වෙනවා. එතකොට තවත් සමහරු විනෝදාංශ විදියට ටීවී බැලීම, නිදාගැනීම වගේ එව්වා කරනවා. ඒවෑයිනුත් මොනව හරි ලැබෙනවා ඇති.

 

හරි, අලුත් විනෝදාංශයක් තෝරගන්න හිතනවා නම්, ඒකට ගැලපෙන විනෝදාංශ බර තොගයක් අපි හඳුන්වලා දීලත් ඇති. ඒ අතරින් එකක් තෝරගන්නවා නං, ජන්ක් ජර්නලින් (junk journaling) කොහොමද? මාර අමාරු වැඩක් නෙවෙයි. හොඳ නිර්මාණශීලී බවකුයි, ඇහැකුයි, ඉවසීමයි තියෙනවා නං, ජන්ක් ජර්නලින් කියන්නේ හිත පුදුම විදියට නිවන විනෝදාංශයක් කියලා කියන්න පුළුවන්.

 

 

 

1. මොනවද ජන්ක් ජර්නල් කියන්නේ?

ඇත්තටම මේකට දෙන්න පුළුවන් හරි පිළිතුරක් නෑ. ඕන නම් කියන්න පුළුවන්, ඉවතලන හෝ නැවත භාවිතා කළ හැකි අමුද්‍රව්‍ය යොදාගෙන, එව්වා එකතු කරලා හදපු ජර්නල් පොතක් කියලා. හැබැයි ඉතින් මේක ජර්නල් එකක්ම වෙන්න ඕන නෑ. ග්‍රීටින් කාඩ්ස් වුණත් වෙන්න පුළුවන්. ඇත්තටම ජන්ක් ජර්නලින් කියලා නම තිබ්බට මේක එක විදියට ආට් එකක්. ටිකක් කොලාජ් ආට් වගෙත් වෙනවා. විශේෂම දේ වෙන්නේ, තමන්ට ආසාව, නිර්මාණශීලීත්වය සහ වුවමනාව තියෙනවා නම්, තමන්ට ඕන විදියට ජන්ක් ජර්නලින් ආට් එක ඔස්සේ විවිධ දේවල් නිර්මාණය කරගන්න පුළුවන් වීම.

 

උදාහරණයක් විදියට ගත්තොත්, ඕන්න අපි කාඩ්බෝඩ් එකක් අරගෙන, ඒක ජර්නල් එකේ කවර විදියට යොදාගන්නවා. දැන් මේ කවර ඇතුළත පිටත ඔක්කොම ඩෙකරේට් කරනවා පරණ සඟරා වලින්, පරණ පත්තර වලින් ඉරා ගත්තු කෑලි, ලස්සන ඩිසයින් ෆ්‍රේම් එකක් විදියට හිටින්න ඉටිපන්දමෙන් වටේ පුච්චගත්තු ෆොටොස්, වාශී ටේප්ස්, ස්ටිකර්ස් අනං මනං අලවලා. ඕන නං වේලපු මල් එහෙම වුණත් මේකට අලවන්න පුළුවන්. ඕන නං ඔරිගාමි නිර්මාණයක් කරලා ඒක වුණත් අලවන්න පුළුවන්. ඇත්තටම නිර්මාණශීලීත්වයත් එක්ක, ජන්ක් ජර්නලින් වල යන්න පුළුවන් දුර අහසටත් උසයි!

 

2. පොඩ්ඩක් වැඩේ ඉගෙන ගමු

ඇත්තටම අපි ජන්ක් ජර්නලින් කරන්න ආස හිතෙන්නේ කොහෙන් හරි ජන්ක් ජර්නල් එකක් දැක්ක නිසා වෙන්න පුළුවන්. හැබැයි අපි ජන්ක් ජර්නල් එකක් දැක්ක පළියට හිතන්න එපා අපිටත් ඔව්වා කරන්න පුළුවන් කියලා. ඒවා කරන්න ඉගෙන ගන්න ඕන. හැබැයි ඉතින් දැන් කාලේ යූටියුබ් එකෙන් සෑහෙන්න දේවල් ඉගෙන ගන්න පුළුවන් එක හොඳ කාරණයක් මෙතනදීත්. යූටියුබ් එකේ Junk journaling කියලා සර්ච් කළහම විවිධ ටිප්ස්, ටියුටෝරියල්ස් එහෙම ඕන තරම් හොයාගන්න පුළුවන්. දැන් ඉවසිල්ලෙන් පුළුවන් තරම් වීඩියෝස් බලලා, ඒවල තියෙන කෙටි ක්‍රම, ටිප්ස්, ට්‍රික්ස් එහෙම ඉගෙනගන්න තියෙන්නේ.

 

ඒ ඇරෙන්න ජන්ක් ජර්නලින් වලදී තවත් විවිධ ක්‍රාෆ්ටින් ක්‍රම සහ විධි එහෙමත් අවශ්‍ය වෙනවනේ. උදාහරණයක් විදියට කොහොමද coffee stained papers හදාගන්නේ කියලා අපිට ඉගෙන ගන්න වෙනවා, අර පරණ තාලේ වගේ පේන කඩදාසි යොදාගන්නවා නම්. අන්න එතකොට ඒ වගේ අවශ්‍ය වැඩිමනත් ක්‍රාෆ්ටින් කුසලතාවයන් ඉගෙන ගන්නත් යූටියුබ් එකම පාවිච්චි කරන්න පුළුවන්. 

 

3. අයිඩියාස් හිතමු

දැන් අපි සෑහෙන්න දුර රිසර්ච් එකක් එහෙමත් කරලා, වැඩේට අත ගහලා තියෙන්නේ. හැබැයි ජන්ක් ජර්නල් එකක් හදනවා කියන්නේ අතට අහුවෙන අහුවෙන ෆොටෝ එක අලවලා, ඇස් පියාගෙන එහෙන් මෙහෙන් ස්ටිකර්ස්, වාෂී ටේප්ස් අලෝලා කරන වැඩක් නෙවෙයි. ඊට වඩා පොඩි තීමැටික් දෙයක්, තේමාවකට යන දෙයක් අවශ්‍යයි. උදාහරණයක් විදියට කිවුවොත්, සම්පූර්ණයෙන්ම රෙට්රෝ තීම් එකකට ජර්නල් එකක් හදනවා නම්, සම්පූර්ණයෙන්ම පරණ පත්තර කෑලි හෝ පරණ කරපු කඩදාසි කෑලි, පරණ මුද්දර වගේ දේවල් එක්ක ජර්නල් එකක් හදන්න පුළුවන්. එහෙම නැතිනම් සම්පූර්ණයෙන්ම ස්ටාර් වෝර්ස් තීම් එකකට ජර්නල් එකක් හදනවා කියමු. එතකොට පුංචි පහේ ස්ටාර් වෝර්ස් පෝස්ටර්ස්, ස්ටිකර්ස් වගේ ඒවා එක්ක ජර්නල් එක හදන්න පුළුවන්. ඒ වගේ ජර්නල් එකකට ඔය ස්ටිකර්ස්, වාෂී ටේප්ස් වගේ අනං මනං වලින් ඩෙකරේෂන් දානකොටත්, වඩාත් සයි-ෆයි ලුක් එකක් එන විදියට ඒවා එකලස් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ අයිඩියාස් තියෙන්න ඕන මුලින්.

 

4. බඩු මොනවද ඕන?

මෙන්න මේක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම වැඩේ පටන් ගත්තට පස්සේ එන එන විදියට ගේ පුරා දුවමින් අවශ්‍ය කතුරු පැන්සල් හොයනවට වඩා, ජන්ක් ජර්නලින් වගේ වැඩකට අවශ්‍ය වෙන බඩුභාණ්ඩ හොයාගෙන එක තැනකට කරලා තියාගන්න එක පහසුවක්. මූලිකවම මේ වැඩේට ඉඩ කඩ තියෙන මේසයක් හෝ ඒ වගේ මතුපිටක් අවශ්‍යයි. ජන්ක් ජර්නලින් වලට අවශ්‍ය තමන්ගේ අමුද්‍රව්‍ය දාලා තියාගන්න බොක්ස් එකක් එහෙමත් තියෙන එක හොඳයි.

 

අවශ්‍ය මෙවලම් ගැන කථා කළොත්, හොඳට කැපෙන කතුරක් ඕන. එතකොට කඩදාසි කපන කටර් එකක් එහෙමත් උපකාරී වේවි. අවශ්‍ය නම් අර පේපර් කටර් බෝඩ් එකක් එහෙමත් ගත්තොත්, කොළ එක සමාන ගාණට කපාගන්න එක එහෙම ඉතාම පහසු කාරණයක් වෙයි. ඊට පස්සේ ගම් අවශ්‍යයි. අර ආට් ග්ලිටර් ගම් එහෙම ජන්ක් ජර්නලින් වලදී ප්‍රයෝජනවත්. ඒ ඇරෙන්න තව කඩදාසි වගේම රෙදි හෝ රිබන් එහෙමත් හොඳින් ඇලවෙන ගම් එකක් තියෙන එක හොඳයි. දෙපැත්ත්ම ඇලවෙන ටේප් එහෙමත් මේ වැඩේදී සෑහෙන්න ප්‍රයෝජනවත්.

 

ජන්ක් ජර්නලින් වලදී ඔය මුද්‍රා තියන වැඩෙත් මරු. ඒකට අපිට සීල් එකක්, ලාකඩ සීල් හෙඩ් එකක් එහෙමත් හදාගන්න පුළුවන්. ඕන නම් ලාකඩ වෙනුවට පැස්ටල් කූරු උණු කරල ගන්නත් පුළුවන්. ඒ ඇරෙන්න ඔය එක එක විදියේ හැඩ තල තියෙන ස්ටෑම්ප් බ්ලොක්ස් ටිකක් එහෙමත් හදාගන්න පුලුවන් නම් මරු. ඒ විදියේ වැඩකදී විවිධ වර්ණ වල තීන්ත සෙට් එකක් තියෙන එකත් වාසියක්. ඒ ඇරෙන්න, කොහොමත් ජන්ක් ජර්නලින් වලදී ඇක්‍රලික් පේන්ට්ස් සෙට් එකකුත් අත ලඟ තියෙන එක වාසියක් වෙයි.

 

ඒ ඇරෙන්න විවිධ හැඩ තල වල පේපර් පන්චර්ස්, ස්ටෙන්සිල්ස් වගේ දේවලුත් වැඩේට සෑහෙන්න ප්‍රයෝජනවත්.

 

5. තමන් වෙනුවෙන්

මේක ඇත්‍තටම අදාළ වෙන්නේ වැඩෙත් එක්ක තියෙන තමන්ගේ ආකල්පයට. දැන් ගොඩක් අය ආසාවට කරන්න හිතුවත්, පටන් ගන්නකොටම හිතනවා මේක බිස්නස් එකක් කරගන්න ඕන කියලා. ඊට පස්සේ හදන පළවෙනි ජන්ක් ජර්නල් එකම විකුණගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඇත්තටම එහෙම බෑ. අපිට කොයි තරම් ආසාව තිබුණත්, ආසාව එක්ක එක්ස්පර්ටීස් එක එන්නෙ නැහැනේ. ආන්න ඒ නිසා මේක කරලා කරලා පුරුදු පුහුණු වෙනකොට තමයි වාණිජ වශයෙන් දෙයක් කරන්න පුළුවන් ලෙවල් එකේ කොලිටියක් අපේ ජන්ක් ජර්නල්ස් වලට එන්නේ. ආන්න ඒ නිසා මුලින් හිතන්න ඕන මේක විනෝදාංශයක් බව. මේක තමන්ගේ ආසාවට, තමන්ගේ සතුට වෙනුවෙන් කරන වැඩක් බව.

 

6. ආයෝජනයක් ඕනෙද?

ඇත්තටම මේ වගේ දෙයක් කරනකොට අපි හිතන්නේ මුදල් ආයෝජනය කියන එක එන්න ඕන, මේක බිස්නස් එකක් බවට, ව්‍යවසායක් බවට පත් වුණාට පස්සෙයි කියලා. ඒ කියන්නේ, තමන් ෆන් එකට කරන දේ, විකුණන්න පුළුවන් විදියේ කොලිටියකට ලඟා වුණාට පස්සේ අපිට පුළුවන් ජන්ක් ජර්නල්ස්, ජන්ක් කාඩ්ස් විකුණන්න පටන් ගන්න. ආන්න එතකොට වැඩෙන් සල්ලි එනවා කියලා තේරුණහම, අපිට ආයෝජනය කරන්න පුළුවන් වැඩේට.

 

ඇත්තටම මේකට මොන වගේ ආයෝජනයන්ද අවශ්‍ය වෙන්නේ? ඇත්තටම මේක ජන්ක් ජර්නලින් වුණාට, හැමවිටම ඉවතලන දේවල් වලින්ම ජර්නල්ස් හරි කාඩ්ස් හරි හදන්න ඕන නෑ. සමහර වෙලාවට වැඩේට ඊට වඩා කොලිටියක් ලබාගන්න පුළුවන් වෙයි මුදල් ගෙවලා අවශ්‍ය අඩුම කුඩුම ගත්තොත්. ඒ වගේම මේ ජන්ක් ජර්නලින් වගේ වැඩක් වාණිජ වශයෙන් කරනකොට ප්‍රින්ටරයක් එහෙමත් තමන් ලඟ තියෙන එක හොඳයි. ඕවා තමයි ආයෝජන.

 

7. ඇඩ්වාන්ස් ලෙවල් එකකට යමු

දැන් හරි, බිස්නස් එක පටන් ගත්තා. හැබැයි එහෙමයි කියලා අපි වෙනදා හදන විදියටම ජන්ක් ජර්නල් හද හද හිටියොත් බිස්නස් එක වැඩි කාලයක් දුවන එකක් නෑ. ඇත්තටම ජන්ක් ජර්නලින් වගේ ක්‍රාෆ්ටින් වැඩක් බිස්නස් එකක් බවට හරවගෙන තියෙන්නේ අපි විතරක් නෙවෙයි. තව ඕන තරම් අය ඉන්නවා. ආන්න එතකොට අපි හිතලා බලන්න ඕන, අනික් ජන්ක් ජර්නලින් බිස්නස් වලට වඩා අපේ විශේෂත්වය විදියට මාකට් කරන්න පුළුවන් මොනවද කියලා. සමහර වෙලාවට වඩාත් ලාභදායී වීම? වඩාත් ආකර්ෂණීය පැකේජ් එකක පැමිණීම? ඔන්න ඔය වගේ මොනවා හෝ විශේෂත්වයක් හොයාගන්න ඕන. එතනදී අපිට තව ටිකක් අදහස් හිතන්න වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ජන්ක් ජර්නල් එකක් දාලා දෙන බොක්ස් එකත් ජන්ක් ජර්නල් එක වගේම නිර්මාණය කරන්න පුලුවන්. ජන්ක් ජර්නලින් විදියට හදපු කාඩ් එකක් දාලා දෙන එන්විලොප් එකත් ඒ විදියටම නිර්මාණය කරන්න පුළුවන්. මෙන්න මේ විදියට හිතන එක තමයි නෙක්ට්ස් ලෙවල් එක.

 

මොකද්ද ඇත්තටම ජන්ක් ජර්නල්ස් හදන එකේ තියෙන ප්‍රයෝජනේ? හදලා ඕන නම් එකතු කරන්න පුළුවන්. ඕන නම් විකුණන්නත් පුළුවන්. ඒ හැමදේටමත් වඩා, වෙන ඕනම විනෝදාංශයක වගේ හිත නිවෙන, ස්ට්‍රෙස් එක නැතිවෙන මොහොතක සුවය ලබාගන්නත් පුළුවන්…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *