ඔය පළමු බැල්මෙන් බැඳි ආදරේ කියන එක නොදන්න කෙනෙක් ඉන්න බෑනේ. අඩු තරමින් තමන්ට එක්ස්පීරියන්ස් නැති වුණත්, අඩු තරමින් ෆිල්ම් එහෙම බලලා තියෙනවා නම් ඕක ගැන ආයෙ ටක්කෙට දැනගෙන ඉන්න ඕන. ඔන්න කෙල්ල එනවා ටියුෂන් ක්ලාස් එක දක්වා වැටුණු මේ මල් පාර දිගේ. කොල්ලා තමන්ගේ රස්ති ගැන්සියත් එක්ක මල් පාර අයිනේ කදේ දාගෙන ඉන්නවා. කොල්ලා මොකක් හරි මෝඩ ජෝක් එකක් ගහලා හිනාවෙන අතරේ අහම්බෙන් දකිනවා බිම බලාගෙන, පොත් මිටියත් පපුවට තුරුලු කරගෙන ලාලිත ගමනින් එන කෙල්ලව. ඒක නිකං කරන්ට් වැදුණා වගේ. කොල්ලට මුළු ලොවම නොපෙනී යනවා. රස්ති ඩයල් එකේ හිනා සද්දේ, පාරේ වාහන යන සද්දේ, එහා කඩේ ප්ලේන්ටි ගහන සද්දේ, ගවයෝ උම්බෑ කියන සද්දේ ඔය ඔක්කොම ඇහෙන්නෙ නැතුව යනවා. ඒ විතරක් නෙවෙයි, අර මල් පාර දිගේ එන කෙල්ලගේ රූපය ඇරෙන්න අවට පේන්න තියෙන අනික් හැම දෙයක්මත් බොඳ වෙලා යනවා. මල් පාර දෙපස මල් ගස් වලින් හෙමිහිට මල් වැටෙනවා කෙල්ල එන මගට. කෙල්ලගේ ඔලුවටත් චූටි මල් පෙති වැටෙනවා. කෙල්ල මූණට වැටුණු කොණ්ඩ කැරැල්ල අරගෙන කරකවලා කණ පිටිපස්සේ රඳවගන්න ගමන් ඇස් උස්සලා බලනවා. එතකොට කෙල්ලගේ ඇස් වලට අහුවෙනවා කටත් ඇරගෙන, ගිණිකණ වැටුණු ගස්ගෝනෙක් වගේ කෙල්ල දිහා බලාගෙන ඉන්න අර කොල්ලව. ඇස් වලට ඇස් යාවෙනවා. ඇස් හිනාවෙනවා. මල් වැස්සක් වහින්න පටන් ගන්නවා. කෙල්ල ලැජ්ජාවෙන් හිනා වෙලා බිම බලලා ආයෙමත් මද සිනාවෙන්, හොරැහින් කොල්ලා දිහා බලනවා. පිංවතුනි, සිංදුව ස්ටාට් වෙනවා….
දැන් ඕක බොලිවුඩ් පිචර් එකක කෑල්ලක් වගේ පෙනුනට, අඩුවැඩි වශයෙන් ලව් ඇට් ෆස්ට් සයිට් කියලා සිද්ධ වෙන්නෙ ඕකනේ, නැද්ද හා? ඉතින් ඒ නිසා අපි හිතුවා ඇත්තටම ලව් ඇට් ෆස්ට් සයිට් නැතිනම් පළමු බැල්මෙන් බැඳි ආදරේ කොයි තරම් දුරට සාර්ථකද අසාර්ථකද කියලා පොඩ්ඩක් කතා කරලා බලන්න.
1. මේක ඇත්තටම වෙන දෙයක්ද?
අනිවාර්යයෙන්ම ඔව්. නැත්තං මිනිස්සු පිස්සුවටැයි ඒ ගැන කවි සිලෝ ගී ලියන්නේ? චිත්‍රපටි හදන්නේ? පොත් ලියන්නේ? සමහරු කියන්නේ මේ පළමු බැල්මෙන් බැඳෙන ආදරේ කියන්නේ ඇත්ත දෙයක් නෙවෙයි, මොහොතක ෆැන්ටසියක් කියලා. හැබැයි අපි හිතන්නේ ඊට වඩා ටිකක් වෙනස් විදියට. ඒක අර අපි කෙනෙක්ව ක්‍රම ක්‍රමයෙන් අඳුනගන්නකොට ක්‍රමයෙන් ඇති වෙන ආකර්ෂණය, ආදරය වගේම දෙයක්. හැබැයි ඒ හැඟීම් ඔක්කොම සම්පූර්ණයෙන්ම ඇස් වලට පේන දේ (සමහර විට කන් වලට ඇහෙන දේ, දැනෙන සුවඳ වෙන්නත් පුළුවන්) මත පදනම් වෙලා එක පාරටම කඩාගෙන එනවා. ඒ නිසා තමයි ඒක මේ තරම් ප්‍රබල වෙන්නේ.
එතකොට ඒ ලව් ඇට් ෆස්ට් සයිට් නැතිනම් පළමු බැල්මෙන් ආදරේ සාර්ථක වෙනවද කියන එක නම් වෙනම කතාවක්. ඒක අපි තව ඉස්සරහට කතා කරමු.
2. කොහොමද දැනගන්නේ ඒක ලව් ඇට් ෆස්ට් සයිට්ද කියලා?
ආන්න ඒකට ඉතින් ලව් කියන්නේ මොකද්ද කියලා අඳුනන කෙනෙක්ට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ. හැබැයි ඉතින් ඔය ගැන දන්න අය කියලා තියෙන ලක්ෂණ ටික අපිට ආයෙමත් කියන්න පුළුවන්. පළවෙනි එක තමයි ඇඩ්රිනලීන් රෂ් එකක් ඇතිවෙන එක. ආයෙ අර බඩේ සමනල්ලු පියඹනවා වගේ දැනෙන්නේ ඒකත් එක්ක තමයි. එතකොට ඒ එක්කම අර කතික තරග වල කප් ගහපු එකෙක්ට පවා හෙනම නර්වස්, කතා කරගන්න බැරි හැඟීමක් ඇතිවෙනවා. ඔය එක්කම අපිට මාරම හුරුපුරුදු ගතිය දැනෙනවා ඒ කෙනා ගැන. ඒ කියන්නේ අපි කෙනාව දකින්නේ පළමු බැල්මෙන් වුණත්, කාලයක් තිස්සේ අඳුනනවා වගේ හුරුපුරුදු ගතියක් දැනෙනවා. ඒකත් එක්ක ඉතින් එනවා ආකර්ෂණයක්. ඒක නිකම් කාන්දම් බලයක් වගේ. එතන ලිංගික ආකර්ෂණයක් වුණත් තියෙන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. සාමාන්‍යයෙන් කෙනෙක්ව දැන අඳුන ගන්නකොට ක්‍රමයෙන් ඇතිවෙන ආදරේට වඩා මේක බොහොම උද්වේගී, තීව්ර හැඟීමක්. ඒ කියන්නේ අර ක්‍රමයෙන් වර්ධනය වෙන ආකර්ෂණය එක බැල්මකින් දැනෙනවා කියන්නේ මාරම ඉන්ටෙන්ස් හැඟීමක්.
3. ඕක ආකර්ෂණය වෙන්න බැරිද?
ආකර්ෂණය තමයි මනුස්සයෝ. ආයෙ නැත්තං වෙන මොකද්ද? ඇත්තටම ඔය ලව් ඇට් ෆස්ට් සයිට් වගේ සීන් එකක් අපි කොයි තරම් අයිසින් දාලා කිවුවත්, ඇත්තටම වෙන්නේ අපේ ඇස්වලට අහුවෙන රූපේ එක්ක ආකර්ෂණයෙන් බැඳීමක් නෙවෙයිද? ඒක සමහර වෙලාවට කලාතුරකින් හරි ඇහෙන දේත් එක්ක ඇතිවෙන ආකර්ෂණයක් වෙන්න පුළුවන්. සමහරු ඉතින් ඕක සංසාර පුරුද්ද, සංසාරගත බැඳීම වගේ වෙනම ලයින් එකකින් එක්ස්ප්ලේන් කරන්නත් පුළුවන්. හැබැයි ඒ කොහොම කිවුවත් ඕක ආකර්ෂණය තමයි. ඉතින් ඒකේ වැරැද්දක් තියෙනවද? නෑනේ. ආකර්ෂණය එක්ක කෙනෙක්ට බැඳෙන අපි සදාකල් එකට ජීවත් වෙන බැඳීමක් දක්වා වුණත් යනවා වෙන්න පුළුවන්. ඒක දෛවයේ ලියැවිලා තියෙනවද නැද්ද කියලා අපි දන්නෙ නෑ. හැබැයි දෙන්නා කම්පැටිබල් නම් ඒක දෙන්නගේ දෛවය වෙන්නත් පුළුවන්. අපි දන්නෑ.
4. එයාට ලව් ඇට් ෆස්ට් සයිට් නැත්තං?
ආන්න ඒක නම් බොන්න ඕන ප්‍රශ්නයක් වෙනවා පුතෝ. ඒ කියන්නේ අපිට කෙනෙක් දිහා බලපු ගමන් ආකර්ෂණයක් ඇති වුණා කියලා, ඒ කෙනාටත් එහෙම ආකර්ෂණයක් ඇති වෙයි කියලා කියන්න බැහැනේ. ආන්න එහෙම අවස්ථාවකදී ඉතින් ටිකක් මහන්සි වෙන්න වෙනවා. කොටින්ම කියනවා නම් අපිට ආකර්ෂණය දැක්ක පමණින් ඇති වෙලා, එයා අපිව සතපහකට ගණන් ගන්නෙ නැති ලයින් එකක් නම් යන්නේ, එක්කෝ අපිට පොඩි කට්ටක් කාලා, දැන අඳුනගන්න පාරවල් හොයාගෙන, ෂේප් එකේ ෆිට් වෙන්න ක්‍රම හොයාගෙන ගේමක් ගහන්න වෙනවා. ඒවා ඉතින් අමුතුවෙන් ටියුෂන් දාලා උගන්නන්න ඕන එව්වා නෙවෙයිනේ.
හැබැයි කොහොම වුණත් අපි නැවත නැවතත් කියන ප්‍රධාන කාරණයක් තියෙනවා. ලව් ඇට් ෆස්ට් සයිට් කියන එක මොන සංසාරගත පුරුද්ද කියලා අර්ථදක්වා ගත්තත් අපිට කමක් නෑ. හැබැයි තමන්ගේ හිත රිද්දගන්නේ නැතුව ඉන්න නම්, පටන් ගත්ත තැන ඉඳන් හොඳ කන්ට්‍රෝල් එකකින් ඉන්න ඕන. එහෙම නැතුව ලව් ඇට් ෆස්ට් සයිට් එක ලැබුණේ නැති නිසා දේව්දාස් පාට් ඇට් කරන්න සිද්ධ වෙන එක අපරාදයක්.
5. කසාදෙත් මෙහෙම්මම කරමුද?
ආන්න ආන්න වරද්දගන්න තැනක්. ලව් ඇට් ෆස්ට් සයිට් කියන්නේ ආකර්ෂණයක් කියන එක අපි උඩින්ම කියලා තියෙනවනේ. එතකොට ආකර්ෂණයක් කියන්නේ කසාද බඳින්න ඕකේ කියන තැන නෙවෙයි. එහෙම ආකර්ෂණයක් එක්ක ලව් ආතල් එක ගන්න පුළුවන්. හැබැයි කසාද බඳිනවා කියන්නේ ජීවිතේම එකට ඉන්න කියලා හිතලා ගන්න තීරණයක්නේ. ඒකට දෙන්නගේ කම්පැටිබිලිටි එක, එකට ඉන්න පුළුවන්ද කියන හැකියාව, කොයිතරම් හොඳ කම්පැනියන්ෂිප් එකක් තියෙනවද කියන එක වගේ ගොඩක් දේවල් බලපානවා. ඊලඟ කාරණේදී අපි ඒක විස්තරාත්මකව කියනවා.
6. ලව් ඇට් ෆස්ට් සයිට් එක සාර්ථක කරගන්නේ කොහොමද?
සරලයි. ලව් ඇට් ෆස්ට් සයිට් කියලා පපුවට වැදුණා කියලා හැඟීම් වලට වහල් වෙන්න එපා. දැන් මුලින්ම හිතලා බලන්න ඕනේ මොකද්ද ලව් එකක් සාර්ථක කරගන්නවා කියන්නෙ කියලා. ලව් එක සාර්ථක වෙනවා කියන්නේ එයත් අපිට ලව් කරන්න පටන් අරන්, දෙන්නා ප්‍රේම ගඟේ පීනාලා සතුටින් ඉන්න එකද? ඒක ඉතින් ලොකු අමාරුවක් නෑ. කරන්න තියෙන්නේ එයාට ට්‍රයි එකක් දෙන එක තමයි. ඊට පස්සේ එයත් කැමති නං, මලක් කඩාගෙන, ලව් කරගෙන ඉන්න පුළුවන්. ලව් එක ඉවර වුණු දවසට දෙන්නට දෙන්නා බායි කියලා දෙන්නගේ පාරවල් වල යන්න පුළුවන්. හැබැයි වඩාත් සොලිඩ් රිලේෂන්ශිප් එකකට යන්න නං හැඟීම් වලින් පිස්සු වැටිලා පස්සෙන් යන්න කලින්, පොඩ්ඩක් තමන් අතරේ කම්පැටිබිලිටි එකක් තියෙනවද කියලා බලන්න වෙනවා. ඒකට ඉතින් ටිකක් ආස්සරේ කරලා බලන්න වෙනවා. එතකොට ලව් එක සාර්ථක වීම කියන්නේ කසාදේ නං? එහෙනම් ඉතින් කම්පැටිබිලිටි එක විතරක් මදි, තවත් දුරට බලන්න වෙනවා දෙන්නට එකට ඉන්න පුළුවන්ද කියලා.
කොටින්ම කිවුවොත්, ලව් ඇට් ෆස්ට් සයිට් වුණත්, නොවුණත්, තමන් ලව් එකක් සාර්ථක වීම කියලා කියන නිර්වචනය මත ඔය කියන ඔක්කොම කරන්ඩ වෙනවා!
7. මට ලව් ඇට් ෆස්ට් සයිට් වුණාට එයාට කොල්ලෙක් ඉන්නවද දන්නෑ?
හොඳ ප්‍රශ්නයක්. එහෙම අවස්ථාවකදී අර එයා දිහා බල බල පස්සෙන් යන එක නතර වෙන්නේ කොල්ලගෙන් කණේ පාරක් කාලා වෙන්නත් පුළුවන්. ඇත්තටම ගොඩක් දෙනෙක් දකින විදියට පළමු බැල්මෙන් ආදරෙන් බැඳෙන එකේ තියෙන සෑහෙන්න ඩවුන්සයිඩ් එකක් තමයි එයාට කොල්ලෙක් ඉන්නවද, කෙල්ලෙක් ඉන්නවද වගේ දේවල් හොයාගන්න බැරි වීම. කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ඉන්නවා කියලා දැනගන්නකොට අපි සිහින ලව් ට්‍රේන් එකේ සෑහෙන්න දුර ගිහින් ඉවරයි. ඕකටත් හොඳම දේ අපි හතරවෙනි කාරණාවෙන් කියලා තියෙනවා.
එතකොට ඇත්තටම ලව් ඇට් ෆස්ට් සයිට් සාර්ථකද? අපි දන්නෙ නෑ. සාර්ථක වීම හෝ අසාර්ථක වීම රඳාපවතින්නේ පුද්ගලයා මත. හැබැයි ලව් ඇට් ෆස්ට් සයිට් වුණත්, වෙන ඕනම ලව් එකක ප්‍රමාණයට සාර්ථක කරගන්න ක්‍රම සහ විධි තියෙනවා. ආන්න ඒක අපි වෙන දවසක කියනවා.
Leave a Reply