මීට දශක තුනකටත් එපිටදී මුළු ලංකාවම වෙලාගත් ඒ අඳුරු සමයේ මතක දැන් දැන් අපි අතරින් ක්‍රම ක්‍රමයෙන් ඈත් වෙලා ගිහින්. ඒත් ඒ 88-89 අඳුරු සමයේ සිදුවුණු සමහර අහිමිවීම් ගැන නම් අදටත් අපි බොහෝ දෙනෙක්ගේ හිතේ තියනවා. ඒ අතරින් අපට අහිමි වූ වටිනා මිනිසුන් ගැනත් මතකයන් සමහරක් අදටත් හද පාරවනවා. මේ ලිපිය ඒ ආකාරයට භීෂණ සමයේදී අපෙන් උදුරාගත් වටිනා කලාකරුවන් කිහිප දෙනෙක් ගැනයි…
1. ප්‍රේමකීර්ති ද අල්විස්
ගීතයට, කවියට ප්‍රිය කළ මේ සොඳුරු මිනිසාගේ මරණය අපේ රටට වගේම කලා ක්ෂේත්‍රයටත් ඇත්තටම ලොකු අඩුවක් වුණා. 1947 වසරේදී උපන් ප්‍රේමකීර්ති කොතරම් ජනප්‍රිය චරිතයක් වුණත් ඔහු හරි සරලව ජීවත් වුණු මනුස්සයෙක්. ඔහු මිය යද්දී ගීත 1500කට අධික ප්‍රමාණයක් ලියල තිබුණා. අපේම අවාසනාවකට දේශපාලන පළිගැනීම් වල ගොදුරක් වුණු ප්‍රේම්, 1989 ජූලි මාසයේ දවසක හෝමාගම දී හිත්පිත් නොමැති අන්දමින් වෙඩි පහරකින් ඝාතනය වුණා. ජනතා විමුක්ති පෙරමුණට වගේම එවක ගුවන් විදුලි සංස්ථාවේ ඉහළ නිලධාරියෙක්ටද මේ ඝාතනය සම්බන්ධව චෝදනා එල්ල වුණා.
2. විජය කුමාරතුංග
අපේ සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ ජනප්‍රියම පෙම්වතා වුණු විජය ගැනනම් ආයේ අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය නෑ. සිනමා තරුවකට අමතරව විජය ප්‍රබල මානව හිතවාදී දේශපාලකයෙකුත් වුණා. විජයගේ අකල් මරණයට හේතු වූයේත් ඔහු තුළ තිබූ මිනිසුන්ගේ සිත් ඇදගැනීමේ හැකියාව වන්නට ඇති. 1988 පෙබරවාරි 16 වැනිදා තම නිවස ඉදිරිපිටදීම විජය කුමාරතුංගව වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. මේ ඝාතනය එකල මුළු ශ්‍රී ලංකාවම කම්පනයට පත් කරන්න සමත් වුණු අතර ජනතා විමුක්ති පෙරමුණට වගේම එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයටත් මේ ඝාතනය සම්බන්ධව චෝදනා එල්ල වුණා.
3. නිහාල් සිල්වා
නිහාල් සිල්වා කියන නම කියු පමණින් බොහෝ දෙනෙකුගේ සිහියට නැගෙන්නේ සාජන් නල්ලතම්බි කියන නම බවට සැකයක් නෑ. නිහාල් සිල්වා ඒ චරිතය හරහා මුළු ලංකාවම හිනාගස්සවන්න සමත් වුණා. 1954 වසරේදී කිරුළපන දී උපත ලැබූ නිහාල් සිල්වා කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ගොඩාක් දුෂ්කරතා මැදින්. සාජන් නල්ලතම්බි චරිතය විතරක් නෙමෙයි, තමන් රඟපෑ තවත් බොහෝ චරිතවලට ඔහු සාධාරණය ඉටු කළා. 1989 භීෂණ සමයේදී හමුදා මුර කපොල්ලක් අසලින් නොනවත්වා රිය ධාවනය කිරීම නිසා එල්ල වූ හමුදා වෙඩි පහරවලට ලක්වී මේ සුන්දර කලාකරුවා සදහටම මෙලොව හැර ගියා.
4. රිචඩ් ද සොයිසා
ඉංග්‍රීසි ජනමාධ්‍යවේදියෙක්, නිවේදකයෙක්, කවියෙක් වගේම නළුවෙක් හැටියටත් තම ප්‍රතිභාව පෑ රිචඩ් ද සොයිසා උපත ලැබුවේ 1958 වසරේදීයි. ජනමාධ්‍යවේදියෙක් විදියට තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු නිතරම මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන සොයා බැලූ සහ ඒ වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙක්. ඒ නිසාම දේශපාලන තර්ජන වලට මොහු නිරන්තරව ලක්වුණා. අවාසනාවන්ත විදියට 1990 වසරේ පෙබරවාරියේ රිචඩ් ද සොයිසාව නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබූ අතර පසුව මොරටුව කොරළවැල්ල මුහුදු වෙරළෙන් ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හමුවුණා. එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයට වගේම පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණටත් මෙම ඝාතනය සම්බන්ධව සැකය සහ චෝදනා යොමු වුණා.
5. තේවිස් ගුරුගේ
1923 වසරේ මාර්තු 23 දා කොටවිලදී උපත ලද තේවිස් ගුරුගේ මහතා 1943 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලියට එක් වනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ දෙවැනි සිංහල නිවේදකයා බවට පත්වන්නේත් එතුමායි. එතැන් පටන් එතුමා පුරා වසර හතළිහක් පමණ පුරාවට ලංකා ගුවන්විදුලියට තම හඬ ලබාදෙමින්, “කම්කරු පැය”, “විසිපැන” වැනි වැඩසටහන් ගුවන් විදුලියට හඳුන්වලා දුන්නා. ඉන්පසුව ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව වුණු ස්වාධීන රූපවාහිනී සේවයේ නිසි බලධාරියා හැටියටත් පත්වීම් ලබන්නට එතුමාට හැකිවුණා. ගුවන් විදුලියට, රූපවාහිනී මාධ්‍යයට ඉමහත් සේවාවක් කළ එතුමාගේ ජීවිතයත් කුරිරු ලෙසින් උදුරාගන්නට භීෂණය වැපිරූ දෑත් කටයුතු කළා. 1989 ජුලි 23 වැනිදා උදෑසන ආහාර මිලදී ගන්නට වෙළඳසලක් වෙත යන අතරතුරදී එතුමා වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වුණා.
6. සාගරිකා ගෝමස්
“මාගේ හිසකේ ගර්භයෙහී සඟවාගෙන ආ සාදරෙන්
ලෝනා මුණි රාජගේ ශ්‍රී දළදා පෙන්වමි…”
මේ ගී පද ඇහෙද්දී මේ අපූරු ගායිකාවගේ සහ ප්‍රවෘත්ති නිවේදිකාවගේ රූපය කාගේත් මනසේ ඇඳෙන්න තරම් එකල ඇය හුරුපුරුදු, ජනප්‍රිය චරිතයක් වුණා. ගායනයට පමණක් නෙමෙයි, ඇය නර්තනයටත් උපන් හපනියක් වුණා. වයස අවුරුදු 27 ලබන්න ඔන්න මෙන්න තිබියදී වගේම නුදුරේදීම විවාහ වීමේ බලාපොරොත්තුවෙන් සිටියදී තමයි මේ කටහඬ සදහටම නිහඬ කරවනු ලබන්නේ. 1989 සැප්තැම්බර් මස 13 වැනිදාවක නාඳුනන කල්ලියක් විසින් ඇයව පැහැරගනු ලබන්නේ ඇයගේ නිවසේදීමයි. පසුදා අලුයම ගෙල කපා මරා දැමූ ඇයගේ නිසල සිරුර දෙහිවල වෙරළෙන් හමුවනවා.
ඉතින් අවාසනාවන්ත විදියට අපෙන් උදුරාගත් මේ කලාකාමී හදවත් අදත් අපි අතර ජීවමානයි. මේ වගේ තව ගොඩාක් වටින මිනිස්සු රැසක් අපට මේ භීෂණයෙන් අහිමි වුණා. ඉතින් එවන් කාලයක් ආයේ නොඑන්න කියල අපි ප්‍රාර්ථනා කරමු…
ශශින් ප්‍රබෝද්
Leave a Reply