ඔලිම්පික් උළෙල ගැන ඔබ වැඩිදෙනෙක් නොදන්නා කරුණු

ඔලිම්පික් කියන්නේ ක්‍රීඩකයෙකුට මිහිපිට ලබන්න පුළුවන් උපරිම සුදුසුකමක්. ඔලිම්පික් ක්‍රීඩා උළෙ​ල මෙවර ජපානයේදී පැත්වෙනවා. එය කල්ගියා වු​ණත් දහසක් බාධා මැද්දේ පවත්වන්නේ ක්‍රීඩකයින්ගේ සිහින ගැන හිතලා. වසර 4කට වරක් පැවැත්වෙන මේ නූතන ඔලිම්පික් තරඟ අතීතයට වඩා දැන් වෙනස්. ඉතින් ඔලිම්පික් ගැන වටිනා කරුණු කිහිපයක් අපි බලමු.

 

 

1. රන් පදක්කමේ රන් නැහැ

1912 සිට එන රන් පදක්කම් සම්පූර්ණ රත්තරන් නෙමෙයි. පදක්කම හදලා තියෙන්නේ රිදී වලින්. රන් පදක්කමට රන් ග්‍රෑම් 6කට අඩු ප්‍රමාණයක් රන් ආලේප කරලා තියෙනවා. 2018 දකුණු කොරියාවේ ප්යොන්චෙන් හි පැවැත්වු​ණ ශීත ඔලිම්පික් උළෙ​ලේ රන් පදක්කම ග්‍රෑම් 586ක් බරයි. එහි වටිනාකම රන් වල වටිනාකමත් එක්ක ඩොලර් 1350ක්. ඒත් ඇත්තටම ඒ පදක්කම තනි රන් වලින් හැදුව නම් එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 28,000කටත් වඩා වැඩි වෙනවා.

 

 

2. ඔලිම්පික් පන්දම පරණ දෙයක් නෙමෙයි

ඔලිම්පික් පන්දම රටවල් වලට ගෙන යෑම අතීතයේ සිට පැවැත එන සිරිතක් විදිහට තමයි අපිට හිතෙන්නේ. ඒත් ඒක ​එහෙම නෙමෙයි. 1936දී නාසි ජර්මනිය තමුන්ගේ රටේ අභිමානය පෙන්වන්න නාසි රටවල සිය පන්දම රැගෙන ගියා. ඒ බර්ලින් උළෙ​ල රටවල් ග​ණනාවක් වර්ජනය ක​ළත් එය පැවැත්වුණා. ග්‍රීසිය, බල්ගේරියාව, යුගෝස්ලාවියාව, හන්ගේරියාව ඔස්ට්‍රේලියාව වගේ රටවලට 1936 මුල්ම ඔලිම්පික් පන්දම ගියේ ඔවුන් එවකට නාසි හිතවාදී රටවල් වූ නිසා.

 

 

3. අහෝසි වුණු ඔලිම්පික්

2020 ජපානයේ පැවැත්වීමට නියමිත වූ ඔලිම්පික් උළෙ​ල කල් ගියේ කොරෝනා නිසා එහෙත් ඒ ඔලිම්පික් උළෙ​ල 2021 පැවැත්වෙන්නට සැලසුම් කරලා තියෙනවා. ලොව වටා ක්‍රීඩකයින්ට පහසුකම් දීලා කොරෝනා උවදුර සමග පවත්වන මේ ඔලිම්පික් උළෙ​ලට සැබැවින්ම ජපන් ජාතිකයින් වැඩිදෙනෙක් කැමති නැති බවක් තමයි කියවෙන්නේ. කොහොම වු​ණත් ඔලිම්පික් උළෙ​ලක් අහෝසි වන විට එහි බලපෑම ක්‍රීඩකයින්ට දැඩිව දැනෙනවා. 1980 වර්​ෂයේ රුසියාවේ පැවැත්වුණු ඔලිම්පික් උළෙ​ල ඇමරිකා​ව වර්ජනය කළා. ඒ නිසා ඇමරිකානු ක්‍රීඩකයින්ට අසාධාර​ණයක් වුණා. ප​ළමු ලෝක යුද්ධය නිසා 1916 දිත් දෙවන ලෝක යුද්ධය නිසා 1940 හා 1944 වර්​ෂ වලදිත් ඔලිම්පික් උළෙ​ල පැවැත්වු​ණේ නැහැ.

 

 

4. සෑම ධජයක්ම සිහිකරන ඔලිම්පික් ධජය

ඔලිම්පික් ධජය සහ ඔලිම්පික් සළකු​ණේ තියෙන්නේ පාට පහක බෝල පහක්. මෙය අඳින්නට අමාරු, සකසන්න අමාරු දෙයක් නෙමෙයි. ඒ බෝල පහෙන් ලෝකයේ මිනිස්සු ඉන්න මහද්වීප 5 නියෝජනය වෙනවා. ඒ බෝල පහේ වර්ණ වලින් ලොව සෑම රටකම කොඩි නියෝජනය වෙනවා. ලෝකයේ තිබෙන සෑම රටකම ජාතික කොඩිය​ක මේ පාට පහෙන් එකක් හෝ ඇතු​ළත් වෙනවා.

 

 

5. හැමදාම ඉන්න රටවල්

මහ බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව මෙතෙක් පැවැත්වුන හැම ඔලිම්පික් උළෙ​ලකටම පෙනී ඉ​ඳලා තියෙනවා. ඒ අතරින් මහා බ්‍රිතාන්‍යය ඒ සෑම ඔලිම්පික් උළෙ​ලකදීම පදක්කම් අරං තියෙනවා. මහා බ්‍රිතාන්‍යය රුසියාව සහ ඇමරිකා​ව ලොව මෙතෙක් කල් වැඩිම පදක්කම් ගත් රටවල් වෙනවා. එයින් ඇමරිකා​ව නූතන ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් ලාභී රට වෙනවා. නූතන ඔලිම්පික් උළෙ​ල වල වැඩිම පදක්කම් ගන්න චීනය මුලින්ම රන් පදක්කමක් ගත්තේ 1984 දී. ඒ වෙඩිතැබීම වෙනුවෙන්.

 

 

6. ශීත සහ ගිම්හාන දෙකේම පදක්කම් ගත්ත අය

එඩී ඊගන් නම් ඇමරිකානු ජාතිකයා 1920 ගිම්හාන ඔලිම්පික් උළෙ​ලේ බොක්සින් වෙනුවෙන් රන් පදක්කමක් ගත්තා. ඔහු 1932 ශීත ඔලිම්පික් උළෙ​ලේ කණ්ඩායම් ක්‍රීඩාවක් වන බොබ්ස්ලෙඩ් වෙනුවෙන් ද රන් පදක්කමක් ගත්තා. දැනට ඉතිහාසයේ ශීත සහ ගිම්හාන ඔලිම්පික් අවස්ථා දෙකේම රන් පදක්කම් ගන්න සමත් වු​ණ ක්‍රීඩකයෙක් විදිහට ඔහු ඉතිහාසගත වෙනවා. ලෝකයේ ශීත රටවල් කොටස් දෙකක් තියෙනවා. එකක් උත්තරාර්ධගෝලීය ශීත රටවල්. ඒ කොටසට යුරෝපය, උතුරු ඇමරිකා​ව, ජපානය, චීනය, කොරියාව සහ රුසියාව වැනි රටවල් අයිති වෙනවා. ඒත් පහ​ළ දක්ෂිණාර්ධගෝලීය රටවලටත් ශීත කාලයක් තියෙනවා. නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ආජන්ටිනාව වැනි රටවලටත් හිම වැටෙන ශීත කාලයක් තිබු​ණත් ඔවුන්ට ඔලිම්පික් උළෙ​ලක් තවම ලැබී නැහැ. ඒ වගේම දකුණු අර්ධගෝලීය ක්‍රීඩකයින් වින්ටර් ඔලිම්පික් වල දක්ෂතා අතර වැඩිපුර නැහැ.

 

 

7. රටවල් දෙකක් වෙනුවෙන් පදක්කම් ගත් අය

ඩැනියේල් කැරොල් රග්බි වෙනුවෙන් ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් 1908 දී රන් පදක්කමක් ගත්තා. ඔහුම 1920 දී ​ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් රන් පදක්කමක් අරන් තියෙනවා. 1992 බාසිලෝනා ක්‍රීඩා උළෙ​ලේදී කාකි කකියාශ්විලි ප​ළමු රන් පදක්කම බර ඉසිලීම වෙනුවෙන් දිනාගන්නේ සෝවියට් රටව​ල ඒකාබද්ධ කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටිමින්. ඉන් පසු ඔහු ග්‍රී​ක පුරවැසියෙක් ලෙස 1996 සහ 2000දී පදක්කම් දිනුවා. රටවල් අතර දේශ සීමා යුධ කටයුතු ගැටුම් හේතුවෙන් ඇතැම් අවස්ථා​වල ස්වාධීන කණ්ඩායම් වලට ඔලිම්පික් ස​ඳහා පෙනී සිටින්නට අවකාශ ලැබී තිබුණා.

 

ලොව ජනගහ​ණයෙන් බිලියන 1.9ක් දකුණු ආසියාවේ ඉන්නවා. එම අගය ලෝක ජනගහ​ණයෙන් හතරෙන් එකකට ආසන්න වෙනවා. එහෙත් දකුණු ආසියානු ජනතාව ක්‍රීඩා අතින් ලෝක මට්ටමට යන ස්වභාවය අඩුයි. ඒත් ශරීර ශක්තියට වඩා උපාය කුශලතාවය වැදගත් වන ක්‍රිකට් අපේ කළාපයේ ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් අනාගතයේදී හෝ අපේ ක්‍රිඩකයින්ට ඔලිම්පික් වල යම් සැ​ළකිය යුතු තැනක් ලැබෙයි කියලා අපි බලාගෙන ඉමු. එහෙනම් මේ වැදගත් විස්තර යාළුවෝ එකක බෙදාගන්නත් ඔයාල අමතක කරන්නට එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *