ඉන්දියාවේ ප්‍රාන්ත ගැන තොරතුරු

මීට ටික කාලෙකට කලින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය ගැන ලයිෆි අපි ලිපියක් ඔබ වෙතට ගෙන ආවා මතක ඇති කියලා අපි හිතනවා. මතක නැත්තන් මේත් එක්කම අපි ඒ ලිපියත් අමුණලා තියෙනවා.

කේරළය දෙස බලන්න – කේරළය ගැන රසවත් තොරතුරු මෙන්න!

 

 

මේ ලිපියට ලැබුණු ප්‍රතිචාර එක්ක අපි හිතුවා ඉන්දියාවේ තවත් ප්‍රාන්ත කිහිපයක් ගැන තොරතුරු ඔබ වෙත රැගෙන එන්න. බලමු මේ ලිපියටත් ඔබේ ප්‍රතිචාර හොඳ වුනොත් අපි මේ එක් එක් ප්‍රාන්ත ගැන සවිස්තරාත්මක ලිපි මාලාවක් ඔබ වෙතට ඉදිරියේදී ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

 

1. රාජස්ථාන් 

රාජස්ථානයේ නමින්ම තේරෙන විදිහට මේ ප්‍රාන්තය රජවරුන්ගේ ප්‍රාන්තයක්. බොහෝ හින්දි සිනමා නිර්මාණ වලට පාදක වෙලා තියෙන රාජ්පුත් වංශිකයන්ගේ පුරාණ නිජබිම් ප්‍රදේශය වර්තමාන රාජස්ථාන ප්‍රාන්තයට ගොනු වෙලා තියෙන්නේ. රාජස්ථානයේ ඉතිහාසය සිහිපත් කෙරෙන විවිධ බලකොටු සහ ප්‍රතිමා ආදිය මුළු ප්‍රාන්තය  පුරාම විහිදිලා තියෙනවා. ඒ වගේම සුප්‍රකට තාර් කාන්තාරය විහිදිලා තියෙන්නෙත් රාජස්ථානය හරහා. ජායිපූර්, උදේපූර් සහ ජෝදාපූර් යන නගර එම ප්‍රාන්තයේ ප්‍රධාන සංචාරක ආකර්ෂණ බවට පත්වෙලා තියෙනවා.

 

2. ගෝව

ගෝවා ප්‍රාන්තය ලෝකය පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ එහි ඒ සුන්දර වෙරළ තීරය නිසායි. මේ නිසා ලෝකයේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට ගෝවා ප්‍රාන්තය පත්වෙලා තියෙනවා. නමුත් සංස්කෘතික වශයෙනුත් ගෝවා ප්‍රාන්තයේ  ඉහළ විවිධත්වයක් තියෙනවා. පෘතුගාලයේ යටත් විජිතයක්ව පැවති ගෝවා ප්‍රාන්තය ඉන්දියාව සමඟ එක් කර ගන්න යුදමය ක්‍රියාමාර්ග ගැනීමට පවා සිදු වුණා. එනිසාම පෘතුගීසි කාලයට අයිති පල්ලි සහ ගොඩනැගිලි වගේම හින්දු දේවස්ථාන ගෝවා ප්‍රාන්තය පුරා දකින්නට ලැබෙනවා.

 

3. පන්ජාබ්

සාමාන්‍යයෙන් පන්ජාබය කියලා හැඳින්වෙන ප්‍රාන්තයට නම ලැබෙන්නේ පංච මහා ගංගාවන් ගලා යන්නේ ඒ ප්‍රාන්තය හරහා නිසයි. ඒ වගේම පන්ජාබයේ බහුතරයක් සීක් ජාතිකයන්. අදටත් පංජාබයේ දුෂ්කර ගම්මානවල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමි සංස්කෘතිය දකින්නට ලැබෙනවා. සීක් ආගමේ ප්‍රධානම ශුද්ධ භූමියක් වන රන්දෙවොල පන්ජාබයේ ප්‍රධානම  සංචාරක ආකර්ෂණය විදිහට හඳුන්වන්න පුළුවන්.

 

4. හිමාචල් ප්‍රදේශ්

හිමාලය කඳු පන්තිය ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම ප්‍රාන්තය සමහරු හඳුන්වන්නේ දෙවියන්ගේ දේශය විදිහට. මොකද මේ ප්‍රාන්තය ඒ තරම් සුන්දරත්වයෙන් අනූනයි. දලයි ලාමාතුමා වර්තමානයේ වාසය කරන ධර්මශාලා ප්‍රදේශය, මනාලී ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට සහ කඳු තරණයේ යෙදෙන්න ලෝකය පුරා සංචාරකයන් දස දහස් ගණනින් මේ ප්‍රාන්තය කරා ඇදී එනවා. නමුත් සංචාරක කර්මාන්තය දියුණු වුණත් ඒ ප්‍රාන්තවාසීන් තමන්ගේ සංස්කෘතිය රැක ගන්න සුවිශාල වෙහෙසක් ගන්නවා.

 

5. උත්තර් ප්‍රදේශ් 

ඉන්දියාවේ සංස්කෘතික වටිනාකම් බහුලම ප්‍රදේශයක් විදිහට උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය හඳුන්වන්න පුළුවන්. ආදරේ සිහිවටනය විදිහට සැළකෙන ටාජ් මහල ස්ථාපනය වෙලා තියෙන්නේ උත්තර ප්‍රදේශය තුළ. ඒ වගේම ලොව පුරා හින්දු බැතිමතුන්ගේ පව් සෝදා හරින ගංගා නදිය ගලා බසින්නෙත් මෙම ප්‍රාන්තය මැදින්. මීට අමතරව රාම කුමාරයා ඉපදුණු අයෝධ්‍යා නගරයත්, අලහාබාද් පුරවරයත් බුද්ධාගමේ ජාතක කථා වල සඳහන් වන කල්ප ගාණක් පැරණි බරණැස් නුවරත් උත්තර ප්‍රදේශයට ආලෝකයක් එක් කරන නගර කීපයක්.

 

6. ගුජරාටය 

ඉන්දියාවේ ආධ්‍යාත්මික පියා විදිහට සැළකෙන මහත්මා ගාන්ධිතුමන්ගේ ජන්මභූමිය ගුජරාටයයි. ලෝකයේ පැරණිම වරායන් පිහිටලා තියෙන්නේ ගුජරාටයේ වෙරළ තීරය දිගේ කියලා ඉතිහාසඥයන් විශ්වාස කරනවා. අද වෙනකොට ලෝකයේ උසම ප්‍රතිමාව විදිහට සැළකෙන ශ්‍රීමත් වල්ලාභායි පටේල්ගේ ප්‍රතිමාව පිහිටලා තියෙන්නෙත් ගුජරාට් ප්‍රාන්තය තුළයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නටබුන් තිබීම නිසා ගුජරාට් ප්‍රාන්තය ඉන්දියාවේ ශිෂ්ටාචාරයේ මූලික බිමක් විදිහට හඳුන්වන්න සාක්කි සැපයෙනවා.

 

7. කර්ණාටක

කර්ණාටක ප්‍රාන්තය අද වෙනකොට ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නෙ එම ප්‍රාන්තයේ ඓතිහාසික උරුමයක් වුණ කර්ණාටක සංගීතය නිසා. ඉන්දියාවේ මූගල් අධිරාජ්‍යයටත් වඩා වැඩි කාලයක් ඉන්දියානු භූමියෙන් කොටසක් පාලනය කරන්න සමත් වුණ විජයනගර් අධිරාජ්‍යයේ මුල් බිම විදිහටත් කර්ණාටක ප්‍රාන්තය හඳුන්වන්න පුළුවන්. මේ නිසාම අදටත් එම අධිරාජයන් විසින් ගොඩනගන ලද හින්දු සිද්ධස්ථාන දැකබලා ගැනීමට සහ වන්දනාමාන කිරීමට අවස්ථාව ලැබෙනවා.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ආරම්භයේදී සඳහන් කළා වගේම මේ ලිපියට ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ මේ එක් එක් ප්‍රාන්ත ගැන ලිපි මාලාවක් ඉදිරියට පළ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *